අයවැයේ එක් යෝජනාවකින් ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය, රටේ භෞමික අඛණ්ඩතාව හා ඒකීයභාවය මුළුමනින්ම අහෝසි කිරීමේ වෑයමක් – චන්න ජයසුමන පාර්ලිමේන්තුවේදී හෙළි කරයි (වීඩියෝ)
Posted on November 16th, 2022
Lanka Lead News
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ සදහන් 13 වැනි යෝජනාව මගින් රටේ භෞමික අඛණ්ඩතාවයට හා ජාතික ආරක්ෂාවට පමණක් නොව දේශපාලනික, සමාජීය හා සංස්කෘතික යන සියලු අංශයන්ට බරපතළ තර්ජනයක් එල්ලවන බව අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කරයි.
අයවැය යෝජනාවේ 13වැනි යෝජනාව ලෙස දක්වා ඇති රජයේ සියලුම ඉඩම් බැහැරකිරීමට අදාළව සියලුම කටයුතු ප්‍රාදේශීය ලේකම්වරු හරහා සිදුකිරීමට යෝජනා කිරීම තුළ මහවැලි ව්‍යාපාරය සතු ඉඩම් බරපතළ අර්බුදයකට ලක්වන බව චන්න ජයසුමන මහතා පවසයි.
පසුගිය අවුරුදු 50ක පමණ කාලයක සිට මෙරට ගොවිජනතාවගේ ජීවනාලිය වූයේ මහවැලි ව්‍යාපාරය බවත්, මෙරට ඉඩම් ප්‍රමාණයෙන් සියයට 39ක හා වියලි කලාපයේ ඉඩම්වලින් සියයට 55ක අයිතිය මහවැලි ව්‍යාපාරය සතුවන බවත් ඔහු පෙන්වා දෙයි.
එමෙන්ම රටේ අතිසංවේදී භූමිභාගයක් වන මුලතිව් හා වවුනියාව ප්‍රදේශවල ඉඩම් මහවැලි ව්‍යාපාරයට අයත්ව තිබූ නිසා මෙරට භෞමික අඛණ්ඩතාව හා ඒකීය භාවය මෙතෙක් කලක් ආරක්ෂාවී තිබූ බව චන්න ජයසුමන මහතා පැහැදිලි කරයි.

මේ කිසිවක් නොසලකා වර්තමාන ජනාධිපතිවරයා ප්‍රාදේශීය ලේකම්වරයා හරහා එම ඉඩම් පැවරීමේ බලය ලබාදීම තුළින් ගොවි ජනතාවගේ අනාගත පරපුරට ඉඩම්වල අයිතිය අහෝසිවන බව මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.
ප්‍රාදේශීය ලේකම්වරයා දඩමීමාකොට ගනිමින් විවිධ දේශපාලන බලවතුන් මෙම ඉඩම් විවිධ ජාවාරම්කරුවන්ට හා තමන්ගේ හිතවතුන්ට ලබාදීම අනිවාර්යයෙන් සිදුවන බව ද, ඒ අනුව දිස්ත්‍රික් 15ක ගොවි ජනතාවගේ ඉඩම් අයිතිය අහෝසිවන බවත් ඒ මහතා සදහන් කරයි.
ගෝඨාභය ජනාධිපතිවරයා වෙනුවට පත්වූ අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු වන රනිල් වික්‍රමසිංහ මහතාට මේ රටේ උපනුපන් පරම්පරාවලට බලපාන ඉඩම් අයිතිය ගැන තීරණය කිරීමේ කිසිදු බලයක් නොමැති බවත්, ඔහුට එය අවශ්‍ය නම් ජනතා වරමින් ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ පසුව සිදු කළ හැකි බවත් මහාචාර්ය චන්න ජයසුමන මහතා චෝදනා නගයි.
මහවැලියේ ඉඩම් ටික පැවරීමට සූදානම් වන මෙබදු යෝජනාවකට මෙම ප්‍රදේශවල ගොවිජනයාගේ ඡන්දයෙන් පත්වූ කිසිදු මන්ත්‍රීවරයකුට හෝ ඇමැතිවරයකුට අත ඉස්සිය නොහැකි බවද පවසන මන්ත්‍රීවරයා, මෙම යෝජනාව ඉවත්කර ගන්නා තෙක් අයවැයට සහාය ලබානොදෙන බවත් එය පරාජය කිරීමට කළහැකි සියල්ල සිදුකරන බවත් අවධාරණය කරයි.