ව්‍යාපාර කළමනාකරණ පාසල (BMS) සහ නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයෙන් ශ්‍රි ලංකාවට ඒකාබද්ධ හෙද පාසලක්…
Posted on November 24th, 2022

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය

ව්‍යාපාර කළමනාකරණ පාසල සහ එහි බ්‍රිතාන්‍ය පාර්ශවකරුවා වන නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලීය ප්‍රචලිත කිරීමේ සැලසුම් යටතේ හෙද පාසලක් ස්ථාපනය කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

නෝතම්බ්‍රියා විශ්වවිද්‍යාලයේ  නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ජොන් රීස්ට් සහ ව්‍යාපාර කළමනාකරණ පාසලේ සභාපති ආචාර්ය ඩබ්ලිව්. ඒ. විජේවර්ධන  යන මහත්වරුන් 2022.11.24 දින කොළඹ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී  අග්‍රාමාත්‍යවරයා හමුවිය.

 ව්‍යාපාර සහ ආර්ථික ක්‍ෂේත්‍රයේ උපාධිධාරීන් අන්තර්ජාතික මෙන්ම දේශීය රැකියා සඳහා අවශ්‍ය සුදුසුකම්වලින් සන්නද්ධ කිරීමටත් ඔවුන්ගේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහාත් විශේෂිත අධ්‍යාපන වැඩසටහන් දියත් කරන ලෙසද අග්‍රාමාත්‍යවරයා මෙහිදී යෝජනා කළ අතර දේශීය හා විදේශීය රැකියා ඉල්ලීම් සපුරාලීම සඳහා ආර්ථික විද්‍යාව, මූල්‍ය කළමනාකරණය, වෙළඳ ගනුදෙනු මෙන්ම හෙද හා සෞඛ්‍ය සේවා අංශවල කුසලතා වැඩි දියුණු කිරීම සඳහා විශේෂ පාඨමාලා අවශ්‍ය බව අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

 පර්යේෂණ හා සංවර්ධන ක්‍ෂේත්‍රයේ සමීප අධ්‍යයන සහයෝගීතාවක් ඇති කර ගැනීමේ හැකියාව පිළිබඳව ද ඔවුහු මෙම හමුවේදී සාකච්ඡා කළහ. ශ්‍රී ජයවර්ධනපුර සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාල සමඟ ඒකාබද්ධ පර්යේෂණ සඳහා ඇති හැකියාව ගවේෂණය කිරීමට ද යෝජනා විය.

ව්‍යාපාර කළමනාකරණ පාසල මීට වසර 20 කට පෙර පිහිටුවන ලද අතර එය හොඳම බ්‍රිතාන්‍ය විශ්ව විද්‍යාල කිහිපයක් සමඟ සම්බන්ධ වී උසස් තත්ත්වයේ අධ්‍යාපනයක් සපයයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, ව්‍යාපාර කළමනාකරණ පාසලේ ප්‍රධාන විධායක නිලධාරී නිසාම් රසාක් සහ සුරාජ් එගොඩගමගේ යන මහත්වරු ද මෙම සාකච්ඡාවට සහභාගි වූහ.

Leave a Reply

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress