සිංහලයනට වන අසාධාරණ  (නොහොත් සිංහලයාගේ බහිනකලාව)  (7වෙනි කොටස)
Posted on December 25th, 2022

චානක බණ්ඩාරගේ

ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව යන රටවල් (i)

‘සිංහල බෞද්ධ’ අයිතීන් පරයා  ‘ශ්‍රී  ලාංකික අනන්‍යතාවය’ ප්‍රවර්ධනය කරන්නවුනගේ තර්කයක් වනුයේ ඇමරිකාව, කැනඩාව, එංගලන්තය, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල් වල පවා මහ ජාතිය ක්ෂය වීමක් සිදුවන බවත්, අප රටේ සිංහලයන් ගණන අඩුවීම ගැන අප  මැසිවිලි නොනැඟිය යුතු බවත්ය.

මෙය වැරදි තර්කයකි.

ඉංග්‍රීසි කථා කරන දියුණු බටහිර  රටවල රැකියා සඳහා විදෙස් රටවලින් පුහුණු ශ්‍රමිකයන් ආගමනය කරවීමේ ප්‍රතිපත්තිය (migration)  ඔවුන් ඉතා සුක්ෂම ලෙස මැනවින් පාලනය කරන්නේ එම රටවල සුදු ජාතික ප්‍රතිශතය සැමදා 75%න් ඉහලින් තබා ගන්නා අයුරිනි. අදද එම රටවල තත්ත්වය එයයි.

තවද, පැමිණෙන විදේශිකයන් එම රටවල පවත්නා ‘බටහිර ඇන්ග්ලෝ සැක්සන්’ ජීවන ක්‍රමය සහ සංස්කෘතිය පිළිගෙන ඒ අනුව ජීවත් විය යුතු බව එම රටවල ජීවත්වන අය සාක්ෂි දරනු ඇත. මෙය ඔවුන්ගේ ‘Assimilation’ ප්‍රතිපත්තියයි.

උදාහරණයක් වශයෙන්, මොන තරම් වෙනත්  ජාතීන් තම රටට පැමිණියත් (මුස්ලිම්, බෞද්ධ, හින්දු වැනි), ඕස්ත්‍රේලියාව සිය පාර්ලිමේන්තුවේ කටයුතු සැමදාම ආරම්භ කරන්නේ කොරානයේ, භගවත් ගීත හෝ ධම්මපදයේ පාඨ කියවීමෙන් නොව බයිබලයේ පාඨ පමණක් කීමෙනි. මෙයට හේතුව ඕස්ත්‍රේලියාව යනු ක්‍රිස්තියානු සම්භවය ඇති රටක් ලෙසට එරට රජයන් සහ වැසියන් විසින් සනිටුහන් කර සිටීමයි. කුමන හේතුවක් නිසාවත් එය වෙනස් නොවේ.

(ශ්‍රී ලංකාව බෞද්ධ සම්භවයක් නොමැති රටක් යයි කෑ ගසන්නේ අපේම සිංහලයෝය. ඉතා උගත් යයි කියාගත් පුරා විද්‍යාව පිළිබඳව මහාචාර්ය වරයෙක් (ශ්‍රී ලංකාවේ නුතන පරණවිතාන ලෙස පෙනී සිටින්නේ මොහුයි) මෙහි ඇත්තේ දෙමළ සම්භවයක් බවත් සිංහලයාට ප්‍රථම ද්‍රවිඩයන් මෙහි විසු බවත් පවසයි (මෙම ලිපි පෙලේ 2වෙනි කොටස බලන්න). ඔහුට අනුව මෙහි රාජ්‍යය කල සෑම රජ කෙනෙකුටම වාගේ (පණ්ඩුකාභය පවා) දෙමළ සම්භවයක් තිබී ඇත. උතුරු ඉන්දියාවේ සිට මෙරටට බුදු දහම රැගෙන ආ කණ්ඩායමේ වූ ලම්බකර්ණයන් දකුණු ඉන්දීය ද්‍රවිඩයන් යයි යනුවෙන් මොහු ලක් ඉතිහාසය පිළිබඳව බොරු පතුරුවයි. මොහු බුධ්‍දංගලදී හොරට සෙල් ලිපි සෑදු බවට ඉතිහාසය පිළිබඳව ප්‍රවීණයෙක් පවසයි.  මෙහි සත්‍ය අසත්‍යභාවය මෙම ලියුම්කරු නොදනී. අද පාසැල් ළමුනට ඉතිහාසය පිළිබඳව පෙළ පොත් සෑදීමේ කර්තව්‍යය භාර දී ඇත්තේ මොහුටය!).

වෙනත් ජාතීන් කොපමණ සිටියත් නවසීලන්තයේ ජාතික ගීය ගයනුයේ ඉංග්‍රීසියෙන් පමණි. එය ඉතාලි, වියට්නාම්, අරාබි, සිංහල, දෙමළ හෝ හින්දි බසින්ද ගායනා කල යුතුය යන සංවාදයක් එම රටවල නොමැත.

1980/90 දශක වල ඕස්ත්‍රේලියාව තමන් බහු සංස්කෘතික රටක් යයි කියා උදම් ඇනුහ. ඒ, විශේෂයෙන්ම ඒ රටට දස දහස් ගණනින් සංක්‍රමණිකයන් ඉංග්‍රීසී 1වෙනි බස ලෙස කථා නොකරන රටවලින්, විශේෂන්ම ආසියාතික රටවලින් (ශ්‍රී ලංකාව වැනි) පැමිණීම නිසාය. ‘අපි Multicultural’ කියා ඔවුහු උදම් ඇනුහ.

එනම් සංක්‍රමිකයන් ඔවුන්ගේම මුල් සංස්කෘතිය තුල ඕස්ත්‍රේලියාවෙදී ජීවත් වුනාට කමක් නැත යන්නය. වැඩිහිටි/වයෝවෘද්ධ සංක්‍රමණිකයන් ඉංග්‍රීසී නොදැන සිටියාට කමක් නැත වැනි අදහසක් එවකට තිබු රජයන් දැරීය. Multiculturalism වෙනුවෙන් කෝටි ගණන් මුදල් රාජ්‍ය අයවැයන් මඟින් වෙන් කරනු ලැබීය.

මේ Multicultural සංකල්පය වඩවනු වස් SBS නමැති නව රුපවාහිනි සේවයක් රාජ්‍ය  අනුග්‍රහයෙන් සංක්‍රමණික සුභ සිද්ධිය උදෙසා කර ආරම්භ කළහ. කොටින්ම ඔවුන්ගේ ආගමන දෙපාර්තමේන්තුවේ නමද ආගමන සහ බහු සංස්කෘතික වශයෙන් වෙනස් කලහ.

බහු සංස්කෘතික උත්සව වෙනුවෙන් මධ්‍යම රජය සහ ප්‍රාන්ත රජයන්  කෝටි ගණන් මුදල් අය වැයන් මඟින් වෙන් කළහ.

සංක්‍රමණිකයන්ට ඔවුන්ගේ ආහාර පාන, ඇඳුම් පැළදුම්, සංස්කෘතික අංගයන් ඒ අයුරින්ම ඕස්ත්‍රේලියාව තුල පවත්වා ගෙන යාම සඳහා කෝටි ගණන් මුදල් රජයන් විසින් සංක්‍රමණික සංවිධානවලට ප්‍රධානය කෙරිණි.

නමුත් 21 වෙනි ශත වර්ෂය ලබත්ම මෙම Multicultural ලේබලය කිසිවෙකුටත් නොකියා ඕස්ත්‍රේලියාවේ මධ්‍යම රජය විසින් ගලවා දමනු ලැබීය.

අද නැවතත් ඔවුන්ගේ ආගමන දෙපාර්තමේන්තුව හැඳින්වෙනුයේ ආගමන දෙපාර්තමේන්තුව ලෙස පමණි. එහි තිබු Multicultural Affairs යන්න දැන් හැලී ගොසිනි. 

බහු සංස්කෘතිය (Multicultural)  රට තුල නැංවීම වස් කෝටි ගණන් මුදල් පෙර මෙන් දැන් රජයන් විසින් වෙන් නොකරයි.

අද නැවතත් ඕස්ත්‍රේලියාවේ ප්‍රතිපත්තිය Assimilation ය. නමුත් නාමිකව පමණක් Multicultural ද අවශ්‍ය බව ඔවුන් දක්වත්.  

Assimilation යටතේ ඕස්ත්‍රේලියානු රජය බලාපොරොත්තු වන්නේ සංක්‍රමණිකයන් තමනට ආවේනික සංස්කෘතිය අත් හැර එම රටේ ඇති බටහිර ඇන්ග්ලෝ සැක්සන් ජීවන ක්‍රමය සහ සංස්කෘතිය අනුව, එය සමඟ මුසු වී, ජීවත් වනු ඇතැයි යන්නය. සෑම සංක්‍රමණිකයෙක්ම ඉංග්‍රීසි භාෂාව චතුර ලෙස කථා කරනු ඇතැයි ඕස්ත්‍රේලියානු රජය අපේක්ෂා කරයි.

මේ වෙනස් වීමට ඔවුන් ගියේ සංක්‍රමණිකයනට වර්ධනය කරන මෙන් අනුබල දුන් Multicultural ප්‍රතිපත්තිය නිසා ඔවුන්ගේ සුදු ජාතික ඇන්ග්ලෝ සැක්සන් සමාජයට හානියක් වේය යන බිය නිසාය.

අදටත් ඕස්ත්‍රේලියාව සංක්‍රමණිකයන් වශයෙන් වැඩිපුරම ගෙන්වා ගන්නේ එංගලන්ත, අයර්ලන්ත. නව සීලන්ත රටවල ඇන්ග්ලෝ සැක්සන් වරුන්ය. ඒ මඟින් තමන්ගේ සුදු ජාතික අනන්‍යතාවය ඔවුන් කෙසේ හෝ රැක ගණිත් (75% එහාට ප්‍රතිශතය රඳවා ගැනීම).

උතුරු, නැගෙනහිර පලාත්වල තමනට ජීවත් විය නොහැක යන ව්‍යාජ සිංහල විශ්වාසය

ශ්‍රී ලංකාවේ ඇති භයානක තත්ත්වය නම් උතුර සහ නැගෙනහිර පාරම්පරික ද්‍රවිඩ නිජභූමී යන JR ජයවර්දනගේ ඔලමොට්ටල, වැරදි සහගත පිළිගැනීම (1987 ඉන්දු-ලංකා ගිවුසුමේ) වැනි දේ නිසා අද ඒ ප්‍රදේශවල සිංහලයාට ඉඩම් මුදලට/බද්දට ගැනීමට පවා නොහැකි තත්ත්වයක් පැණ නැගීමයි.

නමුත්, 13 වන සංශෝධනය මෙවැනි පිළිගැනීමක් නොකරයි.

තේසවලාමේ නීතිය පුස්සකි – එය සිංහලයනට උතුරේ ඉඩම් ගැනීමට ඍජු, විශාල  බාධාවක් නොවේ.

නමුත් ද්‍රවිඩ දේශපාලනඥයන් විසින් ශ්‍රී ලාංකිකයන්ට ලබා දී ඇති වැරදි සහගත පණිවුඩය නම් ‘තේසවලාමේ නිතීය නිසා කිසිදා ඔබලාට  උතුරේ හෝ නැගෙනහිර පදිංචි වෙන්න බැහැ’ යන්නය.

නමුත්, තේසවලාමේ නිතීයෙන් මෙවැන්නක් නොපැවසේ. අපගේ මෙම ලිපි පෙලේ 5වෙනි කොටස බලන්න.

සිංහලයා මෙම ව්‍යාජ අර්ථකථනයට බියවී සිටියා ඇත. ඔවුන් ‘කටුවෙන්’ එලියට පැමිණිය යුතු කාලයයි මේ.

සිංහලයාට අහිමිවී ඇත්තේ ශ්‍රී ලංකාවේ භුමි භාගයෙන් 35%ක් සහ මුහුදු තීරයෙන් 3/4 කට වඩා වැඩි වූ ප්‍රදේශයකි.  මෙම දැඩි ජාතිවාදය ගැන අප තවත් නිහඬව නොසිටිමු.

අනිත් අතට TNA /අනෙක් ද්‍රවිඩ පක්ෂ දකුණට සහ ජාත්‍යාන්තරයට ගොස් ද්‍රවිඩ  ජනතාවට මේ රට තුල අසාධාරණ සිදුවේය කියා බොරු කියත්. අපගේ 6 වෙනි ලිපිය බලන්න.

සිංහලයා මේ රටේ විඳින ජාතිවාදය ගැන කිසිවෙක් කථා නොකරයි/පිළිනොගනී. සැවොම ඉල්ලන්නේ රටේ ජනතාව තුල ඔවුන්ගේ  ‘ශ්‍රී ලාංකේය අනන්‍යතාවය’ වැඩි කලයුතු බවය. ජාතීවාදීන්, අන්තවාදීන් බහුල මේ රටේ එය එසේ සිදුවන්නේ නම් ඉතා හොඳය. නමුත්, සියළුම ජාතීන් එය කළ යුතුය.

මේ වෙනුවෙන් සිංහලයා පමණක් දැඩි කැපවීම් කළ යුතු වීම සාධාරණ නොවේ. මෙය සිංහල බෞද්ධ රටක් නොවේය යන පිළිගැනීමටද ඔවුනට ඒ නිසා අවනත වීමට සිදු නොවිය යුතුය.

දැන් සර්ව පාක්ෂික සමුළුවක් අටවා, ඒ මඟින් 13 මුළුමනින්ම බලගැන්වීම පමණක් කරන්නේය යන නිදහසට කරුණක් දී, බෙදුම්වාදීන්ගේ වෑයම තමන්ගේ ඊලාම් සිහිනය වෙතට තවත් ලඟා වෙන මාර්ග සකස් කර ගැනීමයි.

‘සිංහල යයි කියා ගන්නා’ දේශපාලන පක්ෂ (එය නමට පමණක් වේ) මෙවැනි සමුළුවකට මේ අවස්ථාවේදී කැමති වුයේ ඇයි?

මේ වෙලාවේ අපට අවශය රටේ සෑම පළාතකටම, 13නේ පොලිස් බලතල යටතේ,  ඔවුනට ආවේනික නව පොලිස් හමුදාව බැගින් පිහිටුවීම නොවේ. ලක්ෂ 7කට අඩු ජන්ද දායකයන් සිටින ඌවට, සබරගමුවට ඔවුනට ආවේනික පොලිස් හමුදාවක්, ඔවුන්ගේම නිතී සහ ඒ හා බැඳුනු උසාවි, ඔවුන්ගේම පොලිස්පති, නීතීපති; මේ මොන විකාර කථාද?

TNA ඉඩම් බලතල ඉල්ලා බල කරන්නේ මධ්‍යම රජය සතු උතුරු නැගෙනහිර ඇති සියළු ඉඩම්, ගංගා, ඇල, දොළ, මුහුදු අයිතීන් ඔවුනට පවරා ගෙන සිංහලයනට ඒවා සදාකාලිකව අහිමිකිරීමටය.

ඉඩම් බලතල නැතත් විග්නේස්වරන් එකී බලතල බලෙන්ම ස්වකීය අණසකට ගෙන මහා ඇමති කාලයේ වැඩ කළේය. මධ්‍යම රජයන් නිහඬව බලා සිටීහ.

අද රටේ තිබෙන ප්‍රශ්ණ හාමතේ ඉන්නා මිනිසුන්ට  සහ දරුවනට කෑම වේලක් දෙන්නේ කෙසේද, දරුවන් අතර මන්ද පෝෂණය ඉහල යාම අඩු කිරීම, බෙහෙත් නැති ඉස්පිරිතාලවලට බෙහෙත් සපයන්නේ කෙසේද, විදුලි බල ප්‍රශ්ණය විසඳන්නේ කෙසේද  ආදියයි. සර්ව පාක්ෂික සමුළුවක් මඟින් සාකච්චා කර කඩිනම් විසඳුම් සොයා ගත යුත්තේ මේවාටයි.

මෙම ලිපි පෙලේ කලින් කොටස් වල සඳහන් කලාක් මෙන් උතුරේ ප්‍රදේශවලට වන තදබල දකුණු ඉන්දියානු බලපෑම් සහ TNA වැනි බෙදුම්වාදී පක්ෂවල ප්‍රතිපත්ති නිසා මධ්‍යම  රජයට හොරෙන් සිදුවන අනවසර පදිංචි වීම් බොහෝය. මේ නොරටුන් පසුව කොළඹට/දකුණට පැමිණෙත්. මෙයින්, රටේ ද්‍රවිඩ ජනගහනය දිගටම ඉහල යයි.

ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේ ලියාව යන  රටවල් (ii)

ඇමරිකාව, කැනඩාව, ඕස්ත්‍රේලියාව, නවසීලන්තය වැනි රටවල ශ්‍රී ලංකාවේ මෙන් ඒ අයගේ තනි රාජ්‍ය දෙකඩ කර වෙනම රාජ්‍යක් (ඊලාම් වැනි) ඉල්ලීමේ ව්‍යාපාරයන් නොමැත. ඒ රටවලට යන සංක්‍රමණිකයෝ ඒවායේ ඉතා සාමකාමිව ජිවත් වෙති.

කැනඩාවට ගිය අපේ ද්‍රවිඩ සහෝදරයන් කොටසක් මීට කාලයකට පෙර එම රටේද වෙනම කෑල්ලක් ඉල්ලා යම් සටනක් දියත් කල බවට ප්‍රවෘර්ති අසන්නට ලැබුණි. ඕස්ත්‍රේලියාවේ ඩාර්වින් නගරයද තමනට අවශ්‍ය යයි යම්  ද්‍රවිඩ පිරිසක් විසින් ඉල්ලීමක් කළහ. ඔවුන් එම ඉල්ලීම කලේ ඕස්ත්‍රේලියාවේ ආදීවාසීන් (ඇබරජිනවරු) පැවතෙන්නේ තමන්ගෙන් යයි ඔවුන් දැක්වූ ව්‍යාජ හේතුවයි. එයට, ඕස්ත්‍රේලියානුවෝ බොහෝ කලබල වුහ.

(නියම වශයෙන් නම් මේ ඇබරජිනවරු හෙළයන්ය. ඕස්ත්‍රේලියාවේ පලවී ඇති පැරණි ඉංග්‍රීසි ග්‍රන්ථ වල මේ බව සඳහන් වේ. නමුත් ඇබරජිනවරු මේ පිළිගැනීමට දැන් අකමැතිය.

ඇබරජිනවරු සහ අපේ වැද්දන් අතර ඉතා සමීප සම්බන්ධතා ඇත (උදා: ඇබරජිනර් භාෂාවේ නගර/ගම් – රත්තරන් බහුල කැල්ගූර්ලී (අපේ, කළු ගුලිය), ක්‍ෂතිජය පෙනෙන මීකතරා (අපේ, මිහි කතර), කැලෑ බද පෙදෙසක්වූ  වන්නි ආසා (අපේ, වන්නියට ආස).  ඇබරජිනවරු සහ අපේ වැද්දන් එකම හැඩ රුව ඇත (උස, කෙට්ටු ශරීර), දෙගොල්ලෝම එකම  ආයුධ භාවිතා කළහ, එකම විදියේ බිතු සිතුවම් ඇන්ඳහ.  එකම විදියේ ගස්, ගල්, මළවුන් ඇදහීම වැනි ආගමික කටයුතු වල නිරත වුහ.

ලොව අයිස් යුගයේදී අප්‍රිකාව, ආසියාව සහ ඕස්ත්‍රේලියාව එකම භූ තලයකි. ඒ කාලයේ අපේ වැද්දන් ඕස්ත්‍රේලියාවට පයින් ඇවිද ගොස් ඇත).

මේ බටහිර රටවල ඕනෑම කෙනෙකුට රට තුල ඕනෑම ප්‍රදේශයක ඉඩම් මුදලට/බද්දට ගෙන තමන් කැමති ප්‍රදේශයක ජීවත්වීමේ  හැකියාව තිබේ. අප කවුරුත් දන්නා පරිදි  සිංහලයාට මේ අයිතිය උතුරේ සහ නැගෙනහිර නැත. එම පළාත් 2කේ ප්‍රාදේශීය සභා, මහ නගර සභා, පළාත් සභා සිංහලයන් එම පළාත් වලට  පැමිණ ජීවත්වීම වැලක්වීමට කල හැකි සෑම දෙයක්ම කරයි (අනුරාධපුර සිංහලයෙක් උතුරේ නාවට්කුලි ගම්මානයේ පදිංචියට ගිය අවස්ථාවේ ඔවුන්ව ආපසු අනුරාධපුරයට උතුරේ බලධාරීන් විසින් හරවා එවූ කථාවක් මේ ලිපි පෙළේ 4වෙනි කොටසින් අප කීවෙමු).

ඔවුන් ජය ගෙන ඇත්තේ අපේ මධ්‍යම රජයන්හි ඇති දුර්වල කම් නිසාය.

ඉදින් එම රටවල් කිසි බියක් නැතිව සංක්‍රමණිකයන් ශ්‍රී ලංකාව වැනි රටවලින් ගෙන්වා ගනී. සංක්‍රමණිකයන් මනා ලෙස ‘පාලනය’ කරණා  හැටි ඔවුන් දනී. ඕනාවට වඩා ‘කට ගසන’ සංක්‍රමණිකයන් කෙසේ හෝ මධ්‍යම  රජය සහ ප්‍රාන්ත රජයන් (සමහරවිට එක්ව) මෙල්ල කරති. බොරු චෝදනා ගොනු කර අමාරුවේ වට්ටන ලද අහිංසක සංක්‍රමණිකයෝ ඇත.

සංක්‍රමණිකයනට පිං සිදු වන්නටය ඔස්ත්‍රේලියාව අද ‘දිව්‍ය ලෝකයක්’ බවට පත්වී ඇත්තේ. දෙවන ලෝක යුද්ධයට මත්තෙන් සුදු ඇන්ග්ලෝ සැක්සන් ඕස්ත්‍රේලියානුවෝ බැටළු, හරක් මස් ආදිය පුච්චා කමින් ‘හරි චාරයක් නැතිව’ වාගේ ජීවත් වූ ජාතියකි. 1940 මැද ගණන් වල ග්‍රීක, ඉතාලීන් ගෙන් ඇරඹුණු මහා සංක්‍රමණ රැල්ල 1970 ගණන් වල වියට්නාම්, කාම්බෝජ, ලාඕස්, චීන ආදීන්ටත්, 1990 ගණන් වල සිට මේ දක්වා පිලිපීන, මැලේෂියන්, ඉන්දීය, බංග්ලාදේශ්, ශ්‍රී ලාංකිකයනටත් පැතිර ගොස් ඇත.

මේ අයට ‘පිං සිදු වන්න’ ඕස්ත්‍රේලියාව තරම් සුඛෝපභෝගී ආහාර පාන වලින් පිරිපුන් රටක් වෙන කොහෙවත් නොමැති තැනට පත්වී ඇත.  ලොව වැඩිම විවිධාකාරයෙන් වූ රෙස්ටොරන්ට් ඇති නගරය මෙල්බර්න්ලු.

ඇමරිකාව, ඕස්ත්‍රේලියාව වැනි රටවල සැඟවුණු ජාතිවාදය (racism) තවම ඇත. ‘Tall Poppy Syndrome’ යන සිද්ධාන්තය යටතේ නැගී එන දියුණුවේ උඩටම ආ’ උස සංක්‍රමනික ගස්’ යනුවෙන් හඳුන්වන දක්ෂ, සාර්ථක සංක්‍රමිණිකයන් කුමන්ත්‍රණකාරී/අති සුක්ෂම  ලෙස කපා බිම හෙළන ජුගුප්සාජනක ක්‍රම වේදයන් ද  එම රටවල ක්‍රියාත්මකයි.

පොදුවේ ගත් කල ඕස්ත්‍රේලියානුවෝ ඉතාම හොඳ, මිත්‍රශීලී, ආචාරශීලි, ශිෂ්ට සම්පන්න මිනිසුන්ය.

කුමක් වුවත්, ශ්‍රී ලංකාව තරම් හොඳ රටක් තවත් නැත.

සිද්ධාන්ත 2ක් (මේ දෙකම සිංහලයාට අසුභය):

  1. මෑතක සිට රුවන්ඩාව පාලනය කරන්නේ ටුට්සින්ය (ඔවුන් ඉතා හොඳින් එම රට පාලනය කරත්) ඔවුන් ජනගහනයෙන් 9% – 14% පමණ වේ. මහ ජාතිය හුටුන්ය. ඔවුන් ජනගහනයෙන් 86% – 91% පමණ වේ. එන්න එන්නම අසාර්ථක රාජ්‍යයක් බවට පත්වන ශ්‍රී ලංකාවද නුදුරේදී ‘ටුට්සි රාජ්‍යක්’ වීම සිදු විය හැක.

කදිරගාමර් ජීවත් වුනානම් ශ්‍රී ලංකාව ටුට්සින් (දෙමළ) පාලනය කරන රුවන්ඩාවක් බවට පත් විමට බොහෝ දුරට ඉඩ තිබුණි. කදිරගාමර් දක්ෂයෙක් විය. නමුත් ඔහු ජනාධිපතිත්වය දරනු ලැබූ රජයක් යටතේ රුවන්ඩාවේ ටුට්සීන් මෙන් ශ්‍රී ලංකාවේ ද්‍රවිඩයන් ඉහලට විත් සැම අංශයකින්ම සිංහලයන්ව පාලනය කරන තත්ත්වයක් උදාවිම නොවැලක්විය හැකි කරුණකි. රුවන්ඩාවේ හුටුන් අද උසස් තානාන්තර හොබවන්නේ ඉතා අඩුවෙනි. බොහෝ ඉහළ තැන් උසුලන්නේ ටුට්සින්ය. අනාගත ශ්‍රී ලංකා රාජ්‍යය ද්‍රවිඩ නායකයෙක් යටතේ (මෙය නුදුරේම සිදුවීමට බොහෝ ඉඩ ඇත) සිංහලයනට රජයේ උසස් තැන් නොලැබෙනු ඇත.

මනෝ ගනේෂන් ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයා විය යුතුය වශයෙන් ඇතැම් භික්ෂුන් වහන්සේලා පවා ප්‍රකාශ කරත්. ඔහුට වඩා අවස්ථා ශානක්යන්ට ඇතැයි මෙම ලියුම්කරු විශ්වාස කරයි.

රට යන මාවත දෙස බලද්දී මෙවැනි දේ සිදුවිමට බොහෝ ඉඩ ඇත. මනෝ ගනේෂන් ප්‍රභාකරන් සමඟ එකම වේදිකාවේ සිටි බව බොහෝ අයට අමතකය. ශානක්‍යන් පසුගිය අගෝස්තු මස (2022) කැනඩාවට ගොස් දෙමළ බසින් එහි දෙමළ ඩයස්පෝරාවට කීවේ කුමක්ද? ඉංග්‍රීසි බසින් නම් කීවේ රට අස්ථාර වී ඇති මේ සමයේ ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමට දෙමළ ජනයා පසුබට නොවිය යුතු බවයි.

රසමානික්කම් ‘දෙවියෙක්’ කියා සිතන සිංහලයෝ බොහෝය.

(සුමන්තිරන් සහ ශානක්‍යන් දෙදෙනා සිංහලයනට බොරු චාටු කියා කෙසේ හෝ ඔවුන්ගේ ත්‍රස්ත මර්ධන පනත (PTA) අහෝසී කිරීමේ පෙත්සමට සිංහලයන්ගෙන් අත්සන් ගනිති. අපේ අයද වැල නොකැඩි ගොස් එයට අත්සන් තබත්.  යම් දවසක නැවත අන්තවාදී ත්‍රස්තවාදයක් මේ රටේ ඇතිවී (බොහෝ දුරට ඉඩ ඇත) දකුණේ බෝම්බ පිපිරෙන්න ගතහොත් ඉන් මැරෙන්නේ ඔවුන් සහ ඔවුන්ගේ පවුලවල් සාමාජිකයන්ද බව ඔවුන් වටහා නොගනී.

ජනතාවගෙන්  අත්සන් ලබා ඔවුන් සකස් කරන අවසන් පෙත්සම මොවුන් යවනුයේ ජෙනිවා වලට, බටහිර රාජ්‍යයනට සහ බටහිර  නොයෙක් NGO වලට නොවේද?

ජෙනිවා වලදී, වෙනත් බටහිර රටවලදී සහ බටහිර NGO සමුළු වලදී මොවුන් ඉල්ලන්නේ ශ්‍රී ලාංකික යුධ විරුවන් නොකළ අපරාධ වලට නඩු අසා දඬුවම් කිරීම, ශ්‍රී ලංකාවට සම්බාධක දැමීම, ශ්‍රී ලංකාවට විදෙස් ආධාර ලබා නොදීම,  අසාධාරණ වූ දෙමළ අයිතිවාසිකම් ඉල්ලීම වැනි දේයි. ඉදින්, සත්‍ය වශයෙන්ම රටට ආදරය කරනවුන් මෙවැනි අය හා සම්බන්ධ වන්නේ ඇයි?

1979 න් පසු සියළු ත්‍රස්තවාදයන්  සාර්ථක ලෙස අවසානයේ මැඩලීමට රජයනට හැකි වුයේ  ත්‍රස්තවාදය වැළක්වීමේ පනතට ස්තුති වන්ත වෙන්න බව රටට ආදරේ කරන මධ්‍යස්ථ මතධාරීහු පිළිගනිති.

ත්‍රස්ත මර්ධන පනත වනාහි අප සියළු රට වැසියන් – සිංහල, දෙමල, මුස්ලිම්, අපගේ  දෙඇස මෙන් සුරක්ෂා කල යුතු අතිශයින් වටිනා පනතකි.

ත්‍රස්තවාදී මර්ධන පනත අහෝසී වූ වහාම රජයට ප්‍රධාන වශයෙන් ඉතිරි වන්නේ අපරාධ නඩු විධාන සංග්‍රහයයි (Criminal Procedure Code – Act No 15 of 1979).  මෙයට ත්‍රස්ත ක්‍රියාවන් හසු කරගැනීම ඉතා අපහසුය.

ත්‍රස්තවාදය පිලිබඳ  පනත අහෝසි කිරීමෙන් පසු කිසි බියක් නොමැතිව උතුරේ සහ නැගෙනහිර ප්‍රභාකරන්  උපන්දිනය, වෙනත් දෙමළ ත්‍රස්තවාදී වැඩ සටහන්/උත්සව මහ ඉහලින් පැවැත්වීමට බෙදුම්වාදීන් කටයුතු කරනු ඇත.සයින්දමර්දු වලින් සහරාන්ලා බිහි වෙනු ඇත.  දෙමටගොඩ පදිංචිව සිටි මොහොමඩ් ඉබ්‍රාහිම් වැනි කෝටිපති, ත්‍රස්තවාදීන්ට මුදල් දුන් අය, අත් අඩංගුවට ගැනීමට ඉතා අපහසු වනු ඇත.

LTTE සොහොන් බිම් නැවත ඉදි කරනු ඇත. ඊලම ඉල්ලා ඔවුන්  උතුරේ සහ නැගෙනහිර හර්තාල් කරනු ඇත. සිවිල් ජනතාව යොදා හමුදා කඳවුරු වටලනු ඇත.  දැන් පලාලි වල ජාත්‍යාන්තර ගුවන්තොටුපලක්ද ඇති නිසා, රට ඉතා දරුණුව ආර්ථිකව වැටී තිබෙන මේ සමයේ, උතුරේ වෙනම රාජ්‍යක් ප්‍රකාශ කිරීමට පවා ඔවුන් පසුබට නොවනු ඇත.  

ශ්‍රී ලංකාවේ රජයන් මෙම අගනා ත්‍රස්ත පනත ඉතා නින්දිත ලෙස අවභාවිත කල බව රහසක් නොවේ. තමන්ගේ පුද්ගලික සතුරන්ට ‘පාඩම් ඉගැන්වීමට’ සෑම රජයක්ම මෙම පනත යොදා ගතී. ඔවුනගේ හුදු ආත්මාර්ථකාමී, පළිගැනීමේ ආශාවන් නිසා අද අමාරුවේ වැටි තිබෙන්නේ ශ්‍රී ලංකා මාතාවය. ඔවුන්ගේ මෙවැනි දේ බෙදුම්වාදීන් උලුප්පා පෙන්වා දෙති; එයින් වාසි ලබා ගනිති.

දැන් කළ යුත්තේ දැනට තිබෙන පනත අහෝසි කිරීම නොව එහි අත්‍යාවශ්‍ය වගන්ති තබාගෙන,  පනත යම් සංශෝධනයට ලක් කිරීමයි. එවිට බටහිරට අපව විවේචනය කිරීමට නොහැකි වනු ඇත. මේ සම්බන්ධව අපේ 8/10/22 ලිපිය බලන්න).

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress