අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මැතිණියගේ බොරු ප්‍රචාර වලට රැවටීමට තරම් චීන හෝ ශ්‍රී ලාංකික ජනතාව මෝඩ නැහැ- චීන රුසියා සහයෝගිතාවය සඳහා වන ශ්‍රී ලාංකික විද්වත් සංසදයේ ලේකම් නීතිඥ රාජා ගුණරත්න
Posted on January 19th, 2023
Lanka Lead News
දිගින් දිගටම ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චුන්ග් මහත්මිය ශ්‍රී ලංකාව මුහුණ දී ඇති ණය අර්බූදයට හේතුව චීන ණය බව අවධාරණය කරමින් කරණු ලබන අසත්‍යය ප්‍රකාශ සම්බන්ධයෙන් ලංකා ලීඩ් වෙබ් අඩවිය චීන රුසියා සහයෝගිතාවය සඳහා වන ශ්‍රී ලාංකික විද්වත් සංසදයේ ලේකම්, විවෘත විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතිඥ රාජා ගුණරත්න මහතාගෙන් විමසන ලදී. ඒ සම්බන්ධයෙන් ඒ මහතා දැක්වූ අදහස් දක්වමින්,
” අමෙරිකාව ලෝකය මත සිය ආධිපත්‍ය පතුරුවා හැරීමට මිලිටරි බලයට අමතරව ප්‍රධාන වශයෙන් බොරුව ජාත්‍යන්තර වශයෙන් සමාජගත කිරීම කරණු ලබනවා. ඔවුන් හිට්ලර්ගේ නාසි හමුදාවේ සිටි ගොබෙල්ස් හඳුන්වා දුන් න්‍යාය හිට්ලර්ටත් වඩා හොඳින් දීර්ඝ කාලයක් තිස්සේ ලෝකය පුරාභාවිතා කරනවා. ඔවුන් මේ වන විට යුක්‍රේනයට මුවාවී රුසියාව සමඟ පැටලී ඇති යුද්දයෙන් දිනෙන් දින පරාජය ලබමින් සිටිනවා. ඔවුන්ගේ හිතවත් මෙන්ම විශ්වාසවන්තම සගයන් වන ඊශ්‍රායලය සහ කොරියාව පවා ඔවුන්ට සහයෝගය දීම ප්‍රතික්ෂේප කරමින් සිටිනවා. ඒ නිසාම අප වැනි රටවල් විනාශයෙන් විනාශයට ඇද දමා ඔවුන්ගේ ආර්ථික හානි පූර්ණය කර ගැනීමට දඟලනවා. ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලී චූන්ග් මැතිනියගේ චීනා, චීනා, චීනා” මන්තරය ජප කරන්නේත් ඒ නිසාවෙන්මයි. ඇය පසුගියදා ශ්‍රී ලංකාවේ ණය අර්බූදය සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ රූපවාහිනී වැඩසටහනක් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් නැවත චීන මන්ත්‍රය ජප කිරීමට කටයුතු කළා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකාව කරන සාකච්ඡාවලට බාධකයක් වී ඇත්තේ චීන ණය යැයි පවසමින් චීනයට දොස් පවරන්නට කටයුතු කළා. ඇය පදනම් විරහිතව චීනයට චෝදනා කිරීමට පෙර අඩුම තරමින් තමන්ගෙන්ම අසාගත යුතු ප්‍රශ්න කිහිපයක් තිබුණා. ඒවා නම් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රතිපත්ති තීරණ සම්බන්ධයෙන් නිෂේධ බලයක් ඇති තනි විශාලතම කොටස් හිමියා කවුද?. 2020 වර්ෂයේදි පමණක් ට්‍රිලියන 3 කට වඩා වැඩි ප්‍රමාණයක් එක්සත් ජනපද ඩොලර් මුද්‍රණය කළේ කවුද? ඉහළම පොලී අනුපාත සහිත ශ්‍රී ලංකාවේ මුළු විදේශ ණය තොගයෙන් 40%කට උරුමකම් පවසන පුද්ගලික ණය හිමියන් කවුද? ශ්‍රී ලංකාව එම ණය ගෙවීම පැහැර හැරීමෙන් පසු ශ්‍රී ලංකාවට එරෙහිව ෆෙඩරල් අධිකරණයේ නඩු පැවරුවේ කවුද? යන මූලික ප්‍රශ්න කිහිපයයි.
ශ්‍රී ලංකාව අර්බූදයට මුහුණ දී සිටින මේ මොහොතේදී සහල් මෙට්‍රික් ටොන් 10000ක්, ඩීසල් ලීටර් මිලියන 10.6 ක් හෙවත් මෙට්‍රික් ටොන් 9000ක්, රුපියල් බිලියන 5ක් වටිනා ඖෂධ සහ පාසල් නිල ඇඳුම් රෙදි මීටර මිලියන 3ක් චීනය විසින් පරිත්‍යාග කළ බව ජූලි චුන්ග් මැතිනියට ඇත්ත වශයෙන්ම අමතක වූවාද නැතහොත් බොරු කීමට ගොස් පැටලී ඇත්දැයි අපට සැක සිතෙනවා. චීනය ලබා දුන් පරිත්‍යාග කිසිදු බැඳීමක් තොරව” ලබාදුන් ඒවා යැයි කිසිදු සැකයක් නැති වුවත් එක්සත් ජනපද ආධාර (USAID) ලබා දීමට ඉදිරිපත් කරන දේශපාලන පූර්ව කොන්දේසි මොනවාදැයි ඇයට අමතක වී ඇතැයි අපට සිතෙනවා.
ශ්‍රී ලංකාව ගිලී ඇති ණය අර්බූදය සම්බන්ධව එක්සත් ජනපදය ස්වයං විවේචනයක් කරනවා වෙනුවට දොස් පැවරීමේ ක්‍රීඩාවට අවතීර්ණ වීම එක්තරා ආකාරයක ජාත්‍යන්තර කුහකකමක් ලෙස අපට හැඟෙනවා. ජූලි චුන්ග් මැතිණිය මෙලෙස චීනය සහ ශ්‍රී ලංකාව අතර අසමගිය වැපිරිමට කටයුතු කරන්නේ ඔවුන්ගේ ශ්‍රී ලංකික මිතුරන්ට පහසුවෙන් ශ්‍රී ලංකවේ ජනයා රැවටීමට බව තේරුම් ගැනීමට පසුගිය කාලය පුරා ඇයත් ඇයගේ ශ්‍රී ලාංකික මිතුරනුත් කටයුතු කළ ආකාරයෙන් පැහැදිලි වෙනවා. ශ්‍රී ලංකාවට වඩාත් සුවපහසු විසඳුමක් ලබාදීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල තුල තීරණාත්මක ක්‍රියාමාර්ග නොගත්තා පමණක් නොව එක්සත් ජනපදය සෑම වසරකම රොකට් වේගයෙන් මුද්‍රණය කරන ඇමරිකානු ඩොලර් ප්‍රමාණයෙන් සොච්චමක් වියදම් කර ශ්‍රී ලංකාවට ආධාර ලබා නොදුන්නේ ඇයි දැයි යන පැනය අපට පැන නගිනවා. අවසාන වශයෙන් ශ්‍රී ලංකාවේ සංවර්ධන ක්‍රියාදාමයට දැඩි බාධා පමුණුවන්නේ කවුදැයි කිසිදු විදේශික උපදෙස් නොමැතිව විනිශ්චය කිරීමට තරම් චීන ජාතිකයන් මෙන්ම ශ්‍රී ලාංකිකයන් ද බුද්ධිමත් බව අවධාරණය කරනවා.”