දේව හස්තයේ එඩ්මන්ඩ් දනතිස්ස
Posted on February 25th, 2023
චානක බණ්ඩාරගේ
දීර්ඝ නාවික ගමනකින් පසු 19 හැවිරිදි නාවික උප කපිතන් එඩ්මන්ඩ් දනතිස්ස කඩිනමින් ප්‍රංශයේ මාර්සෙයි නගරයට පැමිණියේ සිය ප්‍රියම්භිකාව වන මධුමනී විවාහ කර ගැනීමටය. නැවේ අවසාන මෙහෙයුමේදී කපිතාන් වරයා ද හදිසියේ මිය ගියෙන් එම තනතුරද ඔහුට ලබා දීමට නැව් සමාගම් අධිපතියා දනතිස්සට පොරොන්දු වී තිබුණි.
තමනගේ හොඳම කාලය ලබා ඇතැයි තරුණ දනතිස්ස සහ මධුමනී සිතුහ.
එහෙත්, නැවේ දනතිස්ස සමඟ එකට වැඩ කල දන්ගෙදර සහ ඉතා සුරූපී මධුමනීගේ අත ගැනීමේ සිහිනයෙන් දිවා රෑ පෙළුණු මොරලන්ද දෙදෙනාට තිබුනේ වෙනත් අදහසකි – කෙසේ හෝ දනතිස්ස අමාරුවේ දමා ඔහුගේ අභිප්‍රායන් පාගා, තමනගේ අභිප්‍රායන් ජය ගැනීමයි.
දන්ගෙදරට නැවේ කපිතාන් වීමටත්, මොරලන්දට මධුමනී දිනා ගැනීමටත් බෙහෙවින්ම අවශ්‍ය විය.
දන්ගෙදර සහ මොරලන්ද එකතුව, බීමත් කැදෑරුස අල්වා ගෙන, දනතිස්සට විරුද්ධව පෙත්සමක් මාර්සෙයිහි ගරු විනිෂ්‍යකාරතුමා වෙත ලියා යැවුහ.
අභාවප්‍රාප්ත වියපත් නැව් කපිතාන් එල්බා දුපතේ සිර කර සිටී නැපෝලියන් බොනපාර්ට්ගේ රහසිගත ලිපියක් ප්‍රංශයේ බලවතෙක් වෙත ගෙන එමින් තිබුණු අතරය ඔහු නැවේදී මිය ගියේ. ඔහුගේ අවසන් මොහොතේ නැව් කපිතාන් දනතිස්ස කැඳවා එම ලිපිය ප්‍රංශයේ අදාළ බලවතා වෙත යොමු කරවිය යුතුය යන නියෝගය ලබාදී නැවේදීම මිය පරලොව ගියේය.
ලිපියේ අන්තර්ගතය කුමක්ද හෝ එය කා විසින් කා වෙත එවන ලද්දක්ද යන්න ගැන දනතිස්සට කිසිම දැනුමක් නොවීය. ඒ ගැන දැනගැනීමට ඔහුට වුවමනාවක්ද නොවීය. තම හාම්පුතා කිවූ දේ පමණක් කිරීමට ඔහු භාර ගත්තේය. එය තම රාජකාරියේ කොටසක් ලෙස ඔහු සැලකීය.
දනතිස්ස පිළිබඳවූ පෙත්සම විභාග කලේ කපටි පෙනුමක් ඇති, ඉහල නැගීමේ දැඩි ගිජු කමින් පෙලුණු තරුණ විනිෂ්‍යකාරතුමෙකි.
දනතිස්ස කිසිම වරදක් කර නැති බවත් ඔහුට ආපසු නිවසට යාමට හැකි බවත්, පසුවදා පැවැත්වෙන දනතිස්සගේ සහ මධුමනීගේ විවාහ මංගලෝත්සවයට තමන් සුභ පතන බවත් තරුණ විනිෂ්‍යකාරතුමා සිනහසෙමින් පැවසීය.
දනතිස්ස අධිකරණ ශාලාවේ දොරෙන් එලියට යාමට මත්තෙන් දනතිස්සව නැවත ඇමතු විනිෂ්‍යකාරතුමා ‘එම ලියුම යොමු කර තිබුනේ කාගේ නමටද’ කියා විමසීය. මට මතක හැටියට ‘නෝතියර් විල්කොටුව යන නමටයි ස්වාමිනි’ වශයෙන් දනතිස්ස පැවසීය.
එයින් තිගැස්සුණු විනිෂ්‍යකාරතුමා ඒ බව දනතිස්සට නොදැනෙන ලෙස හැසිරී දනතිස්සව තම පුද්ගලික නිල මැදිරියට ගෙන්වා එම ලිපිය පුළුස්සා එවැනි ලිපියක් ගැන වෙන කිසිවෙකුට නොකිව යුතුය යන ශපතය දනතිස්සගෙන් ලබා ගත්තේය. අත්‍යාවශ්‍ය පරිපාලනමය කරුණු කිහිපයක් වෙනුවෙන් ඔහුට එදින සිර මැදිරියේ ගත කිරීමට සිදු වන බව විනිෂ්‍යකාරතුමා දනතිස්සට පැවසීය, පසුදින උදේ ඔහුව නිදහස් කරන බව පැවසීය.
දනතිස්සව මාර්සෙයි නගරයේ සිට මුහුද මැද තිබෙන සිර ගෙදරකට ගෙන ගොස් දමා, වසර 6ක් පමණ කිසිම මනුෂ්‍ය ආශ්‍රයක් නොමැතිව තනිව, දැඩි අඳුරේ ගත කිරීමට සිදු විය. තමන් කල අපරාධය කුමක්ද, මධුමනීගේ සහ තම පියාගේ තත්ත්වය කුමක්ද යන කිසිවක් ගැන දනතිස්සට දැනුමක් නැති විය. කථා කිරීමට කිසිවෙක් සිටියේ නැත.
තමාට ඇති එකම විසඳුම සිරගෙයින් පැන යාම යයි සිතා දනතිස්ස තමන් විසින්ම සාදා ගත් සුළු ආයුධ වලින් තම සිර මැදිරියේ බිත්ති හොරෙන් සෑරීය. ඔහු වසර කිහිපයක් මේ දේ එක දිගට කළේය. එක් දිනක් ඔහුගේ සිර මැදිරියට එහා බිත්තියට යමෙක් තට්ටු කරන හඬ ඔහුට ඇසුණි. ඉන් පසු කාරුණික, මහළු කටහඬකින් ‘ඔය ගල ගලවා ඉවත් කර, මා සිටින සිර කුටියට එන්න’ යන වදන් දනතිස්සට ඇසුණි.
දනතිස්ස ඒ කිවූ ලෙසම කළේය. ඔහුට සුදු, දිග රැවුලකින් හෙබි, කරුණාබර මුහුණකින් යුත්, වයෝවෘධ, යහපත් පුද්ගලයෙක් දක්නට ලැබුණි.
‘සිරගෙදර නිලධාරීන් ‘පිස්සු පුජකවරයා’ වශයෙන් හඳුන්වන්නේ මට තමා’ කියා හේ සිනාසීය.
තමන්ව සිර ගෙයින් හොර රහසින් පිට කළහොත් සිරගෙදර නිලධාරීන්ට විශාල මුදලක් දෙන බවට පුජකතුමා නිතර නිතර කරන යෝජනාව නිසා සිරගෙදර නිලධාරින් ඔහුට ‘පිස්සු පුජකවරයා’ යන නම පටබැඳ තිබුණි.
දනතිස්සට ඒ කතෝලික පාදිලිතුමා හමු වුයේ එලෙසිනි. පුජකතුමාද සිරගෙයින් පලා යාම සඳහා සිරගෙදර බිත්ති බිඳිමින් සිටී කෙනෙකි. දන්ගෙදරටත් වඩා ඔහු සිරගෙදර පැරණි සිරකරුවෙකි.
වසර 8ක් මේ දෙදෙනා දැඩි මිතුරන් වශයෙන් සිරගෙදර තුල කල් ගත කළහ. ඔවුන් එකට සිර ගෙයි බිත්ති හෑරූහ. දනතිස්සට බුද්ධිමත් පුජකවරයා ඉතිහාසය, සංස්කෘතිය, භූගෝලය, විද්‍යාව ආදී කී නොකී සෑම දේම ඉතා හොඳින් කියා දුන්නේය.
පුජකවරයා දනතිස්සට පුතෙක් මෙන් ආදරය කළේය.
නිල දරුවන්ට අසු නොවන සේ සිටීමට දෙදෙනාම වැඩ කළහ.
පුජකවරයාද නැපෝලියන් පාක්ෂිකක් වීම නිසා සිර දඬුවම් විඳමින් සිටියෙකි.
තවත් නැපෝලියන් ගැත්තෙකු වූ නෝතියර් විල්කොටුව යන ප්‍රංශයේ ජ්‍යෙෂ්ඨ විනිෂ්‍යකාරතුමා ඒ තරුණ විනිෂ්‍යකාරතුමාගේ පියා බව පුජකතුමා දනතිස්සට පෙන්වා දෙන විට දනතිස්ස විශ්මයට පත් විය. තම පියා සහ නැපෝලියන් අතර වූ රහස් සම්බන්ධය හෙළිදරව් වේය යන බියෙන් තරුණ විනිෂ්‍යකාරතුමා දනතිස්ස ගෙනා ලිපිය පුළුස්සා, දනතිස්සව ජිවිතාන්තන්තය දක්වා මුහුද මැද දුපතේ සිර කර තැබීමට නියෝග දී ඇති බව පුජකවරයා දනතිස්සට පැහැදිලි කර දුනී.
දිනක් අසාධ්‍ය තත්ත්වයේ සිටී පුජකවරයා දනතිස්සව ඔහුගේ සිර කුටියට කැඳවා පැරණි සිතියම් දී කිවේ එහි දැක්වෙන මොන්තේ ක්‍රිස්තෝ දිවයින (ඉතාලියට අයත්) සොයා ගොස් එහි සඟවා ඇති මහා වස්තු සම්භාරය හිමි කරගන්නා ලෙසයි.
මැරුණු පුජකවරයාගේ මිනිය සහිත ගෝනිය බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සිර කුටියේ පැත්තක තබා තිබියදී දනතිස්ස පුජකවරයාගේ දේහය ඉන් ඉවත් කර එය සිර කුටියේ සඟවා, දනතිස්ස ගෝනිය තුලට විය. ඉඳිකටුවකින් ගෝනියේ කට දනතිස්ස විසින් මසා ගන්නා ලදී.
පුජකවරයාගේ සිරුර සහිත ගෝනිය නිලධාරින් මුහුද මැද තිබු සිර ගෙයින් පහල මුහුදට විසි කල පසු ගෝනිය තුල සිටී දනතිස්ස ගෝනිය ලිහා එලියට විත්, මුහුදේ පිනා යද්දී මුහුදු මංකොල්ලකරුවන් පිරිසක් විසින් බේරා ගන්නා ලදී.
මාස කිහිපයකට පසුව දනතිස්ස මොන්තේ ක්‍රිස්තෝ පාළු (මනුෂ්‍ය වාසයක් නැති) දිවයින සොයා ගොස් පුජකවරයා දුන් සිතියමේ ප්‍රකාරව ඒ මහා ධන සම්පත (මුතු, මැණික්, රත්‍රන්, කාසි) සියල්ල අත් පත් කරගත්තේය. ඒ වස්තුවේ වටිනාකම කියා නිම කල නොහැකි තරම්ය.
‘පලිගන්නෙමි’ යන උර්ධුත පාටය තම එකම අදිටන කරගත් දනතිස්ස ‘මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා’ යන නමින් ප්‍රංශයට අවතීර්ණ වුයේ ඔහුගේ ප්‍රතාපවත් පෙනුම, මහා ධනය සහ මනුසත්බව ගැන ප්‍රංශ වැසියන් විමතියෙන් විමතියට සහ උද්ධාමයට පත් කරවමිනි. රජුන්, ආදීපාදවරුන්, සිටුවරුන් ඇසුරු කරමින්, දුප්පතුනට උදව් කරමින් මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා ප්‍රංශයේ ඉහල සමාජයේ උසස්ම තත්වයෙන් වැජභුනු පුද්ගලයෙක් බවට පත්වීමට ගත වුයේ ඉතා කෙටි කාලයක් පමණි.
තමා සිරගත වූ පසු තම පියා නිරාහාරව මිය ගිය බවත්, මධුමනී මොරලන්ද විසින් විවාහ කරගත් බවත් බීමත් කැදෑරුසගෙන් දනතිස්ස (මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා ) දැන ගතී.
දනතිස්සව බලධාරීන්ට පාවා දුන්නේ දන්ගෙදර සහ මොරලන්ද බවද කැදෑරුස සනිටුහන් කළේය.
කැදෑරුසට මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා ෆ්‍රෑන්ක් 50,000ක් (අද වටිනාකම යුරෝ මිලියන 110ක්) පරිත්‍යාග කෙරිණි.
මේ වෙනවිට, දන්ගෙදර සහ මොරලන්ද එවක ප්‍රංශ සමාජයේ ඉහලම තලයේ සිටී කීර්තිමත් ප්‍රභූවරයෝ දෙදෙනෙක් වුහ. දන්ගෙදර බැංකු කිහිපයක් හිමි බැංකු හිමියෙකු ලෙසද මොරලන්ද හමුදාවේ උසස් නිලධාරියෙකු ලෙස කටයුතු කර විශ්‍රාමිකව, උසස් අය ඇසුරු කරමින් විසු අයෙක් විය. එදා තරුණ විනිෂ්‍යකාරතුමා (විල්කොටුව පුතා), ප්‍රංශයේ අධිකරණ පද්ධතියේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
තම ජීවිතය විනාශ කර දැමු ඒ පාපතරයන් තිදෙනා – දන්ගෙදර, මොරලන්ද සහ විල්කොටුවගෙන් දනතිස්ස පන්න පන්නා පළි ගත්තේ ඔවුන්ව ඉතා කිට්ටුවෙන් ආශ්‍රය කරන ගමන්, තමන් ඔවුනගේ ඉතා කිට්ටු හිතෛෂීයෙකු බව ඔවුනට ඒත්තු ගන්වමිනි.
මේ තුන්දෙනාම ප්‍රංශ සමාජයේ ඔවුන් සිටී ඉහල තැන් වලින් විසීවී බිමට වැටුනා පමණක් නොව, ඔවුන් අවසන් වුයේ යාචක වැනි පහළම මට්ටම් වලිනි.
පළිගැනීම තම ඒකායන අරමුණ වුවත් විරුද්ධවාදීන්ගේ ජීවිත නැති කිරීමට මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයාට අවැසි නොවීය. වරක් බලවත් ව්‍යාපාරික ප්‍රශ්ණ නිසා සිය දිවි නසා ගැනීමට ගිය දන්ගෙදරව එයින් වැලැක්වූවේද ඔහුයි. තමනට අහිතක් නොකළ මධුමනී, නෝතියර් විල්කොටුව වැන්නන්ට සිටුවරයා අතිශයින් කරුණාව පෑය.
ඇන්ඩ්රූ කමල්කන්නි නමැති ‘බැටළු හමක් පොරවා ගත් වෘකයා’ යොදවා ප්‍රංශයේ ප්‍රධාන විනිෂ්‍යකාරතුමා වන විල්කොටුවගේ (නෝතියර් විල්කොටුවගේ පුතා) ‘නිරුවත’ මුළු ප්‍රභූ සමාජය ඉදිරියේ නිරාවරණය කරවීය.
ඒ අයගේ සමාජ අවසානය ලඟා වූ මොහොතේ තමන් කවුදැයි දනතිස්ස ඔවුනට වෙන් වෙන්ව කියා දෙන ලදී. ‘දැන ගන්න, මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා ලෙස මේ පෙනී සිටින්නේ නුඹ විසින් එදා ජීවිතය සහමුලින්ම විනාශ කර දමන ලද එඩ්මන්ඩ් දනතිස්ස තරුණයායි, මා මරුනේ නෑ; එඩ්මන්ඩ් දනතිස්ස මමයි’ කියා ඔහු කෑ ගෑය.
මොරලන්දගේ සහ මධුමනිගේ පුත්‍රයා වන ලක්ෂ්මන් සමඟ ද්වන්ද කඩු සටනක් සඳහා අභියෝග කල මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා ඒ මඟින් මධුමනි තමන් වෙතට ගෙන්වා ගැනීමට සමත් විය. ‘මාගේ පුතා මේ සටනින් නියතව මැරෙනවා; ඔබ කවුද’ කියා ඇය ඇසීය.
‘ඉතා අසාධාරණ ලෙස මාව සිරගත කිරීම නිසා මාගේ පියා මාර්සෙයි නගරයේ දී නිරාහාරව මිය ගියා, මාගේ ප්‍රියම්බිකාව මට මාර්සෙයි නගරයේදී මේ ලක්ෂ්මන්ගේ පියා – මොරලන්ද ජ්‍යෙෂ්ඨයා අහිමි කළා, ඔහු නිසා මා වසර ගණනාවක් මුහුද මැද අඳුරු සිර කුටියක දස වධ වින්දා’ යයි මොන්තේ ක්‍රිස්තෝ සිටුවරයා කීය. ‘අහෝ එඩ්මන්ඩ්, මේ ඔබද’ කියා මධුමනීට කියැවිණි.
තමන් ඉදිරියේ සිටින්නේ තමන් සදා ආදරය කල, තමන් මිය ගියා යයි සිතු එඩ්මන්ඩ් දනතිස්ස බව මධුමනී වටහා ගත්තාය. ඇයට හැඬුම් ආය.
මධුමනීගේ බැගෑපත් ඉල්ලීම නිසා දනතිස්ස ද්වන්ද සටන අත්හැර ලක්ෂ්මන් මොරලන්දට අභය දානය දිණි.
‘දේව හස්තය’නමින් KB සුගතදාසයන් විසින් පරිවර්තනය කරන ලද අලිසන්දර දුමාගේ කවුන්ට් ඔෆ් මොන්තේ ක්‍රිස්තෝ නැමති මේ අගනා නව කතාවෙන් අපට කියා දෙන පණිවුඩය කුමක්ද?
තමනට බලවත් අසාධාරණ සිදුකළ, තම ජීවිතය විනාශ කල අයව, සොයා සොයා ගොස්, ඔවුන් විසින් කරන ලද අපරාධ ඔවුනට පෞද්ගලිකවම පවසා, ඔවුන්ගෙන් උපරිම ලෙස අප පළි ගත යුතු බවයි.
‘දෙවියන්ගේ අත මාය (දේව හස්තය)’ සිතා කටයුතු කරන ලෙසයි මේ ග්‍රන්ථය අපට කියා දෙන්නේ.
බුද්ධ ධර්මයෙන් පෝෂණය වූ පෙරදිග රටක් වූ අප ශ්‍රී ලංකාවාසීනට මේ ධර්මතාව (පළිගැනීම) කිසිසේත් නොගැලපේ.
නමුත්, තදින්ම පළි ගන්නා රටවල් වේ. ඒවා බටහිර රටවල්ය. එම රටවල ‘පළිගැනීම’ ඔවුනගේ සංස්කෘතියේ උවමනාම අංගයකි.
පළිගැනීම සිද්ධාන්තයක් වූ පසු නොකළ වරදවලට, තමන් අකමැති අහිංසකයන්ගෙන්, කරන පළිගැනීම් ද සිදුවේ.
පළිගැනීමෙන් තොර සමාජයක් අප බිහිකරමු.