සියළු සත්වයෝ සුවපත් වෙත්වා!
Posted on May 6th, 2023
හර්ෂ කුමාර් සුරියආරච්චි
වෙසක් පෝ දිනට ගැලපෙන මාතෘකාවක් වුවත් මෙම ලිපියෙන් සාකච්ඡා කරන්නේ වෙනත් කරුණක්. ඒ ,මෙම ලිපියට ප්රස්තුත වූ ආචාර්ය නලින්ද සිල්වා මහතා කාලය වෙබ් අඩවියේ 2023 මැයි 5 වන දින “මගේ බුදු හාමුදුරුවෝ ” මැයින් ලියා ඇති ලිපිය කියවීමේදී ඇති වූ අදහස් කැටි කිරීමක්.
එතුමා එම ලිපියේ එක තැනක මෙසේ සදහන් කරනවා.
“”අපට කියන්න වෙන්නෙ ඊනියා මා ඊනියා සත්වයා ඊනියා පුද්ගලයා ආදී වශයෙන්. ඒත් හැම තැන ම ඊනියා යොදාගන්න එක තේරුමක් නැහැ. අප සත්වයා කියන්නේ ආත්මයක් ගැන සිතා නොවෙයි. එය සම්මුතියක් පමණයි. අපට සියලු සත්වයෝ සුවපත් වේවා කියන්න වෙනවා. ඊනියා සත්වයෝ ඊනියා සුවපත් ඊනියා වේවා කියන්න””
එම උපුටා ගැනීමේ අවසන කොටසෙහි මා ලිපිය කියවන විට බලාපොරොත්තු වෙමින් සිටි “” ඊනියා සත්වයෝ ඊනියා සුවපත් වේවා”” වෙනුවට “”ඊනියා සත්වයෝ ඊනියා සුවපත් ඊනියා වේවා”” ලෙස තිබීම තුල තිබුණු විශේෂත්වය සිතින් විශ්ලේෂණය කරන අතර මෙම ලිපිය ලියන්නට සිත් උනා.
“”සියළු සංස්කාර ධර්මයෝ අනිත්ය්යි “” යනුවෙන් බුද්ධ දේශනාව ලෙස අප අසා ඇති ආකාරය නිවැරදි නම් යම් යම් අවස්ථාවල සමාජය තුල එය “”සියල්ල අනිත්ය්යි “” ලෙස ව්‍යවහාර වීම නිවැරදි විය නොහැකියි. එසේ නම් සංස්කාර ධර්මතාවක් නොවූ ප්‍රාර්ථනයක් පමණක් වූ “වේවා” යන්න තුල අනිත්‍ය බවක් හෝ අනාත්ම බවක් දැකිය නොහැකියි. එසේ වුවත් එම ප්‍රාර්ථනය කරන්නාත් ලබන්නාත් අනිත්ය්යි අනාත්මයි. ඒ වගේම එම අනිත්‍යය වූත් අනාත්ම වූත් ලබන්නා හට ප්‍රාර්ථනා කරන සුවපත් වීම නිත්‍ය වීමක් හෝ ආත්මීය වීමක් ලෙස දැකීම ඊනියා දැක්මක් ලෙස ගන්න පුළුවන්. එහෙම නම් ඊනියා එවැන්නක් වේවා යැයි කීමද ඊනියා ලෙස දැකීමත් කල හැකියි.
බුදුන් වහන්සේ බුදු වීමට ප්‍රථම සාරා සන්ඛෙයිය කල්ප ලක්ෂයක් පෙරුම් පිරු බව අප අසා තිබෙනවා. මා කියා කෙනෙකු නොමැතිනම් ඒ පෙරුම් පිරුවේ කවුද? කුමක්ද? අප කරන කර්ම වල ප්‍රතිපල ගැල බැඳී ගොනු පසු පස ගැල එන්නාක් මෙන් අප පසු පස එන්නේනම් අප කියා දෙයක් නැති වන්නේ කෙලෙසද?
මා දකින ආකාරයට අප එසේ සිතන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ත්‍රිත්වය ගැන ඇති කරගෙන ඇති වැරදි වැටහීම නිසායි. මෙහිදී තේරුම් ගත යුත්තේ නිත්‍ය නොවූ අනිත්‍ය වූ දේ නිත්‍ය ලෙස ගැනීම නිසා එය අහිමි වීමේදී දුක හට ගන්නා බවයි. ආත්මීය නොවූ අනාත්ම වූ දේ ආත්ම ලෙස ගැනීමෙන් එසේ ආත්ම ලෙස සැලකු දෑ නැති වීමෙන් දුක හට ගන්නා බවයි. එසේ නම් අප කල යුත්තේ අනිත්‍ය වූ දේ නිත්‍ය ලෙස ගැනීමෙන් වැලකී සිටීමයි. අනාත්ම වූ දේ ආත්ම ලෙස ගැනීමෙන් වැලකී සිටීමයි. අනිත්‍ය දේ අනිත්‍ය ලෙසත් අනාත්ම දේ අනාත්ම ලෙසත් ගැනීමෙන් දුක ඇතිවීමෙන් මිදිය හැකි බවයි. මේ මමය මගේය ආදී වශයෙන් ගැනීම ආත්ම ලෙස ගැනීමයි.
මා අනිත්‍ය නම් මා ලෙස දෙයක් පවතින්නේද යන ප්රශ්නය ට පිළිතුර කුමක්ද? අනිත්‍ය යනු පවතින්නේ නැත නොවේ. අනිත්‍ය යනු නිත්‍ය ලෙස පැවැත්මක් නැති බව පමණයි. අනාත්ම යනු ආත්මයක් නැත යන්න නොවේ. අනාත්ම යනු මා ය මගේ ය ලෙස එනම් ආත්ම ලෙස ගැනීමක් කල නොහැකි බවයි.
උත්පාද තිථි භංග ලෙස බුද්ධ දේශනාව තුල සදහන් වෙනවා පැවත්ම ගැන. එහි තිථි යනු පැවතීමයි. නමුත් එම පැවතීම නිත්‍ය නොවේ. ක්ෂණිකව වෙනස් වේ හෙවත් භංග වේ. එම නිසා එම උත්පාද වූ දෙයෙහි පැවැත්ම නිත්‍ය නොවේ. එය නිත්‍ය ලෙස ගැනීම දුකට හේතු වේ. තිථි කියා දෙයක් නැති බවත් ඇත්තේ උත්පාද හා භංග පමණක් බවත් පැවසීම නිවැරදි නොවේ.යමක් පැවතුනේ නැති නම් භංග වීමක් සිදු වන්නේ කෙලෙසද? භංග වන්නේ කුමක්ද? නොපැවතෙන්නකට උත්පාද වීමක් තිබිය හැක්කේ කෙලෙසද? එසේනම් උත්පාද තිබේනම් හෝ භංග තිබේනම් හෝ තිථි තිබේ. උත්පාද තිබේනම් තිථි තිබේ. තිථි තිබේනම් භංග තිබේ.
මෙම උත්පාද හා භංග අතර වූ තිථි කාලය තුල එම උත්පාද වූ දෙය නිත්‍ය නොවන්නේද යනුවෙන් නැගිය හැකි ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? එක් පිළිතුරක් නම් එම කාලය තුලදී උත්පාද වූ දේ තිථි වේ. එනම් පවතී යන්නයි. එසේනම් ඉන් පැන නැගිය හැකි ප්රශ්නය වන්නේ එම තිථි කාලය තුලදී ඒ උත්පාද වූ දේ නිත්‍යය යැයි ගැනීමෙන් දුක හට නොගන්නේද කියායි? ක්ෂණයක් වූ එම තිථි කාලය තුලදී එම උත්පාද වූ දෙය නිත්‍ය වුයේ යැයි ගැනීමෙන් දුක හට නොගන්නවා යැයි තර්ක කල හැක. නමුත් ප්රශ්නය වන්නේ එම තිථිය ට වඩා කුඩා කාලයකදී අපට ඒ සිතිවිල්ල ඇති කර ගත හැකිද යන්නයි. එම සිතිවිල්ල සම්පුර්ණ විමට ප්‍රථම නිත්‍ය යැයි සිතීමට අප උත්සාහ ගත් දේ උත්පාද වී තිථි වී භංග වී අවසන තවත් එවැනි වෙනත් උත්පාද තිථි භංග දහස් ගණනක් සිදු වී තිබිය හැක. එසේ නම් එම සිතිවිල්ලෙන් ඇති ඵලය කීම? අර්ථ ශුන්‍ය දෙය කිරීම බුදු දහමේ නිවන් මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගයට අවතීර්ණ නොවීමක් නොවන්නේ කෙසේද?
උත්පාද තිථි භංග ත්‍රිත්වයේ තිථි යනු කොපමණ කාලයක්ද යන ප්‍රශ්නයට පිළිතුර කුමක්ද? එය දැන ගැනීමට නම් බුදු දහමේ පෙන්වා දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය ඔස්සේ ගොස් යම් මාර්ග ඵලයක් ලැබිය යුතු යැයි විශ්වාශ කරමි. ඒ සඳහා අප සැමට වාසනාව පෑදේවා.
හර්ෂ කුමාර් සුරියආරච්චි