මැලේසියාව හා ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වැඩි කරයි
Posted on June 21st, 2023

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය. 

මැලේසියාව සහ ශ්‍රී ලංකාව අතර ගුවන් ගමන් වාර සංඛ්‍යාව වැඩි කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කළ ඉල්ලීමකට මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් එකඟ විය. මැලේසියානු ගුවන් සේවය අතිරේක ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර තවත් ගුවන් සමාගම් දෙකක් වන එයාර් ඒෂියා සහ බතික් එයාර්  ක්වාලාලාම්පූර් සහ කොළඹ අතර ගුවන් ගමන් හඳුන්වා දීමට එකඟත්වය පළකර ඇත.

මැලේසියානු මහ කොමසාරිස් බද්ලි හිෂාම් ඇඩම් මහතා  2023.06.20 දින අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා හමුවූ අතර වෙළෙඳ සහ ආයෝජන සහයෝගීතාව ඉහළ නැංවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරමින් දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා පිළිබඳව සාකච්ඡා කෙරිණි.

වාර්ෂිකව සංචාරකයන් මිලියන 70ක් මැලේසියාවට පැමිණෙන බවත් අතිරේක ගුවන් ගමන් හඳුන්වා දීමෙන් ඔවුන්ගෙන් කොටසක් ශ්‍රී ලංකාවට ආකර්ෂණය කර ගත හැකි බවත් මැලේසියානු මහ කොමසාරිස්වරයා මෙහිදී පැවසීය. බටහිර සහ නැගෙනහිර අතර දැවැන්ත ගමනාගමන තදබදය අවමකිරීම සඳහා ශ්‍රී ලංකාව ප්‍රධාන ගුවන් සේවා මධ්‍යස්ථානයක් විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.

වර්ධනය වන හෝටල් කර්මාන්තයට අමතරව ශ්‍රී ලංකාවේ නව ආයෝජන ක්ෂේත්‍රවලට පිවිසෙන ලෙස අග්‍රාමාත්‍යවරයා මැලේසියානු ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටියේය. මැලේසියාව මෑත වසරවල ශ්‍රී ලංකාවේ ඉහළම 6 වැනි ආයෝජන හවුල්කරුවා අතර විය.

ශ්‍රී ලංකා රුපියල් බිලියනයක් පමණ වටිනා  ඖෂධ සහ වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කිරීම පිළිබඳව අග්‍රාමාත්‍යවරයා මැලේසියානු රජයට සහ ජනතාවට ස්තූතිය පළ කළේය. මැලේසියාව විසින් පිළිකා රෝගීන් සඳහා අත්‍යවශ්‍ය ඖෂධ ඇතුළත් මැලේසියානු රිංගිට් 63,000 හෙවත් ඇමරිකානු ඩොලර් USD 14,645 (ආසන්න වශයෙන්) වටිනා වෛද්‍ය සැපයුම් පරිත්‍යාග කරන ලදී.

ඉහළ මට්ටමේ සම්බන්ධතා, ඓතිහාසික සම්බන්ධතා, අන්තර් පුද්ගල සම්බන්ධතා, භූගෝලීය සමීපත්වය සහ ජාතීන් දෙක අතර මිත්‍රත්වයේ ගැඹුරු වන බැඳීම් ගැන සඳහන් කරමින් මැලේසියානු මහ කොමසාරිස්වරයා පැවසුවේ ආර්ථික සහ වෙළඳ සහයෝගීතාව වැඩි කිරීමට තම රජය අපේක්ෂා කරන බවයි.

ශ්‍රී ලාංකික  ශ්‍රමිකයින්  මැලේසියාවේ රැකියා අවස්ථා  සඳහා  බඳවා ගැනීම, රැකියා නියුක්තිය සහ නැවත මෙරටට ගෙන්වා ගැනීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට ශ්‍රී ලංකාව සහ මැලේසියාව  2016 වසරේදී අත්සන් තැබීය. ශ්‍රී ලාංකිකයින් සඳහා වන මැලේසියානු රැකියා කෝටාව 10,000ක් දක්වා වැඩි කිරීම සම්බන්ධයෙන් මැලේසියානු රජයට ස්තූතිය පළ කළ අග්‍රාමාත්‍යවරයා නිෂ්පාදන අංශය සහ හෙද ක්ෂේත්‍රය වැනි නව ක්ෂේත්‍ර රැකියා ලැයිස්තුවට ඇතුළත් කරන ලෙස ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක සහ මැලේසියානු මහ කොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් ඇනුයුරින් ඉශ්නේටියස් (Aneurin Ignatius ) යන මහත්වරු ද මෙම හමුවට සහභාගි වූහ.

අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2025 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress