විධායක ජනාධිපතිත්වය හොඳද?
Posted on December 13th, 2023

චානක බණ්ඩාරගේ

පසුගිය කාලයේ සිටී රාජ්‍ය නායකයෝ විවිධාකාර ආගමික සිද්ධඨාන වෙත ගොස් ඉමහත් භක්තියෙන් පුද පුජා වලට සහභාගී වන රුපවාහිනී රාමු අප දැක ඇත්තෙමු.

සිරිමා බන්ඩාරණායක මැතිණිය සැබෑ බෞධාගමිකයෙකු ලෙස අවංක ලෙස හැසිරීය.

මෙම මැතිණිය පල්ලි, කෝවිල් වලට ගොස් කෙනෙකුට ආගම් 2ක් හෝ 3ක් ඇදහිය හැකි බවට වූ  බොරු ප්‍රදර්ශනයේ නොයෙදුනාය.

R ප්‍රේමදාස මහතා මුස්ලිම් පල්ලිවලට පවා ගොස් වන්දනා මාන කළේයයි ඇතැම්හු පවසත්. මෙය සත්‍යද?

සමහර ජනාධිපතිවරු ඉන්දියාව බලා ගොස් සිය බරට රත්තරන් දී ආහ.

(මේවා LTTE රත්තරන්ද?).

මෙතරම් බලගතු, අපේම වන කතරගම දෙවිඳුන් සිටියදී (හෙළ, මහසෙන්ගේ පුනරුප්පත්තිය), මේ අය අන්ද්‍රා ප්‍රදේශ් ප්‍රාන්තයේ පිහිටි තිරුපති කෝවිලේ සරණ යන්නේ මන්ද? ‘නුඹලාට ලං වීමට නොහැකි දෙවිවරු තමා මා වන්දනා මාන කරන්නේ’ කියා රටවැසියනට බොරු උසස් තත්වයක් මවා පෙන්වීමටද?

මොවුන් තව අතකින් කරන්නේ රඟපැමැකී – චන්ද කඩා ගැනීමට  කරන උප්පරවැට්ටියකි. මේවා කිරීමෙන් දෙමළ, මුස්ලිම් චන්ද ලැබේවි යයි ඔවුහු සිතත්. එසේ ලැබෙනවාද ඇත. නමුත් කෙනෙක් සිය ආත්ම ගරුත්වය පාවා නොදිය යුතුය.

මේ රටේ විධායක ජනාධිපතිධුරය අහෝසි කල යුතු යයි අප කියනුයේ මෙවැනි දේ නිසායි.

තවත් බොහෝ හේතු තිබේ.

මේ තනතුර සිංහලයාට, විශේෂයෙන්ම සිංහල බෞද්ධයාට ඉතාම අහිතකරයි.

ජනාධිපතිවරණයක් දිනීමට අවම වශයෙන්  51% ක්වූ චන්ද සංඛ්‍යාවක් ලබා ගත යුතුය. සිංහල ජනගහනය අඩුවී ගෙන යන මේ කාලයේ සුළු ජාතික චන්ද නොමැතිව මෙය කිසිවෙකුට ලබාගැනීම ඉතා අපහසුය. ඒ සුළු ජාතිකයන් උපරිමවම සතුටු කිරීමට සියළු ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයන්ට  අනිවාර්යයෙන්ම සිදුවේ (සිංහලයා සිය ජාතිය පාවා දුන්නත් ගණන් නොගන්නා බව මේ ජනාධිපති අපේක්ෂකයන් හොඳටම දනිත්. නැත්නම්, නියතව රට දෙකඩ කරන පළාත් සභා 1987 ගෙන ඒමට ඒ රජයට හැකි වන්නේ කෙසේද?).

සුළු ජාතිකයන් සතුටු නොකර ජනාධිපතිවරණයක් ඉදිරියේදී ජය ගත නොහැකි බව දැන් ඉතා පැහැදිළිය.

පසුගිය වසර 45 තුල මේ රටට අහිතකර බොහෝ දේ මෙරට සිටී විධායක ජනාධිපතිවරුන් විසින් සිදුකර ඇත.  රටේ පසු බෑමට මූළිකම  හේතුව මෙයයි.

දැවැන්ත පරිසර විනාශය, වන අලි මරණ, වංචා, දුෂණ බෝ කිරීම, නාස්තිය, අකාර්යක්ෂමතාව, අනවශ්‍ය ලෙස රාජ්‍ය සේවය වැඩි කිරීම, අනවශ්‍ය ලෙස රජයේ ආයතන පෞද්ගලිකරණය කිරීම සහ කුණු කොල්ලයට ඒවා විදේශිකයනට විකිණීම  (යහපත් විදෙස් ආයෝජන නොවේ), රට ණය භරිත කිරීම, පවුල්වාදය, ගජ මිතුරු සත්කාර, රට බංකොලොත් කිරීම වැනි දේට  මේ ජනාධිපතිවරු ඍජුව වග කිව යුතුය.

2009 යුද්ධය ජය ගැනීම වෙනම කථාවකි.

යුද්ධය ආරම්භ වීම සහ LTTE ත්‍රස්තවාදය ව්‍යාප්තව යාමට හේතුව වුයේද විධායක ජනාධිපති තනතුරයි.

1953 හර්තාලය තුලින් ඩඩ්ලි සේනානායක අගමැති ධුරයෙන් ඉවත්ව සර් ජෝන් කොතලාවල නව අගමැතිවරයා බවට පත්වීම, 1962 කුමන්ත්‍රණය සහ 1971 ජවිපෙ ත්‍රස්තවාදී අරගලය සිරිමා බණ්ඩාරණායක විසින් ඉතාම කෙටි කාලයක් තුල සාර්ථක ලෙස මර්ධනය කිරීම වැනි දේ කළ හැකි වුයේ එකළ පැවතී සෝල්බරි ව්‍යවස්ථාව යටතේය. මේ අගමැති වරුන් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අකුරටම පිළිපදිමින්, සිය කැබිනට් මණ්ඩල සමඟ, මේ දැවැන්ත ප්‍රශ්ණ සංකීර්ණ ඒවා බවට පත් නොකර, සාර්ථක ලෙස විසඳා ගත්හ.

ඉතාම අධි බලයක් තනි පුද්ගලයෙක් සතු වීම ශ්‍රී ලංකාව වැනි රටට ආදරය නොකරන සහ ආත්මාර්ථකාමීත්වයෙන් පිරී වැඩි ජනතාවක් දැන් සිටින (කළින් එසේ නොවේ) රටකට උචිත නොවේ.

සිංහලයාට යමක් (දේශපාලනමය) මතක සති දෙකකට පමණ යයි කීවේ ප්‍රභාකරන්ය.

දරුණුව යුද්ධය පවතිද්දී LTTE සමඟ පවා ඩීල් දැමු දකුණේ දේශපාලඥයෝ, උතුරේ හමුදා නිලධාරින් සිටීහ.

රටට අහිතකර පුර්ණ 13 හෝ  13+ ලබා දීමට සියළු ජනාධිපති අපේක්ෂකයන් පොරොන්දුව සිටිත් (ජවිපෙ ඇතුළු).

පූර්ණ13 හෝ 13+ නුදුරු අනාගතයේදී දීම, සහ ඒ මඟින් සිදුවන රටේ කැඩීයාම නොවැලැක්විය හැක්කකි. කපටි/ශූර TNA ගෙන යන්නේ චෙල්වනායගම්ගේ ‘අද ටිකක්, හෙට ඉතුරු ටික’ න්‍යායයි.

මේ න්‍යායට අනුව දැන් ඔවුන් බොහෝ දුර ඉතා සාර්ථකව පැමිණ ඇත. තව යාමට ඇත්තේ ටික දුරකි. දැන් පවත්නා විධායක ජනාධිපති ධුරය තුලින් එය නුදුරේදී පහසුවෙන් ලබා ගත හැකි බව ඔවුහු හොඳාකාරවම දනිති.

අගමැති විසින් රට කරන ව්‍යවස්ථාවක් මඟින් ඒ දේ පහසුවෙන් කර ගත නොහැක. දැන් පවත්නා ජනාධිපති මෙන්  අගමැතිට විධායක තලයේ අසීමිත බලතල නොමැත.

විධායක ජනාධිපති තනතුර හඳුන්වා දෙන විට ආචාර්ය NM පෙරේරා මහතා ඒ ගැන බිය වුනේ එය සතු අසීමිත වූ බලතල නිසාය.

1972 – 1978 දක්වා වූ ව්‍යවස්ථාව (ජනරජ) මේ රටට ඉතා හොඳ සේවයක් කළේය. භෞතිකමය (substantial) නොව, සුළු ව්‍යුහාත්මක (procedural) වෙනස්කම් කිහිපයක් මඟින් පමණි මෙය කළින් පැවතී සෝල්බරි ව්‍යවස්ථාවට වඩා වෙනස් වුයේ.

විධායක ජනාධිපතිත්වය ප්‍රවර්ධනය කරන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අහෝසි කර, එම ජනරජ ව්‍යවස්ථාව වෙත නැවත අප යා යුතුයි.

පළාත් සභා අත්‍යාවශ්‍යම බව ද්‍රවිඩ දේශපාලයින් දැඩිව හඬ නගනු ඇත. මෙය 1987දී රජීව් ගාන්ධි මහතාගේ නොතේරුන්කමත්, කේරළයේ  උපන් JN ඩික්සිත්ගේ (එවකට ශ්‍රී ලංකාවේ සිටී ඉන්දීය මහ කොමසාරිස්) තනි බලවත් අවශ්‍යතාව මතත්, JRගේ බියසුළු කමත් නිසා බිහිවුවකි.

TNA වැනි ද්‍රවිඩ දේශපාලඥයින් නිහඬ කරවන ලෙසින් ඉන්දියාවෙන් සාර්ථක ලෙස ඉල්ලීමේ හැකියාවක් දැන් සිටින ජනාධිපතිතුමාට ඇත (ඔහු රට වෙනුවෙන් එම කාර්යයට අත ගසනවානම්).

වෙනත් කිසිදු විකල්පයක් නොමැති නම්, මෙම ලියුම්කරු ඉතාම විරුද්ධ පළාත් සභා සමඟ වුවද, ’72 ව්‍යවස්ථාට යා යුතුය.

එය දැන් තිබෙන ව්‍යවස්ථාවට වඩා සිංහලයාට/රටට ඉතාමත්ම ගුණදායකයි.

‘72 ව්‍යවස්ථාව 1979 දී තිබුනේ නම් බෙදුම්වාදී දෙමළ ත්‍රස්තවාදය එදා විනාශ කිරීමට හැකියාව තිබුණි (’71 දී මැතිණිය ජවිපෙ ත්‍රස්තවාදය ඉතා කඩිනමින් මැඩ පැවැත් වුවාය).

LTTEය වසර 30ක් සාර්ථක ලෙස යුධ කලේ ඔවුනගේ තිබු දක්ෂතාවයට වඩා අපේ පාලකයන්ගේ තිබු අදක්ෂතාවය  නිසාය.

’72 ව්‍යවස්ථාව වඩා හොඳ වනුයේ එය යටතේ රටේ නායකයා වනුයේ විධායක ජනාධිපතිවරයෙක් නොව කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අග්‍රාමාත්‍යවරයාය. දැන්, පාර්ලිමේන්තුවට වග නොකීවත් කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියාද ජනාධිපතිය, ඔහු රටේ සේනාධි නායකයාය.

මේ සේනාධිනායකත්වය මත, යුද්ධයෙන් පසු, අප උතුරේ තිබු හමුදා කඳවුරු බොහොමයක් වසා ගතිමු. පවත්නා හමුදා කඳවුරු සතු ඉඩම් අහිමි කර ගතිමු. සැමදා හමුදාව සතුව තිබු පළාලි ගුවන් තොටුපොළ අහිමි කර ගතිමු. සිංහලයාට උතුරේ සහ නැගෙනහිර බොහෝ පළාත් වල ජීවත්වීමේ නොහැකියාව ඇති කර ගතිමු. එම ප්‍රද්ශවල රජයේ කාර්යාලවල සිංහලෙන් කිසිම රාජකාරියක් නොවන තත්වයක් උද්ගත කර ගතිමු. එම ප්‍රදේශවල තිබෙන බෞද්ධාගමික සිද්ධස්ථානවල/පුරා වස්තු වල අයිතිය අහිමි කර ගතිමු. එම ප්‍රදේශවල ආණ්ඩුකාරයන් ලෙස පවා (මෑතක සිට) සිංහල නොවන අය පත් කර ගතිමු. පූර්ණ 13 හෝ 13+ දීමට යන්නෙමු. ඉදීරියෙදි තවත් බොහෝ දේ අහිමි කර ගන්නෙමු. ඊළම බිහිවීම සඳහා පාර කපා දෙන්නෙමු.

පවත්නා 1978 ව්‍යවස්ථාව මඟින් අති බලසම්ප.න්න බලයක් ඔහුට/ඇයට ලබාදී ඇත. ඒ බලයන් නිසා සිංහලයා ලබා ඇති පසුබෑම් විශාලය.

වත්මන් ජනාධිපති තනතුර මෙන් සුළු ජාතික පක්ෂ වලට මෙම අග්‍රාමාත්‍යවරයා ‘කොනකට තල්ලු කර’ දැඩි බලපෑම්වලට යට කිරීමට නොහැකි වන්නේ මොහු/ඇය එසේ පත්වන්නේ පාර්ලිමේන්තු මැතිවරණයේදී වැඩිම ආසන ගණනක් දිනන පක්ෂයේ (සිංහල) නායකයා වීම නිසාය. ඒ අය පොහොට්ටු, සජබ, එජාප, ජවිපෙ විය හැක.

’72 ව්‍යවස්ථාව අනුව, නාමික ජනාධිපතිවරයෙක් පාර්ලිමේන්තුව විසින් තෝරා පත් කර ගන්නවා ඇත (ඉන්දියාවේ මෙන්).

1980 ගණන් වල දෙමළ/ජවිපෙ ත්‍රස්තවාද ව්‍යාප්ත වුයේ JRගේ දුර්වල, බියසුළු සහ අමනෝඥ  විධායක ජනාධිපති පාලනය නිසාය. අග්‍රාමාත්‍ය බණ්ඩාරණායක මැතිණිය 1977දී JR ට භාර දුන්නේ දැහැමි, සාමකාමී, ණය නැති රටකි. JR  1980/90 ගණන් වල මෙය එකම ගිණි ගොඩක් සහ දුප්පත් වෙමින් යන රටක් බවට පත් කළේය.

’83 දෙමළ කළබල, IPKF, පළාත් සභා හඳුන්වා දීම, 1983න් පසු ප්‍රභාකරන් දියත් කල අති දරුණු යුද්ධය, ඉන්දියාව තරහ කර ගැනීම, 1980/90 දශකවල දරුණු ජවිපෙ සන්නද්ධ අරගලය JR අපට අත් කර දුන් සමහර දායාදය.

ඔහු රට අවුලෙන් අවුලට පත් කළේය. දක්ෂ, කෘතහස්ත උසස් නිළ දැරූ හමුදා නායකයන් සිටියදී තරුණ බ්‍රිගේඩියර් කෙනෙක් වූ සිය බෑණනුවෙක් හමුදාපති ලෙස පත් කළේය. LTTE ප්‍රබල යුධ ජයග්‍රහණ ලබා ගතී.

වඩමාරච්චි සටනින් ජය ලබා ප්‍රභාකරන්ව කොටු කර ගනිද්දී එය පුදුමාකාර ලෙස නතර කර දැම්මේය.

තමනට නොකළ හැක්කේ පිරිමියෙක් ගැහැණියක් කිරීම පමණය යයි යනුවෙන් JR වහසි බස් දොඩද්දී ප්‍රභාකරන් බිම් බෝම්බ, මරාගෙන මැරෙන කොටි මඟින් දකුණේ සිංහලයන්ව, මායිම් ගම් වාසින්ව, මහා සංඝරත්නය  අමානුෂික ඝාතනයට ලක් කළේය.

JR මහවැළිය කඩිනම් කර, ඒ මඟින් මහා පරිමාණ අල්ලස් දුෂණ, වංචා සිදු කරන අයුරු මේ රටට ප්‍රථම වරට හඳුන්වා දුන්නේය.

අතිශය සුන්දර තෙල්දෙණිය නගරයේ විනාශය ගැන මිතුරෙක් මෙම ලියුම්කරු සමඟ පැවසුවේ මෙයයි:

අපේ සුන්දර, අති සශ්‍රීක දුම්බර මිටියාවතම මේ අය එකතුවෙලා කෑවා. ඒක විකුණලා ඇමති ඕස්ත්‍රේලියාවේ ඇපල් වතු ගත්තා. බහුබූත රිපෝර්ට් හදලා එංගලන්තයට යවලා මෙතන සුරපරයක් මවල ඉන්දියාවටත් ලයිට් දෙනවා කීවා, දුන්න තමයි. ටර්බයින් 2ක් තියෙනවා. දෙකම ඇරපු දාට ඔය වික්ටෝරියාව පිරිලා තිබුනට ඒ තියෙන වතුර ටික ඉකමනටම බැහැලා රන්දෙනිගල හරහා මුහුදට තමයි.

බඹරගල පන්සලේ හාමුදුරුවන්වත් ඇන්දුවා. උන්නාන්සේ පුදුම මහන්සියක් අරං ඒ කාලේ දේශපාලකයන්ට වැන්දේ නැතිව විතරයි, බැම්මේ උස ටිකක් අඩු කරලා තෙල්දෙණිය නගරය බේරා දෙන්න කියල. කොහෙද ඉතිං ඒවා ඇහුවේ නැහැ.

තෙල්දෙණිය නගරය වික්ටෝරියා ජලාශයට යටවෙන්න කලින් තෙල්දෙණිය ලොකු, විශාල ටවුන් එකක්. ලොකුම හෝටලය (තෙල්දෙණිය හෝටලය) සහ සිල්ලර බඩු  කඩේ (තෙල්දෙණිය ස්ටෝර්ස්) – කොඩිතුවක්කුආරච්චි මහත්තයාගේ. දොස්තර සෙනෙවිරත්න මහත්තයාගේ සර්ජරිය – එතුමාගේ මුහුණ බැලුවත් ලෙඩ සනීපයි.

තෙල්දෙණිය පොලිසිය, CTB බස් ස්ටෑන්ඩ් සහ ඩිපෝව, රජයේ රෝහල, සේනානායක ස්ටෝර්ස්, රාණි , සමනළ, සිංහ ෆිල්ම් හෝල්ස්, ඓය්තිහාසික තෙල්දෙණිය අම්බලම, මඩවල – නුවර පාර, තෙල්දෙණිය – තැන්නේකුඹුර පාර, ඒ අවට තිබු නත්තරම්පොත පැරණි ගල් පල්ලිය, චොක්ලට් ෆැක්ටරිය – මේ සේරම වික්ටෝරියා රකුසා ගිල ගත්තා.

අපිව බලෙන්ම මහියංගණේට ගිහිං දැම්මා. හැමෝම පිට වුනේ කඳුළු පිරි දෑසින්”.   

සිරිමා බණ්ඩාරණයක සමයේ ඉතා බලගතුව තිබු අල්ලස් කොමිසම JR අවශේෂ එකක් බවට පත් කළේය. ඔහු යටතේ පුරවැසියන් පෙළන රාජ්‍ය ත්‍රස්තවාදයක් හට ගතී. තරුණයන් ටයර් සෑය වල යැවීම 1989දී JR හඳුන්වා දුන්නේය.

JR සිරිමා – ශාස්ත්‍රී ගිවුසුම අවලංගු කළේය.

1977දී පාර්ලිමේන්තුවේ 5/6  බලය ලැබුනත්, කිසි හේතුවක් නැතිව, නුවරඑළිය/මස්කෙළිය 3වෙනි මන්ත්‍රී ලෙස පත්ව සිටී CWC නායක S තොන්ඩමන් සිය ‘තුරුලට’ ගත්තේය. 1947 සිට පාර්ලිමේන්තුවේ සිටී තොන්ඩමන්ව ප්‍රථම වරට ඇමතිවරයෙක් කලේ JRය. තොන්ඩමන් ජාතික කිරි මණ්ඩලය, පශු සම්පත් මණ්ඩලය වැනි ආයතන කෑය.  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ වූ සත්ව පාලන අංශය ඉන් ඉවත් කර වෙනම දෙපාර්තමේන්තුවක් බිහි කළේය, එයට ඔහුගේ හෙන්ච්චයියන් ප්‍රධානීන් ලෙස පත් කළේය.

JR කාලයේ රටේ සිටී බලවත්ම පුද්ගලයන් දෙදෙනා වූයේ කේරලයෙන් බිහි වූ ඩික්සිත් සහ තමිල්නාඩුවේ උපන් S තොන්ඩමන් බව දන්නෝ දනිති. JR සිටියේ මේ දෙදෙනාට ‘සර්’ කියන වැනි මට්ටමෙනි. ඒ තත්ත්වය හදා ගත්තේ JR විසින්මය.

’72 ව්‍යවස්ථාව යටතේ කිසිම සිංහල දේශපාලන පක්ෂයකට වැඩි ආසන බලයක් නොලැබුනත්, වැඩිම ආසන දිනු සිංහල පක්ෂයට සෙසු පක්ෂ (සිංහල එසේත් නැත්නම් දෙමළ හෝ මුස්ලිම්) සමඟ එකතුවී හවුල් ආණ්ඩුවක් සෑදිමේ හැකියාව ඇත.

දැන් සිටින විධායක ජනාධිපති ක්‍රමය යටතේත් මේ දේම  සිදුවේ – පාර්ලිමේන්තුව තුල රජය කරන ආණ්ඩුව සැදීම.  

’72 ව්‍යවස්ථාව වඩා හොඳ වනුයේ ජනාධිපතිවරයා වෙනම චන්දයකින් තෝරනවා මෙන් අග්‍රාමාත්‍යවරයාව තේරීම සඳහා අමතර චන්දයක් අනවශ්‍ය වීමයි. එක් පාර්ලිමේන්තු චන්දයකින් ක්‍රියා 2ම සිදුවේ.

මේ නිසා අද ජනාධිපති තනතුරට පත්වීම සඳහා අත්‍යාවශ්‍ය නිරන්තර උතුරේ සුළු ජාතික නායකයන්, මන්ත්‍රීවරුන්න්  සතුටු කිරීම  අනවශ්‍ය වනු ඇත.

උදා: 1965 ඩඩ්ලි සේනානනයක ‘7 හවුල්’ ආණ්ඩුවේ දෙමළ නායකයන් වූ චෙල්වනායගම, GG පොන්නම්බලම්, M තිරුචෙල්වම්, S තොන්ඩමන් වැන්නන් සිටියත් (ඇතැම්හු දැඩි ජාතිවාදින්) ඩඩ්ලි සේනානනයක ඇමති පදවියක් ප්‍රධානය කලේ තිරුචේල්වම්ට පමණි (එයද ඉතා සුළු බලැති).  එම රජය යටතේ මේ කිසිවෙකුට සිය ජාතිවාදී/බෙදුම්වාදී  ප්‍රතිපත්ති මුදුන් පමුණුවා ගැනීමට ඩඩ්ලි සේනානායක ඉඩ නොදීය. සිංහල සංවර්ධන කටයුතු වල හැකි සෑම විටම ඩඩ්ලි සේනානායක යෙදීය (උද: ගල්ඔය, පදවිය නව ගොවි ජනපද බිහි කිරීම).

මේ ගොවි ජනපද ව්‍යාපෘති රාජ්‍ය ප්‍රතිපත්තිය නතර කලේ 1956 බලයට ආ SWRD බණ්ඩාරණායකයි.

19වන සියවසේ දී තමිල්නාඩුවෙන් (කොරමැන්ඩල් තීරයෙන්) මෙරටට ගොඩ බට, ලන්දේසින් සහ ඉංග්‍රීසින් සමඟ එක්ව මෙරටට විශාල ලෙස වින කලා වූ තම්බි මුදියන්සේ පරම්පරාවට අයත්වන JRට වඩා බෙලිගල් කෝරළේ (සතර කෝරළේ) මුළාරම්භය ඇති, ජාතියේ පියා වූ DS සේනානායකගේ පුත්, ඩඩ්ලි සේනානායක රටට බෙහෙවින් ආදරය කල  දේශප්‍රේමියෙක් විය. කිසිම රට කැඩීමේ ක්‍රියාවකට ඔහු ඉඩ නොදීය (රට ෆෙඩරල් කිරීමට චෙල්වනයාගම් සමඟ මුළින්ම හොර ගිවුසුම් ගැසුවේ (1956 බණ්ඩා/චෙල්වා පැක්ට්) තමිල්නාඩුවේ නීල පෙරුමාල් පරම්පරාවෙන් පැවත එන්නේ යයි කියන SWRD බණ්ඩාරණායකයි).

1995 පසු විධායක ජනාධිපතිත්වය මේ රටේ ජනතා මුදල් ගිලින දැවැන්ත සුදු අලියෙක් බවට පත්වී තිබේ.

ඇත්තවශයෙන්ම, විධායක ජනාධිපතිත්වය ආණ්ඩුව තුල තවත් ආණ්ඩුවකි.

අයවැයෙන් ඉතාම වැඩිම මුදලක් ජනාධිපති වෙන් කර ගනී. අද ජනාධිපතිගේ කාර්ය මණ්ඩලය (ආරක්ෂකයන්ද ඇතුළුව)  දහස් ගණනකි.  චන්දයෙන් පත් නොවුණු ජනාධිපති උපදේශකයෝ රොත්තකි. මේ ඇතැමුන් ඇමැතිවරුනට, අමාත්‍යාංශ ස්ථිර ලේකම්වරුනට වඩා බලවත්ය. මේ පත්වීම් ප්‍රජාතන්ත්‍ර වාදයට විරුද්ධය.

ජවිපෙ ජනාධිපතිවරයෙක් යටතේ මෙවැනි උපදේශක වරුන් සෑම අමාත්‍යාංශයකටම පත් කරන බව ඔවුහු කියත්. දැනටමත් මේ අය (නොනිළ ලෙස) පත් කර ඇතැයි පැරණි ජවිපෙ සාමාජිකයෙක් කියයි.

තමන් බලයට පැමිණි විට විධායක ජනාධිපතිත්වය මණ්ඩලයක් මඟින් පවත්වා ගෙන යන වැනි කථාවක් ජවිපෙ කියයි (දැන් පක්ෂය ගෙන යන අයුරෙන්?). තමනට තමන් ගැන ආත්ම විශ්වාසයක් නැති බවද මේ පෙන්වන්නේ?

මණ්ඩලයක් මඟින් දැන් පවත්නා  විධායක ජනාධිපතිත්වය පවත්නා ගෙන යාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට  පටහැණිය.  දැන් පවත්නේ තනි, අසීමිත බලතල ඇති විධායක ජනාධිපති ක්‍රමයකි. මණ්ඩල මඟින්/වටමේස හරහා  කරන පාලනයක් ගැන වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොපවසයි.

අද ජනාධිපති කාර්යාලයට අයත් වාහන සංඛ්‍යාව සිය/දහස් ගණනකි. ජනාධිපති අරමුදල විගණනයෙන් තොරයි. ඔහුට/ඇයට විරුද්ධව සිවිල් නඩුවක් වත් පුරවැසියෙකුට පැවරිය නොහැකි ලෙසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරගෙන ඇත. එක් ජනාධිපතිවරයෙක් UN ඇමතීම සඳහා නිව් යෝර්ක් ගිය සංචාරයට 350ක් එකතු කරගෙන ගිය බව පැවසේ (මෙහි සත්‍ය/අසත්‍යතාවය මෙම ලියුම්කරු නොදනී).

ගාලුමුවදොර ජනාධිපති සංකීර්ණයට අමතරව කොටුවේ බොහෝ වටිනා ගොඩනැගිලි (චැතම් විදීයේ/ මුදලිගේ මාවතේ, ජනාධිපති මාවතේ – කලින් චාර්ටඩ් බෑන්ක්/තැපෑලට අයත් GPO විශාල ගොඩනැගිලි,) ජනාධිපති කාර්යාලය විසින් අල්ලා ගෙන ඇත.

වත්මන් ජනාධිපති එහි ජීවත් නොවෙතත් ජනාධිපති මන්දීරය පිහිටා ඇති ජනාධිපති මාවතේ කොටසක්ද ජනාධිපති  කාර්යාලය විසින් වසා අල්ලා ගෙනය. මේ නිසා කොටුවේ වාහන තදබදය වැඩිවේ.

විශ්‍රාමික ජනාධිපතිවරුන් (දැනටමත් 4 දෙනෙක්) පමණක් නොව ඔවුනගේ බිරියන් මැරෙනතුරු මුළුමනින්  නඩත්තු කිරීමට සිදුව ඇත්තේ මේ රටේ දුප්පත් ජනතාවටයි.

ඉදින්, මේ 2023 වසරේත් ශ්‍රී ලංකාව 3වෙනි ලෝකයේ දුප්පත්ම රටක් (දැන් බංකොලොත් ද වේ) ලෙස පැවතීම අරුමයක් නොවේ.

සෑම පාර්ලිමේන්තු සැසියකටම සහභාගී වී, අසන ප්‍රශ්ණ වලට උත්තර දෙන , හීට්ලර් පන්නයේ විධායක බලතල නොමැති, මුක්තියට යටත් නොවුණු, රාජ්‍ය නායකයෙක් තමා මේ මේ රටට අවශ්‍ය.

රටේ නායකයා රටේ පාර්ලිමේන්තුවට ඍජුව වගනොකියන්නේ නම්, ඔහු/ඇය කෙළින්ම පාර්ලිමේන්තුවේදී අසන රටේ ප්‍රශ්ණවලට පිළිතුරු නොදෙන්නේ නම් එය ප්‍රජාතන්ත්‍ර විරෝධී පාලන ක්‍රමයකි.  

කැනඩා, මහ බ්‍රිතාන්‍ය, ඕස්ත්‍රේලියා, නවසීලන්ත පාලන ක්‍රම දෙස බලන්න – පාර්ලිමේන්තු සැසිවාරයේ සෑම දිනයකදීම පාහේ අගමැතිවරයාගෙන් ප්‍රශ්ණ ඇසීමට පැයක,  2ක පමණ කාලයක් මෙම පාර්ලිමේන්තුවල වෙන් කර ඇත. එම කාලය අගමැති සහ විපක්ෂ නායක අතර ඇතිවන්නේ  ‘ද්වන්ධ යුද්ධයකි’. රට වැසියා එය සජීවීව රුපවාහිනියෙන් නරඹා තම නායකයන්ගේ දක්ෂතා පිළිබඳව ස්ථාවරයකට පැමිණෙත්. චන්දය දෙන දා ඔවුහු නිවැරදිව චන්දය පාවිච්චි කරත්. ඒ රටවල් දියුණු ඒ හෙයිනි.

නියම ප්‍රජාතන්ත්‍ර වාදය යනු එයයි. 

යලට, මහට ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ (මාස 3ට වරක් – ඔහුට/ඇයට සිතුණු වෙලාවට); එසේ පැමිණ ප්‍රශ්ණ ඇසු කල්හී ඒවා අමාරු නම් ඒවාට උත්තර නොදී එතුමෝ/එතුමිය නැගිට සභා ගැබින් නික්ම යන්නේ නම් ඒ  රටට දෙයියන්ගේම පිහිටය.

රටේ ප්‍රශ්ණ ගැන රටේ නායකයා දරන මත සහ ඒවාට ඔහුට/ඇයට ඇති විසඳුම් රටේ ජනයා දැන ගත යුතුය. ඒ සඳහා ඔහු/ඇය නිතිපතා, සෙසු මන්ත්‍රීවරුන් මෙන්, පාර්ලිමේන්තුවට ආ යුතුමය.

මෙවැන්නක් නොමැති පාර්ලිමේන්තු ක්‍රමයෙන් මේ රටට ඇති පළය කුමක්ද?

‘72 ව්‍යවස්ථාව වඩාත් හොඳ වන්නේ ‘ව්‍යවස්ථාදායක සභා’ වැනි අටමගල එහි නැති වීමයි.

ජනතාව විසින් චන්දය දී තෝරා පත් නොකරන ලද ජාතික ලැයිස්තු මන්ත්‍රීවරු (චිට්), ප්‍රධාන ජාති 3 නියෝජනය වන ලෙස  සිවිල් සංවිධාන නියෝජියතයෝ 3ක් දැන් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන්ය හෝ කලින් එසේ වී තිබේ. මෙය ප්‍රජාතන්ත්‍ර විරෝධීය.

ජනතාව චන්දය දී රජයක් පත් කරන්නේ ඔවුන් චන්දය දුන් අය විසින් රට කරවීමටය. පවත්නා අය හොඳ නැත්නම් චන්දයක් මඟින් වෙනත් රජයක් ඔවුන් පත් කර ගනු ඇත. ප්‍රජාතන්ත්‍ර වාදයේ මුළීක හරය මෙයයි. ව්‍යවස්ථාදායක සභාව එයට පටහැණිය.

විපක්ෂයේ අයත් සහභාගී වන මේ සභාවේ සමහරුන් රජයේ ඉදිරි ගමනට (රහසිගතව හෝ) කකුලෙන් ඇදීම නොවැලෑක්විය හැකි කරුණකි. මෙය අද පවත්නා රජයටත්, ඉදිරියේ එන රජයනටත් මුහුණ දීමට සිදුවන ප්‍රශ්ණයකි. මේ කරදරය මෙවර ඉල්ලා  හදා ගත්තේ මේ රජයයි – 21 වන සංශෝධනයෙන්.

ඊනියා ව්‍යවස්ථා බුද්ධිමතුන් විසින් හඳුන්වා දෙනු ලැබූ පොලිස් කොමිසම, මැතිවරණ කොමිසම, මහජන උපයෝගීතා කොමිසම සහ අනෙක් කොමිසම් ඇත්තටම අපක්ෂපාතීද?

මේවාද සුදු අලිය.

ව්‍යවස්ථාදායක සභාව, මේ කොමිෂන් – නාසය කෙළින්ම අතින් ඇල්ලීමට හැකියාව තිබියදී ඔළුව වටෙන් අත දමා අල්ලනවා වැනි වැඩකි.

ඒවායේ ඇතැම් සභාපතිවරුන්/සාමාජිකයන් පක්ෂග්‍රාහීව කටයුතු කර තිබු බවට වාර්ථා පලවී තිබුණි.

පොලිස් කොමිසම නොතකා පොලිසියේ ඉහළ මාරු වීම් වෙනත් අය විසින් කර තිබු බවට පුවත් වාර්ථා වී තිබුණි.

පාර්ලිමේන්තු චන්දයක් අත ළඟ තිබියදී විදේශගත තම විශ්ව විද්‍යාල දරුවා වෙනුවෙන් විශේෂ උපකාරයක් හිටපු මැතිවරණ කොමසාරිස් වරයෙකු විසින්  එවකට සිටී ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේය යන ප්‍රබල චෝදනාවක් පැණ නැගී තිබුණි.

මෙවැන්නන් රජයන කොමිෂන් සඳහා කෝටි ගණන් ජනතා මුදල් වියදම් කරන්නේ ඇයි?

සිංහලයාට පෙර මේ රටේ දෙමළ මිනිසුන් සිටීය (‘ආදී ඊනියා දෙමළ බෞද්ධයන්’) කියා බලගතු ජාතිවාදී තර්කයන්  ගෙනෙන TNA මන්ත්‍රීවරයෙක්ද  මේ ව්‍යවස්ථා සභාවේ නුදුරේදී හිඳ ගැනීමට නියමිතය.

තමන් ජනාධිපති වූ විගස ජනාධිපති ධුරය අහෝසි කරන බව කිවූ ජනාධිපතිවරුන් 5 දෙනෙක් වත් ඇත. ඒ කිසිවෙක් ජනතාවට දෙන ලද එම පොරොන්දුව ඉෂ්ට කිරීමට ක්‍රියා නොකළහ. එනම්, මේ අය ජනතාවට බොරු පොරොන්දු දුන් අයය.

රටේ ජනාධිපති තනතුර බිහි කරන්නේ අසත්‍ය කථා කරන්නන් නම්, එවැන්නන්ගේ පාලනයකින් ජනතාවගේ අභිවෘද්දිය කිසිදා බලාපොරොත්තු විය නොහැක. මේ අය තමන් විසින් රටේ ජනතාවට, විශේෂයෙන්ම කුඩා දරුවනට, බොරු කීම යන නරක පුරුද්ද පුරුදු කර ඇති බව පිළිගත යුතුයි.

සිංහල ජනාධිපතිවරයෙක් යටතේ දෙමළ අගමැතිවරයෙක් මේ රටේ බිහි නොවුනේ අයිදැයි ජවිපෙ දුකින් අසයි. ඔවුන් ජනාධිපති වී එවැන්නක් සිදු කරන බවට ඉඟි තදින් පළ කරයි. අද ශ්‍රී ලංකාවේ තිබෙන ප්‍රධාන ප්‍රශ්ණය මෙයද?

මෙවැනි දේ බලෙන් සිදු නොකළ යුතුය. ඒවා සිදු වන්නේ නම් සිදු වනු ඇත (ඔබාමා, සුනක් වැන්නන් එම රටවල මතු වුයේ නිරායාසයෙණි, බලෙන් නොවේ).

කෝටා ක්‍රමයට නොව සුදුසුකම් මත පමණක් සියළු පත්වීම් විය යුතුයි. 85%ට අධික හුටුන් සිටින රුවන්ඩාව පාලනය කරන කගාමේ සුළු ජාතික ටුට්සියෙකි.  සුනි ජාතික සදාම් හුසේන් 70% ඉක්මවා ෂියා වරුන් සිටින ඉරාකය වසර ගණනාවක් පාලනය කළේය. ඒ අය බලයට ආවේ ජවිපෙ අදහන කෝටා ක්‍රමයට නොවේ; දක්ෂකම් ප්‍රදර්ශණය කිරීමෙනි.

 (අපේ මුදලින්) 225 දෙනා පාර්ලිමේන්තුව තුල කෑ කෝ ගසන්නේ තමන්ගේ ප්‍රශ්ණ, තමන්ගේ  පුද්ගලික අයිතිවාසිකම් පිලිබඳවය. ‘මගේ වරප්‍රසාද කැඩුනා’ කියා කෑ ගසා ඔවුන් ගෙදර යති.

රටේ ජනතාවගේ ප්‍රශ්ණ, රාජ්‍ය ප්‍රතිපත්ති ගැන තාර්ථික විවාද එහි අඩුය. ඕස්ත්‍රේලියානු පාර්ලිමේන්තුවේ වසරකට නව පනත් 200ක් වත් සම්මත වේ. අපේ?

පාර්ලිමේන්තු කැන්ටිමෙන් මේ අයට ඉතාම අඩු මුදලට දෙන සුපිරි කෑම වේල වල අඩුපාඩු පිළිබඳව පවා සභා ගැබේදී ඔවුන් මතු කර ඇත. ජවිපෙ ස්ථාවරය මේ සම්බන්ධව සුභාදායකය.

නමුත්, ඔවුන්ගේ සිටින්නේ 3 දෙනෙක් පමණි. වැඩි දෙනෙක් සිටියා නම් සෙසු අය අයුරින් ඔවුන්ද හැසිරේද?

පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී අනුන්ට පහරදෙන මේ සමහර අය සමාජයේ කෙනෙක් ඔවුන්ව විවේචනය කල හොත් ඔවුන් විසින්ම සාදා ගත් ‘වරප්‍රසාද කොමිටියක්’ ඉදිරියට කැඳවීමේ බලයක් සාදා ගෙන ඇත. එයට පුරවැසියනට විරුද්ධව දඬුවම් නියම කිරීමේ පවා බලයක් ඇතැයි පැවසේ.

මේ අය සුවිශේෂී පුද්ගලයන් නොවේ. කෙනෙක් අපහාසයක් කර ඇත්නම් ඔවුන් කල යුත්තේ සාමාන්‍ය ජනතාව මෙන් ගරු අධිකරණය ඉදිරියේ නඩු පැවරීමය.

27/11/23 දින පැවති වනජීවී අමාත්‍යාංශය පිලිබඳ පාර්ලිමෙන්තු විවාදයේදී කිසිවෙක් රටේ නැතිවන අලි සම්පත සහ අලි මුහුණ දෙන නියම  ප්‍රශ්ණ ගැන කථා කලේ නැත. ‘තිරසාර සංවර්ධනයක්  අවශ්‍යය පමණක්  කියා වන අලින් මුහුණ දී ඇති මූළික ප්‍රශ්ණ ඔවුන් මඟ හැරියහ. අප උසස් කථා බලාපොරොත්තුව සිටියෙමු.  

වන අලි සුරක්ෂණය පිළිබඳව දීර්ඝ, පරිපූර්ණ ලිපියක් 26/11/23 දින මෙම වෙබ්අඩවියේ  අප පළ කළෙමු; අලි මැරෙණ විදියට අද රටේ වන අලින් 1500ක් වත් ඇද්දැයි අප ප්‍රශ්ණ කළෙමු.

මේ දැවැන්ත ප්‍රශ්ණය ගැන අප දන්නා පරිදි කිසිම සාධාරණ විවරණයක් (අලින්ගේ පැත්තෙන්) කිසි කෙනෙක් පාර්ලිමේන්තුවේදී  27/11/23 දින සිදු කලේ නැත.

චන්ද ලබාගැනීමේ අවශ්‍යතාව නිසා දේශපාලඥයෝ සැමදාම ගන්නේ අලින්ගේ පැත්ත නොව ජනතාවගේ පැත්ත බව අප පෙන්වා දී ඇත.

1995 සිට මේ දක්වා ජනාධිපතිවරුන්ගේ කල් ක්‍රියා ගැන නම් අටුවා අවශ්‍ය නැත,  JR පරයන වැඩ මොවුන් කර ඇත. ඒවා ජනතාව ඉතා හොඳින් දනී.

ඉදින්, සුමට, අසංකීර්ණ, විනිවිද පෙනෙන පාලන ව්‍යුහයක් තිබියදී (’72 ව්‍යවස්ථාව), මෙවැනි අසාර්ථක රට අඝාධයට ගෙන යන තනතුරක් සහ විශේෂයෙන්ම දැවැන්ත සුදු අලියෙක් (78  ව්‍යවස්ථාව – සංශෝධන සහිත), තවදුරටත් අප තබා ගත යුතුද?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress