සිංහල උරුමය සහ ශ්‍රී ලංකාව යන දෙකම එකවර රැකිය නොහැකිය; එකක් සුරැකීමට අනෙක මිය යා යුතුමය.
Posted on January 31st, 2024

දිල්රූක් කන්නන්ගර

ශ්‍රී ලංකාව සිංහල දේශය නොවේ. ශ්‍රී ලංකාව යනු 1948 බිහිවූ දුක්ඛිත 76 වසරක සාපලත්, ලෝකයටම ණය ගැති වූ කෙටි   ඉතිහාසයක් ඇති බ්‍රිතාන්‍යයන් විසින් 1833 අටවා ගත් අට්ටාලයකි. එයට කිසිම භාෂා අනන්‍යතාවයක් නැත; දිශානතියක් නැත; එල්ලයක්, ධර්මයක් නැත, විදේශ ප්‍රතිපත්තියක් නැත, ඉතිහාසයක් නැත. ඒ වෙනුවට අම්බලමක් හෝ මඩමක් සේ එයට භාෂා, නීති, ඇදහිලි සහ ඇදීම්/රිදීම් රාශියක් ඇත. එය මත සිංහල උරුමය පැටවීම ලේ හැලීම් ඇති කෙළේය; ජාතික සමගිය නැති කෙළේය; ලෝකෙට පිළිකුලක් විය. එය තුළ සිංහලයාට, සිංහල උරුමයට සහ සිංහල ඉතිහාසයට තැනක් නැත. ශ්‍රී ලංකාව තුල සිංහල උරුමය සුරැකීම, සුප් බඳුනක ලුණු කැට සෙවීම වැනි නිෂ්ඵල ක්‍රියාවකි.

ජපානය, දකුණු කොරියාව, තායිවානය, නොර්වේ, ස්වීඩනය, ෆින්ලන්තය, ජර්මනිය, ඉතාලිය, පෝලන්තය ආදී තනි ජාතිය මත පදනම් වූ රටවල් සාමකාමීය, පොහොසත්ය, සංස්කෘතික සභ්‍යත්වය මෙන්ම ඉතිහාසගත ප්‍රෞඩත්වයත්, ආගමික සහ ජාතික අනන්‍යතාවයත් රැකගෙන ඉදිරියට ගිය රටවල්ය. අපට ගැලපෙන්නේද ඒ මොඩලයයි. වත්මන් අච්චාරු හෝ කකුස්සි වලේ මොඩලය කුඩා රටවල් වලට විනාශය සහ විකෘතිවාදය පමණක් ගෙන දේ.                

ශ්‍රී ලංකාවේ සිංහල උරුමය ගැන කතා කරන්නන්ට ළද බොළඳ ඉල්ලීම් ඇත. එවැන්නක් නම් සුළු ජාතීන් මේ රටේ ඉතිහාසගත සිංහල උරුමය පිළිගතයුතු බව! ශ්‍රී ලංකාව තුළ මහාජාතිය වෙතත් කලාපයේ සිංහලයා සුළුය; සිංහලහරණය සියලු පොලිටික්කන් විසින් සිදු කරන්නේ ශ්‍රී ලාංකික-කරණය උදෙසායි; සුළු ජන කොටස් පිනවීමෙන් තොරව කිසිදු දේශපාලන පක්ෂයකට රාජ්‍ය පාලනය කල නොහැක; සුළු ජන කොටස් පිනවීමෙන් තොරව ශ්‍රී ලංකාවට ලෝක දේශපාලනය තුළ පණ ගැට ගසා ගැනීමට නොහැකිය; සුළු ජන කොටස් වලට ලෝක බලවතුන්ගේ පිහිට ආරක්ෂාව ඇතත් සිංහලයාට ඇත්තේ හුදු දුර්වල තිස්තුන් කෝටියක් දේව ආරක්ෂාව පමණි. එයත් ඇත්තේ සිංහලයා ආරක්ෂා කිරීමට මිස ශ්‍රී ලංකාව ආරක්ෂා කිරීමට නොවේ. මේ කටුක යතාර්ථ පිළිගැනීමට හැකියාව නොමැතිනම් සිංහලයාට හෙටක් තිබිය නොහැකිය. කළු ගල්වල හිස ගසා තුරන් වනු හැර.

අවශ්‍ය වන්නේ මුළු ශ්‍රී ලංකාවම සිංහල කිරීමේ තෘෂ්ණාව, මල පෙරේතකම නොවේ. දූපතෙන් කොටසක සිංහල උරුමය රාජ්‍යත්වයට ඔසවා තැබීමයි. බුදුබව ලැබ සුළු කාලෙකින් ගෞතම බුදුරදුන් දූපතේ උතුරු කෙළවරට වැඩම කර දෙසු ධර්මය අනුව යන්නේ නම් සිංහල දේශයක් ගැන සිතීම අපහසු නැත. එමෙන්ම දෙමල සහ මුස්ලිම් දේශයන්ද එමගින්ම බිහිවනු ඇත. ඉතිහාසය කෙසේ වෙතත් පොළොවේ යතාර්ථය නම් දෙමල උරුමයක්ද, මුස්ලිම් උරුමයක්ද ශ්‍රී ලංකාව තුල ඇත. එය පිළිනොගැනීම ජුගුප්සාසහගත මෙන්ම ජාතිවාදීය. සිංහල උරුමය රැකෙන්නේ දෙමල සහ මුස්ලිම් උරුමයන් රැකෙන ක්‍රමවේදයක් තුල පමණි.

අද අවශ්‍ය වන්නේ උතුරු මැදද හිමි කාවන්තිස්ස කෙනෙකු මිස “සංහිඳියා දුටුගැමුණු” කෙනෙකු නොවේ. (සැබෑ දුටුගැමුණු සංහිඳියාකාරයකු නොවේ. නමුත් එදා වීරකම් අද කල නොහැක්කේ ඒවා අද අන්තර්ජාතික යුධ අපරාධ ලෙසට ගැනෙන නිසාය.)         

එවැනි බෙදීමකදී මහගම සේකරයන්ගේ “මේ සිංහල අපගේ රටයි” ගීතයේ වර්ණනා කරන කිසිවක්ද, ඩෝල්ටන් අල්විස් ගේ “සසර වසන තුරු”, කරුණාරත්න අබේසේකරගේ “අද පමණක් නොවේ”  ගීතයන්හී වර්ණනා කරන කිසිවක්ද සිංහලයාට අහිමි නොවේ.

1815න් නැවතුනු සියවස් විසිහතරක සිංහල ඉතිහාසය සපිරි ශ්‍රේෂ්ඨ සිංහල දේශය යළි උපදිනු ඇත. දෙමල සහ මුස්ලිම් ප්‍රශ්ණ අපේ ප්‍රශ්ණ නොවනු ඇත. දූපත තුල සමානුපාතිකව සැදෙන සිංහල දේශය තුල සිංහල ජාතිය, උරුමය, ධර්මතාවන්, බෞද්ධාගම, ඉතිහාසය, ගුණාංග මෙන්ම සිංහල ආර්ථිකය, සිංහල පරිසරය, සතා සීපාවට මෙන්ම ගහ කොළට ඇති සිංහල ආදරයද රැකෙනු ඇත. වන සහ ජීව විවිධත්ව සංහාරයක් සිදුවූ කඳුකරය නැවත පණ ලබනු ඇත. සිඳුණු ජල උල්පත් යළි නැගෙනු ඇත. පරිසර පිළිලයන් වූ කොළඹ, මහනුවර, ගාල්ල, මීගමුව, බදුල්ල, පුත්තලම සහ අනෙක් එවැනි නගර ධරණීය මට්ටමට පත්වනු ඇත. ගමනාගමනය පහසු වනු ඇත. කතරගම, ශ්‍රී පාදස්ථානය, මුන්නේස්වරම් දේවාලය ඩොලර් ජනනය කරන ස්ථාන වනු ඇත. සිංහලයන්ට එරෙහි ව ලෝකයෙන් නැගෙන අබූත චෝදනා නිම වනු ඇත. දෙමල සහ මුස්ලිම් ප්‍රශ්ණ දෙමල ඊළම, මුස්ලිම් ඊළම රටවල් තුලම විසඳා ගනු ඇත (නොවිසදුනත් එයින් අපට කම් නැත).

බෙදුම්වාදයට එරෙහිව විවිධ අබූත චෝදනා ලැබ උතුරු නැගෙනහිර රඳවා ඇති හමුදා ඛණ්ඩ සිංහල දේශයේ සෞභාග්‍ය සුරැකීමට ගොඩබිම් මායිම මුර කරනු ඇත. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑමෙන් ශ්‍රී ලංකාව කපෝති වීමට නියමිතය. ඒ ජලය නොමැතිව දකුණු ඉන්දියාවෙන් පැමිණීමට නියමිත අති විශාල ජනගහනය නිසා මෙන්ම උතුරු නැගෙනහිර දිවෙන දූපතේ දිගම මුහුදු තීරය නිසාය. සිංහල දේශය මෙම බැරෑරුම් ප්‍රශ්ණ වලින් ගැලවේ.      

ඉන්දියානු සහ අරාබියානු සම්භවයක් ඇති මරුමකතයම්, අලියස්තාන, තෙසවලමි, මුක්කුවාර් සහ අරාබි නීති මත පදනම් වූ බහු නීති සිංහල දේශයේ නැත. දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටක මෙන් සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමාන වනු ඇත.      

ශ්‍රී ලංකාවට නිසි විදේශ ප්‍රතිපත්තියක් නැත. සියලු විදේශ ප්‍රතිපත්ති ඉන්දීය සහ අරාබි පිටස්තරවාදීන් නිසා දෙකට නවා ආර්ථික වටිනාකමක් ඇති සබඳතා (චීනය, මියන්මාරය, ඊශ්‍රායෙලය, ඉරානය) මොට කර ඇත. මෙවැනි පණ නැති විදේශ ප්‍රතිපත්තියක් නිසා ශ්‍රී ලංකාවට විදේශයන්හී කිසිම තැකීමක් නැත. ශ්‍රී ලංකාව මෙන් නොව සිංහල දේශය ට එවැනි කසළ පොදි  උස්සා සිටීමට අවශ්‍ය නොවේ.       

කොටින්ම සිංහල දේශය යනු අදට ගැලපෙනසේ සැකසුනු රජ දවස මෙන් සෞභාග්‍යමත්, සාමකාමී, ධරණීය සහ ගෞරවාන්විත දේශයක්ය. ජාති විවිධත්වය නැති බැවින් ජාතිවාදය අවුළුවා චන්ද දිනීමට නොහැකි දේශයකි. එහෙත් සිංහල දේශය මරා ඉපදුනු ශ්‍රී ලංකාව පවතින තුරු එයට ඉඩක් නැත. මුළු දුපතටම හිමිකම් කියන තණ්හාව පවතිනා තුරු නොඉපදෙන දේශයකි. පරිත්‍යාගයෙන් තොරව නොඉපදෙන දේශයකි. දෙමල මුස්ලිම් දේශයන් නොතනා ඒ වෙනුවට සියල්ලන්ටම සියල්ල වීමට ගොස් බංකොලොත් වූ ශ්‍රී ලංකාවකි; වල පල්ලටම යන දේශයකි. වසර 76ක ලේ පැල්ලම්, කළු පැල්ලම් ඇති දේශයකි. මුළු දූපතම අල්ලා සිටීමට නොව එයින් සාධාරණ කොටසක සෑදිය හැකි සිංහල දේශයක වටිනාකම තන්හා ශෝකයෙන් මත් වූ ආර්ථිකමය හිඟන ඊනියා දේශප්‍රේමීන්ට ගෝචර වේවා! හැලුණු කිරට නාඩා තියෙන හකුරවත් රැක ගනිමු! එසේ නොකලොත් එයත් නැතිවේවි. ඒ සමගම අපේ හදවතට සමීප අපේම දේත් නැතිවේවි.

සිංහල දේශයක අවශ්‍යතාවය අද තදින්ම දැනේ. එය එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තියේ ඇති අයිතියකි (right of self-determination).   ශ්‍රී ලංකාව විසින් සිංහලයා බෙලහීන කර, අනාථ කර දමා ඇති අවධියක එකම විසඳුම දූපතෙන් කොටසක බිහිවියයුතු සිංහල දේශයයි. එමගින් ලෝක උරුම රැසක් වන සිංහල ජාතිය, සිංහල භාෂාව, සිංහල ඇදහිලි, සිංහල බුද්ධාගම, සිංහල දැනුම් සම්භාරය, අල්පේච්ච එහෙත් සපමණ සිංහල ජීවන චර්යාව සහ සොබාදම සමග සබැදුණු සිංහල ධරණීය සුපැවතුම මනුස්ස වර්ගයා වෙනුවෙන් ආරක්ෂා වනු ඇත. ශ්‍රී ලංකා අච්චාරුව තුල ඒ සැම දිරණු ඇත.          

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress