නිවනේ ඇති පලය කුමක්ද? නිවන් දකින්නේ කුමටද? – 3 වන කොටස
Posted on February 27th, 2024
තිස්ස ගුණතිලක
පසුගිය ලිපි දෙකෙන්ම උත්සාහකලේ ප්‍රස්තූත පැනයට පිලිතුර සාකච්චාකරන අතරම සමාජය තුලත් අප සියළු දෙනා තුලත් නිදන් ගතවී ඇති නිවන වසනා (මිත්‍යා) දෘෂ්ඨීන් හඳුනාගෙන ඒවා දුරුකිරීමය.
1. උදාහරනයක් ලෙස ස්වභාවධර්මය තුලවූ සියල්ලම අසංඛතය බවත් ඒ සියල්ලේම එකතුව නිවනේ ස්වභාවය නැතහොත් නිවනම බවත් පලමුව දත යුතුය. එනම් ස්වභාවධර්මය යනු නිවනයි. නිවන් දැකීම යනු ස්වභාවධර්මගත වීමයි, ස්වභාවධර්මයම වීමයි.
2. අනිච්ච හා අනිත්‍ය – දෙවනුව ස්වභාවධර්මය තුල පවතින සියල්ලම අනාත්මීය ස්වභාවයෙන් එනම් දෙයක් යමක් කෙනෙක් නැති, වටිනාකමක් නැති, ගින්නක් ඇති නොවන, ශුණ්‍ය ස්වභාවයෙන් පවතින බව පසක්කල යුතුය. බුදුන්වහන්සේ දේසනාකල ‘අනිච්ච’ ස්වභාවය මෙයයි. අනිච්ච අනිත්‍ය සමග පටලවා ගැනීමෙන් නිවන ඔබෙන් ඈත්වෙයි. සෑම දෙයක්ම වෙනස්වන විපරිනාමවන ස්වභාවයෙන් පවත්නාබව (අනිත්‍ය බව) පාසැල් වයසේ දරුවන් පවා දනියි. එම දරුවාගේ දෙමාපියන් ඇතුළු වැඩිහිටි අය මහළුවන බව, ලෙඩ රෝගවලට ගොදුරුවනබව, අවසන සම්මත මරණයට පත්වනබව කුඩා දරුවන් පවා දකියි. ගහකොල වැඩී විශාල ගස් වන අයුරුත් ඒවා අවසන දිරීමකට ලක්වී පොලවට එකතුවන ක්‍රියාවලිය පොඩි දරුවා දකින ස්වභාවධර්ම සංසිද්ධීන්ය. ස්වභාවධර්මගත සෑම වස්තූවක්ම වෙනස්වන, විපරිනාමවන ස්වභාවය ඔහුට පසක්වීමට අමතර ඉගැන්වීමක් අවශ්‍ය නොවෙයි. එම ස්වභාවධර්මතාවය ඔහුට තනිවම ග්‍රහනය කරගත හැකි වෙයි.
බුදුන්වහන්සේ බොහෝ සූත්‍ර දේශනාවල යමක් ‘… නිච්චං වා අනිච්චං වා ති”? යනුවෙන් ප්‍රශ්න කරයි. එවිට භික්ෂූන් ‘අනිච්චං භන්තෙ’ ලෙස පිලිතුරු දෙයි. මෙයින් ගම්‍යවන්නේ බුදුනුවහන්සේ පෙන්වා දෙන ප්‍රස්තූතය භික්ෂුන් එහි ඇති ‘අනාත්මීය’ ‘ශුන්‍ය’ නැතහොත් ‘මෙලෝ රසයක් නැති’, වටිනාකමක් නැති’, ගිනිනොගන්නා ස්වභාවයෙන් ගත්බව මිස එහි ඇති ‘වෙනස්වන, විපරිනාමවන, අනිත්‍ය’ ගුණය ප්‍රකට කල බව නොවෙයි. තවද අනාත්මීයව පවතින ස්වභාවගත වස්තූන්වල ශුණ්‍ය ස්වභාවය ‘දුක්ඛ’ ලෙස තිලක්ෂණය තුල අඩංගුව ඇතිබවත් එවිට ‘අනිච්ච’ හා දුක්ඛ’ යන දෙකම ස්වභාවධර්මය අර්ථවත් කරනා සංකල්ප ලෙස දැකීමට බාදාවක් නොවනු ඇත.
3. ඉපදීම දුකක්ද? – තෙවනුව, ඉපදීම දුකක් ලෙස බොහෝ ගිහි පැවිදි දේශකයින් අපට මිත්‍යා දේසනාවක් ඉදිරිපත් කරයි. බුදුන්වහන්සේ දේසනා කලේ මනුසත්භාවයක් ලැබීම අති දුර්ලභ බවත් එහි ප්‍රතිපල නොපමාවම ලබාගතයුතු බවත්ය (දුර්ලභං මනුස්සත්තං, දුර්ලභං දම්මසවනං ……). එසේනම් ස්වභාවධර්ම ක්‍රියාවලියක්වන දෙදෙනෙකුගේ සුසංයෝජනයෙන් ‘තවත් නිවන් මාර්ගස්ථ ජිවියෙක්‘ බිහිකරයි. නිවන් දැකිය හැකි ජීවියෙකුගේ බිහිවීම දුකක්වන්නේ තථාගත ධර්මය පටලවාගත් තවත් දේශකයෙකුහට පමනි.
බුදුන්වහන්සේ දුකක් ලෙස හදුන්වන්නේ ‘ජාතිපි දුක්ඛා’ ලෙස පෙන්වාදෙන ආත්මීය ස්වභාවය තුල ජනිතවන ‘ආත්ම දෘෂ්ඨියයි’. එයද ආත්ම දෘෂ්ඨියම නොව භවය සකස් කරන ආත්ම දෘෂ්ඨිය ඇතිවී මම ඇතිවේය යන බියයි, තැතිගැනීමයි. අගට ඇති ‘පි’ අක්ෂරය (ජාතිපි, ජරාපි, ව්‍යාධිපි, මරණම්පි ආදි වශයෙන්) යම් සංකල්පයක් තුල අන්තර්ගත ‘භීතිය, තැතිගැනීම’ හඳුන්වා දීමට යෙදෙයි. ‘මම’ ඇතිවීම සියළු දුකට පාදකවන නිසා එහි තුල අන්තර්ගත ‘භීතිය’ සත්‍ය වශයෙන්ම දුකකි – මූලපරියාය (සියල්ලටම මුල) සූත්‍රය බලන්න. සම්මත මරණයද එසේම දුකක් නොවන ස්වභාවධර්ම සංසිද්ධියකි. මරණයට පත්වීමට වත් කෙනෙක් නැති ස්වභාවය තුල මරණයෙන් පසුව දුක දැනෙන්නේ කාටද? නමුත් මරණය යන සංකල්පය දැක ඇති, එහි ගැබ්වී ඇති වේදනාව (ප්‍රියයන්ගෙන් වෙන්වීමේ වේදනාවද ඇතුළුව) දන්නා අයෙකුට මරණයේ භීතිය දැනෙයි, මරණය යන සංකල්පයම ඔහු හෝ ඇය තුල තැතිගැනීමක් ඇතිකරයි. භීතිය හා තැතිගැනීම (නිවන වසනා) ආතතියක් ඇතිකරන චෛතසිකයකි, ඒ නිසා දුකකි. මරණංපි දුක්ඛා යනු ‘මම’ යන ආත්ම දෘෂ්ඨිය නිසා හටගන්නා දුකයි.
4. සිව්වනුව කර්ම–විපාක දෘෂ්ඨිය. මෙය බුදුසමයටත් පෙර දඹදිව පැවති දෘෂ්ඨියකි. එක් අයෙක් තවත් අයෙකුගෙන් වෙනස් වන්නේ ඇයි? යන ප්‍රශ්ණය එදා දඹදිව වැසියන් විවිධ ශාෂ්තෘන්ගෙන් පිළිතුරු බලාපොරොත්තුවු පැනයක්විය. කෙනෙක් දීර්ඝ ආයුෂ විදියි. තවකෙක් අඩුවයසින් මරණය කරා ලඟාවෙයි. කෙනෙක් රාජ රාජ මහාමාන්‍ය සැපවිඳියි. තවකෙක් දුගී දුප්පත්ව අඹුදරුවන් රකිමින් දුක්ඛිත ජිවිතයක් ගතකරයි. කෙනෙක් ලෙඩ රෝගවලට ගොදුරුවී දුක්-වේදනා විදියි. තවකෙක් කිසිම අසනීපයකට ලක්නොවී දිවිගෙවයි. මෙසේ වන්නේ කුමන හේතුවක් නිසාද? යන පැනය එදා දඹදිව වැසියන්තුල විය. එයට පිළිතුරක් සැපයීමට අසමත්වූ ශාෂ්තෘන් ලඟින් බොහෝ ස්‍රාවකයින් ඉවත්විය. ඒ ශාෂ්තෘන්ට දානය පවා නොලැබෙන තත්වයක් එදා උදාවිය. නිඝණ්ඨනාථපුත්‍ර හෙවත් මහාවීර මෙම තත්වයට තමන්ද පත්විය හැකිබව දැක පැනයට පිළිතුරක් ලෙය ‘කර්මය හා විපාකය’ යන ‘භූත සංකල්පය’ ඉදිරිපත්කල (‘Karmaya’ coined by Mahaweera) අතර නිවන් මාර්ගයක් අසා නොදැන සිටි ජනසමාජය එම පිළිතුරෙන් සෑහීමකට පත්වූබවක් පෙනේ. බුදුන්වහන්සේ එදා සමාජගත සියළුම විශ්වාසයන් ‘පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු’ ලෙස ප්‍රතික්ෂේප කරනාතුරු දඹදිව සමාජය තුල ‘කර්ම-පල’ දෘෂ්ඨිය විය.
ලොකුම හා භයානකම සතුරා
ඔබට සතුරු සියළුදෙනාම හෝ සියළුදෙයම ඔබට යම්කිසි දිනක තනිවම හෝ භාහිර ආධාරයක් සහිතව හෝ පරාජය කල හැකිය. පරාජය කිරීමට ඉතාමත් අපහසු ඔබේම සතුරා වන්නේ ‘ඔබයි’ නැතහොත් ඔබතුල වසනා ‘මමයි’. ඔබ තුල ‘මම’ නැමති සතුරා, ‘ආත්ම දෘෂ්ඨිය’ ලෙස සහ ‘ආත්ම සංඥාව’ ලෙස පවතියි. තථාගත ධර්මය තුල බුදුන්වහන්සේ ‘මම‘ නැමති සතුරා හැදින්වූයේ ‘මාරයා‘ ලෙසයි. ගයාවේ බෝධිමූලයේදී බුදුවීමට එරෙහිව නැගී සිටි එකම සතුරාවූයේ තමන්වහන්සේතුල සිටි ‘මමයි’ නැතහොත් ‘ආත්ම සංඥාව’යි. බුදුවීමට අවශ්‍ය සියළුම අතහැරීම (detachment) ඇතුළු පාරමිතා (pre-conditions) සම්පූර්ණ කර සිටි සිද්ධාර්ථ තවුසානන්ට බුදුවීමේදී සටන්කිරීමට සිඳුවූ එකම සතුරාවූයේ මෙම ‘මම’ නැමති ‘මාරයා’යි. බුද්ධත්වයට පත්වනවිට කල මාර පරාජය නම් මෙම ‘මම’ නැමති සතුරා හෙවත් ආත්ම සංඥාව පරාජය කිරීමයි.
නිවන් දකින මාර්ගය අහුරා සිටින මෙම ‘මම’ නැමනි සතුරා, කොයි මොහොතේ පැමිනෙන්නේදැයි නොදන්නා බවත් මාරයා මහා සේනාවක් සමඟ පැමිනෙන බවත් මාරයා සමඟ ගිවිසුම් නැතිබවත් ‘භද්දේකරත්න සූත්‍රය’ තුල බුදුන්වහන්සේ විස්තරකලේ මෙම ‘මම’ නැමති නිවන වසනා මාරයා ගැනයි.
අජ්ජෙව කිච්චමාතප්පං, කො ජඤ්ඤා මරණං සුවෙ;
න හි නො සඞ්ගරං තෙන, මහාසෙනෙන මච්චුනා
අදම කෙළෙස් තවන වීර්‍ය්‍යය කළ යුත්තේය හෙට මරණය සිදුවේදැයි (ආත්ම සංඥාව කුමන මොහොතක හෝ දෘෂ්‍යමානවී නිවන වසයිදැයි) කවරෙක් දන්නේද, මහා සේනාවක් ඇති, ඒ මාරයා සමග ගිවිසුමක් අපට නැත්තේය.
5. සමත භාවනාව – පස්වනුව, සිත දමනය, පාලනයකිරීම තුලින් නිවන් දැකිය හැකිය යන මිත්‍යා දෘෂ්‍ඨියද පහකල යුතුය. සිත පාලනය දමනය කරන ප්‍රතිපදාව නිවන්මග නොවේ එය බුදුන්වහන්සේටත් පෙර දඹදිව පැවති මිත්‍යා විශ්වාසයකි. සමත භාවනාව ඇත්ත වශයෙන්ම නිවන වසයි. සමතය තුල ධ්‍යානපල ලබනා කෙනෙක් සිටී ඒ නිසා සමත භාවනාව ‘යමක් දෙයක් කෙනෙක්’ නැති අනාත්ම දහම සමඟ ගැලපීමක් නැත.
නිවන් දකින ප්‍රතිපදාව පවතින්නේ ‘අතහැරීම’ හෙවත් අල්පේච්චතාවය ප්‍රගුණකිරීම තුලයි. අතහැරීම (චෛතසික හා භෞතික අතහැරීම) සම්පූර්ණකල යෝගාවචරයා තුල ආතතිය නැතිවී, පස්සද්දිය tranquity ඇතිවී එනම් බොජ්ජංග වැඩී ඉබේම (auto) නිවන කරා පැමිනෙයි. අවසානභාගයේදි නිවන පසක්වන්නේ ආයාසයකින් තොරවය. ඔබද භෞතිකව සියල්ල අතහැර විපස්සනාවෙන් චෛතසික අතහැරීමත් පුරුදු පුහුනු කල අයෙකුනම් (pre-conditions – පාරමිතා) ඔබවෙත නිවන ආයාසයකින් තොරව ලඟාවෙයි.
මම (ආත්ම දෘෂ්ඨිය හා ආත්ම සංඥාව) නැතිකරන පෘතග්ජනයා (හෝ ශෘතවත් ආර්ය ස්‍රාවකයා) නිවන්දකී. මම සිටිනාතාක් කල් දුක ඇතිවෙයි. මම පිටුදකිනා, දුක නැතිකරන මාර්ගයේ ගමන් කරන්නේ යෝගාවචරයායි. නිවන යනු ස්වභාවධර්මගතවීමයි. භාහිරයේ ඇති, අරමුනට විශයවන සියල්ලම අනාත්මීය (දෙයක් යමක් මමෙක් නැති ශුන්‍ය) ස්වභාවයෙන් ග්‍රහනය කිරීම නිවන් දකිනා ප්‍රතිපදාව වන ‘විපස්සනාවයි’. භාහිරයේ සිටිනා රූපාගේ හෝ උපාලිගේ ආශ්වාදයක් (හෝ වෛරී – ඇලෙන ගැටෙන ස්වභාවයක්) නැති බවත් එවැනි ස්වභාවක් ඇතිවන්නේ ඔබේම විඤ්ඤාණ මායාව තුල බවත් දැකිය හැකිනම් භාහිරයේ සිටිනා රූපා හෝ උපාලි ‘විඳිනා ඔබ’ (මම) ඔබ තුල ඇති නොවෙයි. එනම් භාහිර රූපය ආත්මීයව, ශුණ්‍යව දකිනා නිසා ඔබ තුල ‘භවය’ (උපාදාන පච්චයා භව) ඇති නොවෙයි. ඒ නිසාම ඔබ තුල භාහිරය විදිනා මම ඇති නොවෙයි (භව පච්චයා ජාති). මෙම ක්‍රියාවලිය ක්‍රමයෙන් සිඳුවන්නකි – ක්ෂය ධම්මා වය ධම්මා.
ස්වභාවධර්මය හා පෘතග්ජන ස්වභාවය
රහතන්වහන්සේ ස්වභාවධර්මයමවී, ස්වභාවය හා බද්ධවී එනම් ස්වභාවධර්මගතවී දුකක් නැති ස්වභාවයෙන් තම දිවිය ගෙවයි.
පෘතග්ජනයාද වාසය කරන්නේ රහතන්වහන්සේ වැඩවසනා ස්වභාවධර්මය තුලමය. නමුත් හෙතෙමේ විඤ්ඤාණමායාවෙන් තමා අවට පරිසරය ආත්මීය ස්වභාවයෙන් අල්ලාගැනියි. ඒ හේතුවෙන් සියල්ලම ‘මම’ දකින විදින ස්වභාවයෙන් ගනියි. මේ නිසා හෙතෙමේ රහතන්වහන්සේ මෙන් දුක නැති ස්වභාවය අත්නොවිදියි.
නිවනේ ඇති පලය – නිවන තුල දුකක් නැත. නිවය යනු දුකෙන් නිදහස් ස්වභාවයකි. දුක හා වේදනාව යනු සංසිද්ධීන් දෙකකි. දුක චෛතසිකයක් වන අතර වේදනාව යනු භ්‍යෙතික ශරීරයට දැනෙන සංසිද්ධියකි. සද්ධර්මයට අනුව මම නැති තැන (රහත් ස්වභාවය) ශරීරයට හිමිකරුවෙක් හමුනොවෙයි. වේදනාව ‘විදීමක්’ වන්නේ පෘතග්ජනයාටයි. රහතන්වහන්සේට වේදනාව විදීමක් නොව එය ස්කන්ධ මට්ටමේ ඇතිවන ප්‍රාථමික දැනීමක් වන අතර එය රාග ද්වේශ නැති ස්වභාවයෙන් ‘විසංකාර’ වී දුකක් නැති ස්වභාවයෙන් අත්විඳියි. දුකක් සමග ඇතිවන වේදනාව හා දුකක් රහිත වේදනාව යනු දෙකකි. හිමිකරුවෙක් ඇති ශරීරයකට දැනෙන වේදනාව හා හිමිකරුවෙක් නැති ශරීරයකට දැනෙනා වේදනාව ආකාර දෙකක්විය යුතුමය.
මීලඟ ලිපියෙන් දුකක් නැති ස්වභාවයට අමතරව නිවන තුල ඇති වෙනත් ප්‍රතිලාභ ගැන සාකච්චා කරමු.
ඔබට තෙරුවන් සරණයි
තිස්ස ගුණතිලක
eMail: tgunite@tpg.com.au
2024 පෙබරවාරි මස 28 වනදා