දිවුලපතාන ගම්මානයේ ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වාතාවරණයක් උදාකර දෙන්නැයි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සමක්
Posted on April 4th, 2024

– අද දෙරණ –

දිවුලපතාන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනතාව බහුතරයක් වාසය කරන දිවුලපතන ගම්මානය ආශ්‍රිතව ඉදිකර තිබෙන ආරක්ෂිත මුරකපොලු ඉවත්කොට එම ජනතාවට නිදහසේ ජීවත් විය හැකි වතාවරණයක් උදාකර දීමට පියවර ගන්නා ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කර ඇත.

පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි සහ දිවුලපතන ගම්වාසින් පිරිසක් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

එහි වගඋත්තරකරුවන් ලෙස වාරිමාර්ග අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි,  සංචාරක අමාත්‍ය හරින් ප්‍රනාන්දු, නැගෙනහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ඇතුළු පිරිසක් නම් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ නැගෙනහිර පළාතේ පිහිටි දිවුලපතන ගම්මානයේ ඈත අතීතයේ පටන් සිංහල ජනතාව වාසය කළ බවය.

1974 වසර වන විට අදාළ ගම්මානයේ සිංහල පවුල් 618ක් වාසය කළ බවත් පෙත්සමේ සඳහන් වෙයි.

එහෙත් අදාළ ගම්මානය වටා ඉදිකර තිබෙන ආරක්ෂක මුරපොළවල් ඇතුළු රජයේ නිලධාරීන්ගේ ක්‍රියාකාරකම් නිසා එම ගම්මානයේ වාසය කරන සිංහල ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතු නිදහසේ කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උද්ගතවී ඇති බවත් පෙත්සමෙන් චෝදනා කරයි.

රාජ්‍ය නිලධාරීන් විසින් සිදුකරන විවිධ බාධා කිරීම් හේතුවෙන් එම ගම්මානයේ ජනතාවට සිය ජීවිකාව නිදහසේ කරගෙන යාමට නොහැකි වී ඇති බවත් විවිධ දේශපාලන යටි අරමුණු මුල්කරගෙන මෙවැනි බාධා කිරීම්  සිදුකෙරෙමින් පවතින බවත් පෙත්සමේ සඳහන් වෙයි.

– අද දෙරණ –

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress