රේගුවට ඇති බදු හිඟය ගැන අනුර කිව්වේ බොරු
Posted on September 18th, 2024
උපුටා ගැන්ම හිරු පුවත්
ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරන ආකාරයට ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක බඳු හිඟයක් නැති බවත් එකතු කිරීමට ඇති හිඟ බදු ප්‍රමාණය රුපියල් බිලියන 58ක් පමණක් බවත් ශ්‍රී ලංකා රේගුව සඳහන් කරන බවට දිවයිනේ ප්‍රධාන පුවත්පතක් වාර්තාකොට සිටිනවා.
එම රුපියල් බිලියන 58කට ආසන්න හිඟ බදුවලින් එක් පුද්ගලික සමාගමකින් හැරුණුකොට සෙසු හිඟ බදු ප්‍රමාණයක් එකතු කර ගැනීමට ඇත්තේ රාජ්‍ය ආයතන 37කින් බව රේගුව සඳහන් කරන බවයි වාර්තා වෙන්නේ.
ශ්‍රී ලංකා රේගුවේ 2024 වසරේ අපේක්ෂිත ආදායම් ඉලක්කය වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තහවුරු කර ඇත්තේ රුපියල් බිලියන 1534ක්.
නමුත් 2024 වසරේ මුල් මාස 08 අවසන් වන විට රුපියල් බිලියන 1000ක ආදායම් ඉලක්කයක් ළඟා කර ගැනීමට ශ්‍රී ලංකා රේගුව සමත්වූ බවත් එය ඉතිහාසයේ ඉහළම ආදායම බවත් ඉදිරි මාස 04 තුළ වසරේ අපේක්ෂිත ඉලක්කය වෙත ළඟා විය හැකි බවයි රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස් පවසා සිටියේ.
ශ්‍රී ලංකා රේගුව මෙයට පෙර ඉතිහාසයේ ඉහළම ආදායම් වාර්තාවක් හිමිකරගෙන ඇත්තේ 2023 වසරේදී වන අතර එම වසරේ සමස්ත රේගු ආදායම රුපියල් බිලියන 975ක්.
ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක හිඟ බදු මුදලක් ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක සඳහන් කරනු ලැබුවේ පෙරේදා (16) පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති වැඩසටහනකට සහභාගි වෙමින්.