මෝල් හිමියන් කියන ගාන හාල් මිල වැඩි කරන්න නම් මොකක්ද ජනාධිපති ධූරයේ තත්ත්වය..
Posted on December 11th, 2024
උපුටා ගැන්ම ලංකා සී නිව්ස්
හාල් සහ පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ආණ්ඩුව ජනතාවට ජනකාන්තවාදී බොරු ප්‍රකාශ කරන බවට එක්සත් ජනරජ පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා චෝදනා කරයි.
සහල්, පොල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර සුරක්ෂිතතාව පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණ පැවැත්වූ මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව බලයට පත්වීමට පෙර හාල් මෝල් හිමියන්ට එරෙහිව දැඩි ප්‍රකාශ කළ නමුත්, බලයට පත්වීමෙන් පසු ඔවුන් සමඟ එකඟතාවකට පැමිණ හාල් මිල ඉහළ දැමීමට කටයුතු කළ බවයි.
ජනාධිපතිතුමා මේසෙට තට්ටු කරලා තමන්ට හිතු ගානකින් හාල් මෝල් හිමියන්ට එකඟ වෙන ගානකින් හාල් මිල වැඩි කරන්න නම් මොකක්ද ඒ ජනාධිපති ධූරයේ තත්ත්වය?”
වී කිලෝ 100කින් නිපදවිය හැකි හාල් ප්‍රමාණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විවිධ මත පළ කළද, ලංකාවේ හාල් හිඟයක් නොමැති බව ද, රණවක මහතා පෙන්වා දෙයි.
මහ මෝල් හිමියන් කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට දෙකයි දශම පහයි හදන්න පුළුවන් කියලා. කෘෂිකර්ම අමාත්‍යාංශය කියනවා වී කිලෝ සීයකින් හාල් කිලෝ හැට අටක් හදන්න පුළුවන් කියලා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පර්යේෂණාගාරයේ ඉන්න මාරඹේ මැතිතුමා ඇතුළු අය කියනවා නෑ හැත්ත දෙකක් පුළුවන් කියලා. කුඩා මෝල් හිමියෝ කියනවා පනස් දෙකයි පුළුවන් කියලා. ඇත්තටම මේ පවරගත්ත, පනස් දෙක ගත්තත්, හැට දෙක ගත්තත්, හැට අට ගත්තත්, හැත්තෑ දෙක ගත්තත් ලංකාවේ හාල් හිඟයක් නැහැ. මේ සංඛ්‍යා ලේඛන දිහා බැලුවහම. එහෙනම් මොකක්ද මේ වෙලා තියෙන්නේ? ඉතාම පැහැදිලියි මේ බෙදා හැරීම සහ සහල් තොග පවත්වා ගැනීම පිළිබඳව විධිමත් දැනුමක් වෙළඳ ඇමතිට හෝ කෘෂිකර්ම ඇමතිට හෝ ජනාධිපතිට හෝ ඒ අදාළ ආයතන වලට නෑ.”
හාල් මිල පාලනය කිරීමේ වගකීම වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාට පැවරී ඇති බවත්, එම වගකීම ඔහු නිසි ලෙස ඉටු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් රණවක මහතා ප්‍රකාශ කළේය.
වසන්ත සමරසිංහ මැතිතුමා වාණිජ ඇමති හැටියට දිවුරුම් දෙද්දී එතුමාගේ ගැසට් නිවේදනයේ, එතුමා බලයට පත් කරපු ගැසට් නිවේදනයේ, බොහොම පැහැදිලිව තියෙනවා. එතකොට මේ මේ ගැසට් නිවේදනයට අනුව තමයි, මේ නිල ලියවිල්ලට අනුව තමයි එතුමාට මේ බලය ලැබිලා තියෙන්නේ. අලි ගම් වැදිලා මේ විනාශ වෙනවා. මාෆියාකාරයෝ හාල් හංගං ඉන්නවා වගේ උත්තර දෙන්න බෑ. මේක තමයි ඔහුගේ වගකීම. ඒ නිසා ඒ වගකීම ඔහු ඉටු කරනවා ඇතියි කියලා අපි බලාපොරොත්තු වෙනවා.”
ආහාර ද්‍රව්‍ය ආනයනයේදී සිදුවන වංචා සහ හොරකම් පිළිබඳව ද රණවක මහතා ආණ්ඩුවට චෝදනා කළේය.
ලංකාවට අදටත් ගෙන්නන ප්‍රධාන ආහාර ද්‍රව්‍ය වල ඒ රේගු දෙපාර්තමේන්තුවේ සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බලපත්‍රවල විශේෂයෙන්ම අර තාවකාලික බලපත්‍ර වලින් තමයි සීයට හැට පහක් වෙන්නේ. ඒකෙන් රටට කිසිම ආදායමක් දෙන්නෑ. අන්න ඒ හොර කවුළුව මේ රජය විවෘත කරලා තියෙනවා නැවතත්. මේ රජය හොර කවුළුව විවෘත කරලා තියෙනවා.”
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා විධිමත් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙසත්, ජනතාව ගැන සිතා කටයුතු කරන ලෙසත් රණවක මහතා ආණ්ඩුවෙන් ඉල්ලා සිටියි.
මෙහිදී මාධ්‍යවේදීන් විසින් අසන ලද ප්‍රශ්නවලට පාඨලී චම්පික රණවක මහතා ලබා දුන් පිළිතුරු මෙසේ ය.
ප්රශ්නය: දැන් අපිට පේන දෙයක් තමයි මේ වෙළඳපොලේ භාණ්ඩ මිල ඉහළ යනකොට ඒක පිටිපස්සෙන් තමයි මේ ගණන් උස්සගෙන එන්නේ. එතකොට රජයක් පාරිභෝගිකයා ගිහිල්ලා රජය එක්ක කතා කරලා තමන්ගේ දුක් ගැනවිල්ල කිව්වට අන්තිම ප්‍රතිඵලය තමයි පාරිභෝගිකයාට කීයක් හරි වැඩි වෙලා එන එක. ඒ කියන්නේ මේ මිල එන්නේ හිඟය සමග තමයි. එතකොට මේ හිඟය ඇති වුණහම මේකේ පහසුව වෙන්නේ හැමදාම පාරිභෝගිකයාට නෙමෙයි. ව්‍යාපාරිකයාට කියන එකනේ කියන්නේ.
පිළිතුර: ඔව්, දැන් ඇත්තටම මේ ප්‍රශ්න සම්බන්ධයෙන් නිසි දත්ත තියෙනවා නම් කොහේද මේ වී තොග, පොල් තොග තියෙන්නේ කියන එක පිළිබඳව හා අස්වැන්න, දත්ත තියෙනවා නම් ඒක සොයාගෙන ඒකට පිළියම් යෙදීම තමයි රජයක් කළ යුත්තේ. ලොකු ළූණු ප්රශ්නය මතු වෙච්ච වෙලාවේ මේ ලොකු ලූණු වලින් අසීමාන්තික ලාභයක් ලබනවා. අනෙකුත් ආහාර ද්‍රව්‍යවල අසීමාන්තික ලාභයක් දරනවා කියලා. අපි කොහොමද ඒ ප්‍රශ්නේ විසඳුවේ? වරායට ගියා කීයද කියලා බැලුවොත්, තොග වෙළෙන්දන්ගේ කීයද කියලා බැලුවොත්, සිල්ලර වෙළෙන්දගේ කීයටද කියලා බැලුවොත්, අතරමැදියාගේ කීයක්ද කියලා බැලුවා. ඒක ජනතාවට හෙළිදරව් කළා. ඒ කාලේ හැම සතියකම මගේ ෆේස්බුක් පිටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල සටහන් කළා. ඒකෙන් විශාල වශයෙන් පාලනයක් ඇති වුණා. ඒ අපි ආණ්ඩුවේ ඉඳලා නෙමෙයි. ඒ අපි විපක්ෂයේ ඉඳන් කළේ. එතකොට මේ සම්බන්ධයෙන් ව්‍යාජ හේතු ඉදිරිපත් කරන්නැතුව ප්‍රශ්න අවබෝධ කරගැනීමේ දැනුම් මට්ටමක ඉන්නවා නම් මේ පාරිභෝගිකයාට මේක දාන එක වැරදියි. මොකද පාරිභෝගිකයාගේ ආදායම් පසුගිය අවුරුදු තුනේම වැඩි වෙලා නැහැ. එකම ආදායම. හැබැයි සෑම දේකම මිල ගණන් දැන් උද්ධමනයක් නැහැ. අවධමනයක් තියෙනවයි කිව්වට මහ බැංකුව සෑම දේකම මිල ගණන් තුන් ගුණයකින් වැඩිවෙලා තියෙනවා. මේ අද දෙසිය තිහට යන හාල් රුපියල් අසූවයි මීට අවුරුදු තුනකට කලින්. එතකොට ඒ නිසා අපි මහජනයා විඳින දුක ගැන අවබෝධයකින් යුතුව කටයුතු කරනවා මිසක් ජනකාන්තවාදී දේවල් කිරීමෙන් මේක වෙන්නෑ. අර ගෝඨාභය මහත්තයත් කරන්න ගිය ටික ඔය ටිකම තමයි හමුදාව දාගෙන ඒ ටික දැන් මේ නිලධාරීන් දාගෙන කරන්න ගියහමත් ඔය ප්‍රතිඵලයම තමයි එන්නේ.
ප්රශ්නය: දැන් ඔබතුමා කිව්වා ජනාධිපතිවරණයට ඉස්සෙල්ලා නාඩු හාල් තිබ්බා එකසිය අනූවට කියලා. නමුත් මේක උස්සලා දුන්නට පස්සේ ආයි බහින්නේ නැහැ.
පිළිතුර: නැහැ ඒක තමයි ඉතින් ඒකට හේතුව මේ මම පෙන්නලා දුන්නනේ. රටේ හාල් හිඟයක් නැහැ ලබන පෙබරවාරි වෙනකන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. අස්වැන්න ලබන පෙබරවාරි වලින් පස්සේ එකක් එන්න පුළුවන්. මොකද මහ කන්නයේ අස්වැන්න අඩුවීම නිසා. මහ කන්නයේ අස්වැන්න නිසා වෙන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. මේ සැපයුම් ජාලයේ වෙන ගැටලුවක් තියෙන්නේ. ඒකට අපි උත්තර දෙන්න ඕනේ. ඒක නැතුව ගොවියට තුවක්කු දෙනවා, රිලව් මරන්න, දඬු ලේන්නු මරන්න, අලි මරන්න, ඉත්තෑවෝ මරන්න කියලා නිකන් මිනිස්සු චූන් කරලා වැඩක් නැහැ. ඇත්ත. මේ සත්තු විසින් විශාල විනාශයක් කරනවා. ලාල්කාන්ත මහත්තයා මතක තියාගන්න ඕනේ. ඔහු කෘෂිකර්ම ඇමති වෙලා ඉන්නේ, රටේ නීතියට අනුව. රටේ වෘක්ෂලතා වනජීවී පනත තියෙනවා. ඒ පනතට අනුව ආරක්ෂිත සතුන් කියලා ජාතියක් ඉන්නවා. ඒ වගේම අනාරක්ෂිත කට්ටියක් ඉන්නවා. එතකොට ඒ පනතට අනුකූලව මේ ඔහුට බැහැ පාර්ලිමේන්තුවේ කතාවක් පවත්වලා අපි මේ අයිතිය දෙනවයි කියලා කියන්න. එහෙනම් අර පනතට අනුව ඔහු කටයුතු කරන්න ඕනේ. මම ඔහුට කියනවා පුළුවන් නම් පාර්ලිමේන්තුවෙන් එළියේ කියන්න ඔය කටයුත්ත කියලා. ඔහු එතකොට නීතිය කඩ කළා වෙනවා. එතකොට ඔහුට වෙනවා ඒ අනුව වනජීවී පනත අනුව නඩු භාරයකට මුහුණ දෙන්න. ඒ නිසා තමයි මේ පාර්ලිමේන්තුව ඇතුළට ගිහිල්ලා මේ වාගාඩම්බර ප්‍රකාශ කරන්නේ. ඉතින් දැන් ඔහු කළ යුත්තේ මොකක්ද? ඇත්තටම දඬු ලේන්නු, එහෙම නැත්නම් ඉත්තෑවෝ, එහෙම නැත්නම් රිලව් වැඩිවෙලා තියෙනවා නම් ඔහු කළ යුත්තේ මොකක්ද? වනජීවී නියම පිරිස ගෙන්නලා, පරිසරවේදිනුත් ගෙන්නලා, ගොවියොත් ගෙන්නලා, මේ ආරක්ෂිතයි කියන සත්තු ඕනෑවට වඩා වැඩිලා තියෙනවද? දැන් ඒගොල්ලෝ ආක්‍රමණශීලී වෙලා තියෙනවද කියලා. යම් දත්ත පද්ධතියක් අරගෙන, ඒ දත්ත පද්ධතියට අනුව ක්‍රියා කරන්න. දැන් උදාහරණයක් හැටියට ඔබට මතක ඇති, මම පරිසර ඇමති කාලේ හුඟක් දෙනෙක් කිව්වා, අලි වඳ වෙන්න යන්නේ කියලා. අපි කළා සමීක්ෂණයක්. සමීක්ෂණයක් කළහම පේනවා අලි වඳ වෙලා නැහැ කියලා. 1993 ඉඳන් 2008 වෙනකොට අලි ජනගහනය දෙගුණ වෙලා කියලා. එතකොට ඔය වගේ කතා ඕන තරම් කියන්න පුළුවන්. විද්‍යාත්මක ක්‍රියාදාමයකට එළඹෙන්න. එහෙම නැතුව මේ අර ඡන්දෙට කලින් කළා වගේ ජනකාන්තවාදී පම්පෝරි ගහන එක කරුණාකරලා නවත්තලා එන්න. නැත්නම් නීතිය කඩ කළා වෙනවා.
– Media unit