පොතුවිල්, මඩකලපුව, අක්කරේපත්තු, මුලතීව්, සමන්තුරේ වී ගොවියාට ‘මිලක් නෑ’ නාගරික ජනතාවට ‘කැකුලු බත් පිඟානක්’ නෑ. වී/හාල් අර්බුදය දවසින් දවස උග්‍ර වෙනවා
Posted on January 28th, 2025
රජිත් කීර්ති තෙන්නකෝන්
ආණ්ඩුව වී/සහල් කර්මාන්තයේ නිරත පාර්ශවකරුවන් සියළු දෙනා එකම මේසයකට පැමිණ නිශ්චිත මාර්ග සිතියමක් සකස් කර වී/සහල් අර්බුදයට විසඳුම් සකස් කර ක්‍රියාත්මක කළ යුතුව ඇතැයි හිටපු ආණ්ඩුකාරවර රජිත් කිර්ති තෙන්නකෝන් මහතා පවසයි.
රටට හාල් ගෙන්වීමේ දී නිෂ්පාදිත රට, වර්ගය, මිලදී ගන්නා මිල, නිෂ්පාදන වර්ෂය නොතකා සහල් මෙ.ටො. 140,000 ක් රට තුලට ගෙන්වා ඇත. නැගෙනහිර පළාතේ වී ඇස්වැන්න නෙළීම ආරම්භවීවත් සමඟ කෙටි කාලීන වී (මහසෙන් සහ අනෙකුත් සුදු සහල් වර්ග) පසුගිය දින 6 පුරා අඛණ්ඩව පහත වැටීම සිදුව ඇත.
නැගෙනහිර පලාතේ පොතුවිල්, අක්කරේපත්තු, කල්මුණේ, මඩකලපුව, ගෝමරන්කඩව, මුලතීව් කලාපයේ පුද්ගලික අංශයේ මහා පරිමාණ මෝල් හෝ වී එකතු කරන මධ්‍යස්ථාන හෝ ගබඩා නැත. නැගෙනහිර ගොවීන් වී ගබඩා කිරීමට මධ්‍යස්ථානයක් හෝ නැත. රජයේ ගබඩාවල වී තැම්පත් කිරීමේ පහසුකම හෝ තවමත් ලබාදී නැත. දෛනික අස්වනු නෙලන ‘තෙත වී’ එදිනම අලෙවිය හැකි වෙනත් විකල්පයක් නැගෙනහිර ගොවීන්ට නැත.
පොලොන්නරුව, අනුරාධපුර, දකුණු පලාතේ මහා පරිමාන වී මොල් ද, මධ්‍ය පරිමාන වී මෝල් ද ඇත. ඒ නිසාම නැගෙනහිර පලාතේ වී අලෙවි කර ගැනීම සඳහා රජය මැදිහත්වීම සහ ප්‍රමුඛත්වය සෑම විටම ලබාදී ඇත. නමුත්, මෙවර නැගෙනහිර වී අස්වනු නෙලන සමය වන විට නැගෙනහිර, මුලතීව් යන දැනට අස්වනු නෙලන කලාපවල ගොවියාට සාධාරණ වී මිලක් ලබාදීම කිසිදු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක නොවේ.
රු. 140 ට පැවති ‘තෙත වී’ අලෙවි මිල ක්‍රමික පහත වැටී අද වන විට රු. 115 – 120 සීමාවට පැමිණ ඇත. මෙය තවදුරටත් පහත වැටීම අනිවාර්යය. 2024 දී රු. 100 ක් වූ වී කිලෝවක නිෂ්පාදන වියදම මේ වන විට 10% කින් පමණ ඉහළ ගොස් ඇත. මෙවර පොහොර සහනාධාරය ද ගොවියාට නිසි වේළාවට ලැබුණේ නැත.
2024 මාර්තු මස ආණ්ඩුව සංවර්ධන මූල දෙපාර්තමේන්තුව හරහා වී මිලදී ගැනීමට රු. බිලියන 9 ක මුදලක් ලබාදුන් නමුත් මෙවර එය රු. බිලියන 5 දක්වා අඩු කර ඇත. මේ වන විට පුද්ගලික වී ගැණුම්කරුවන් විසින් මිලදී ගන්නේ රු. 140 කට ඉහළ මිලකට ය. රු. 130 බැගින් වී මිලදි ගන්නේ නම්, බිලියන 5 කින් මිලදී ගත හැකි වන්නේ වී ටොන් 38,000 කි.
රජය වී මිලදී ගැනීමට යැයි කියමින් දිවයින පුරා ඇති වී අලෙවි මණ්ඩලයේ අතහැර දැමූ ගබඩා පිරිසිදු කර ඇති නමුත් ඒවා කිසිවක විද්‍යාත්මක තත්ව පාලනයක් සහිතව වී ගබඩා කළ නොහැකිය. නාමල් කරුණාරත්න ඇමතිවරයා ප්‍රකාශ කරන අන්දමට වී කිලෝ මෙ.ටො. ලක්ෂ 3 ක් මිල දී ගැනීම අවම වශයෙන් රු. බිලියන 39 – 40 ක් අවශ්‍යය. ලංකාවේ විගණන මතයක් ඉදිරිපත් කිරීමට හෝ නොහැකි මට්ටමේ අකාර්යක්ෂම, විධිමත් විගණන ක්‍රියාවලියක් හෝ නොමැති, ‘වී අලෙවි මණ්ඩලයට’ රු. බිලියන 39ක් නිදහස් කිරීමට රාජ්‍ය නිලධාරීන් එකඟත්වය ලබාදී නැත.
හාල් සහ වී මිල පාලනය සම්බන්ධයෙන් රාජ්‍යය සතු නියාමන බලය පවතින්නේ කැබිනට් මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කරන ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ වෙත ය. වත්මන් රජය බලයට පත්වීමෙන් පසුව ‘ආහාර ප්‍රතිපත්ති කමිටුව’ මේ දක්වා එකම අවස්ථාවකදී වත් රැස්වී නැත. හාල්/වී මිල හා ප්‍රතිපත්ති තීරණ රාජ්‍ය නිලධාරීන් හා දේශපාලනඥයින් කිහිප දෙනෙකු විසින් අවිධිමත් ලෙස ලබාගැනීම නිසා මෙම අර්බුදය වඩාත් සංකීර්ණ හා ගැටළුකාරී තත්වයකට පත්ව ඇත. කැකුළු සහල් සපයා ගත නොහැකිව, නාගරික හෝටල් හා භෝජනශාලාවන් හි කැකුළු බත් අලෙවිය නවතා දමා ඇත. ගොවියා ද, පාරිභෝගිකයා ද, අතරමැද සේවා සපයන්නන් ද රැකෙන ක්‍රමවේදයක් වහා ස්ථාපනය විය යුතුව ඇත.
රජිත් කීර්ති තෙන්නකෝන්