වකුගඩු රෝගය සහ රජරට් ට සැපයෙන ජලය.
Posted on November 11th, 2015

ආචාර්‍ය චන්ද්‍ර ධර්මවර්ධන විසිනි

“පොහොර හා වකුගඩු රෝගය” යන මාතෘකාවෙන් ආචාර්ය නලින් ද සිල්වා මහතා වකුගඩු රොගය පිලිබ්ඳව දක්වා ඇති අදහස් (2015 – 11 – 05 රිවිර, ලංකාවෙබ් : http://www.lankaweb.com/news/ items/2015/11/06/පොහොර-හා-වකුගඩු-රෝගය/) ගැන විද්‍යාඥායන් අතර දැනට පිළි ගැනී ඇති මත ප්‍රකාශ කිරීමට අවස්ථාවක් රිවිර කතු වරයා සහ ලංකාවෙබ් කතුවරයා අපට දෙනු ඇතැයි සලකා මෙම ලිපිය සපයමු.

සාමාන්‍යයෙන් වකුගඩු රෝගය ඇතිවීමට පෙර දියවැඩියාව, රුධිර පීඩනය වැනි රෝග ඇතිවේ. රජරට පවතින වකුගඩු රෝගය සාමාන්‍ය වකුගඩු රෝගයනට වෙනස් ආකාරයකින් ඇති වන හෙයින් ද, එහි හේතූව නිරාකරණය වී නොමැති හෙයින්ද, වෛද්‍ය විද්‍යාඥයෝ එයට ගුප්ත හේතුක චිරාපත් වකුගඩු රෝගය (ගු-හේ-චි වකුගඩු රෝගය, CKDU ) යන නම පාවිච්චි කරති.

ආසෙනික් කල්ලියේ මතය.

නුමුත්, නලින් ද සිල්වා මහතා ඇතුලු කැලණිය සර්සවියේ කිහිප දෙනෙක් නාථ දෙවියන් හෙළි කලා යයි කියමින් වකුගඩු රොගයට හේතුව පිලිබ්ඳව, පරීක්ෂණ වලින් ඔප්පු නොවුනු මතයක් ඉදිරිපත් කලහ. එනම්, නලින් ද සිල්වා මහතාගේ වචන වලින්ම “එකී වකුගඩු රෝගයට හේතුව ආසනික් බවත් එහි දී කැඩ්මියම් උත්තේජයක් ලෙස ක්‍රියාත්මක වන බවත් ප්‍රකාශ කෙරිණි. ඉනුත් පසුව ග්ලයිෆෙසේට් දැලිසයේ කතාව හෙළිදරව් කෙරිණි. … එහි දී අපට ප්‍රියන්තා සේනානායක මහත්මිය නාථ දෙවියන් නමින් හැඳින්වුණු මනුෂ්‍ය නොවන ප්‍රාණියකු සමග කරන ලද සන්නිවේදන ක්‍රියාවලියක් ආධාර විය”.

සිල්වා මහතා කියන්නේ ජලයේ හෝ පසෙහි ඇති ආසෙනික්, කැඩ්මියම් සහ ග්ලයිපොසේට් නැමැති පැලෑටි නාශකය එකතු වී දැලිසයක් (ගඩොලක්) හැදී, එය ආහාරය සමග බඩට ගොස් ශරීරගත වී වකුගඩු රෝගය ඇතිවන බවය. දැනට ආසෙනික් කල්ලියේ ප්‍රදාන නියමුවා වන ජයසුමන මහතා, සනත් ගුණතිලක මහතා සහ පේන කියන සේනානායක මහත්මිය මීට වෙනස් පර්කාශයක් කොට ඇත. ඔව්හු කියන්නේ ආසෙනික්, කැල්සියම්, සහ ග්ලයිපොසේට් එකතු වී දැලිසයක් හැදී බඩට යන බවය. කැඩ්මියම් ගැන ඔවුන් කිසිවක් කියා නැත. එහෙයින් නලින් ද සිල්වා මහතා මෙහි දී අලුත් ප්‍රකාශයක් දක්වා ඇති බව සැලකිය යුතුය. කෙසේ වෙතත්, රසායන විද්‍යාව අනුව කැල්සියම් වේවා, කැඩ්මියම් වේවා, එවැන්නක් ඇතිවිය නොහැක. එපමණක් නොව, එම අන්දමේ ගඩොල්  වර්ග ජලයෙහි දිය නොවන හෙයින් සිරුරු ගත නොවේ.

ජලය, පස සහ ශරීරය පිලිබඳ රසායනික විමසුම්.

නාථ දෙවියෝ කුමක් කීවේ දැයි අපි නොදනිමු. සමහර විට පේන අහන තැනත්තිය වරද්දවා ගත්තා විය හැකිය. ආචාර්ය සිල්වා දන්නේ සේනානායක මහත්මිය තමාට සන්නිවේදනීය වූවා යයි සිතන දෙය ගැන කිවූ ප්‍රකාශය පමණි. සිල්වා මහතාගේ ප්‍රකාශය ජයසුමන, සේනානයක සහ ගුණතිලක ප්‍රකාශයට එකංග නොවන හෙයින් කවුරු හෝ පොට වරදවා ගෙන තිබෙන බ්ව සිතිය හැක.

කැඩ්මියම්, ආසෙනික්, ග්ලයිපොසේට් යනාදී ද්‍රව්‍ය සොයමින් ජලය බාල්දි දහස් ලක්ෂයක් බැලුවත් එක බාල්දියක් වත් පුර්වා ගැනීමට වත් එම අප ද්‍රව්‍ය නොමැති බව රජරට ජලය සහ පස් පරීක්ෂා කල විද්‍යඥයෝ කීහ. ඉතා අල්ප ලෙස තිබෙන අප ද්‍රව්‍ය ශරීරයෙන් සාමාන්‍ය අන්දමින් මුත්‍ර මාර්ගයෙන් පිට කිරීමට වකුගඩු රෝගීන්ට නොහැකිය. එහෙයින් කල් යන විට ආසෙනික්, කැඩ්මියම් වැනි ද්‍රව්‍ය ඔව්න්ගේ හිස කෙස්, නියපොතු, සහ ඉන්ද්‍රියන්හි තැන් පත් වේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (ලෝ.සෞ.ස., WHO) අනුග්‍රහය යටතේ කල පරීක්ෂණ වලින් මෙය ප්‍රත්‍යක්ෂ කෙරින.

රෝගීන් ගේ සිරුරෙහි අප ද්‍රව්‍ය රැස් ව්න බව ආසෙනික් කල්ලිය පිළිගත් නමුත්, ජලය සහ පස පිලිබඳ රසායනික විශ්ලේෂණ කටයුතු බොරු යැයි ආසෙනික් කල්ලිය කියා සිටියේය. ඔවුන් කියන්නේ පසෙහි සහ ජලයෙහි ආසෙනික් ඇති බවත්, එම ආසෙනික් ශරීර ගත වී රෝගය ඇති කරන බවත් ය. මෙම ද්‍රව්‍ය නොමැති නම් ආසෙනික් කල්ලියේ ප්‍රකාශ බිඳ වැටේ. 

නුමුත් ජපානයෙහි ටෝකියෝ සරසවියෙහි සහ ලංකාවේ විද්‍යාඥයෝ එකතු වී කල තවත් පරීක්ෂණ මාලාවකින්ද, පේරාදෙනියේ භූ විද්‍යා අංශය මගීන් කරන ලද පරීක්ෂණ වලින්ද, WHO තීරණය තහවුරු විය. ආසෙනික්, කැඩ්මියම්, ග්ලයිපොසේට් යනාදී අපද්‍රව්‍ය ජලයේ හෝ පසෙහි ඇත්තේ ගු-හේ-චි වකුගඩු රෝගය නැති අනිත් ප්‍රදේශ වලත් සාමාන්‍ය වශයෙන් තිබෙන , ස්වභාවයෙන් ඇතිවන අල්ප ප්‍රමාණයට ම බව මෙම පරීක්ෂණ වලින් ප්‍රත්‍යක්ෂ වී ඇත. කැලණියේ රසායන ආචාර්ය වරුන්ට හෝ දැනට රජරට ට මාරු වී සිටින ජයසුමන මහතාට් හෝ ඔවුන්ගේ පේන මාතාවගෙන් ඇසී යයි කිව් කතාව තහවුරු කරන පරීක්ෂණ ඉදිරි පත් කිරීමට නොහැකි වී ඇත. පරීක්ෂණ වලින් පමණක් නොව, දෙවි වරුන් ගෙන් පවා ලැබෙන කරුණු පෘතග්ජනයන් කී කරුණු හෙයින්, පෘතග්ජනයෝ කියන සැමක් මුසා යයි නිතොර කියන නලින් ද සිල්වා මහතාට මෙයින් කමක් නැතැයි සිතිය හැක!

වකුගඩු රෝගය ගැන තරමක් හෝ තහවුරු වී ඇති කරුණු.

රෝගයන් ඇතිවන්නේ කුමණ හේතූන් නිසා දැයි තීරණය කිරීමේදී විද්‍යාඥයෝ ඉතා ප්‍රවේශමින් කටයුතු කරති. වහා උත්තර දීමට නොහැක්කේ පුද්ගලයන්ගේ ජීවන රටාවට බල පාන විචල්‍ය රාශියක් ඇති හෙයින්ය. හෘදයාබාධ ඇතිවන්නේ කුමණ හේතූන් නිසා දෑයි නිශ්චය වශයෙන් අපි නොදනිමු. කොලෙස්ටෙරොල් වැඩි කරන තෙල් ආහාර ගැනීම, වැඩියෙන් බත්, පිටි ද්‍රව්‍ය කෑම, ව්‍යායාම මදි කම, ආරෙට යාම, චිත්ත පීඩාව, යනාදී නොයෙක් හේතු දිය හැකි මුත්, අහවලාට ආබාධය හැදුනේ කුමක් නිසාදැයි නිශ්චියෙන් කීමට නොහැකි වූවද, අවුරුදු පනහකට ත් අධික කාලයක සිට මේ ගැන පරීක්ෂණ කෙරී ඇත. පොල් තෙල් ඇඟට හොඳ, හෝ නොහොඳ ගැන පවා තීරණයක් නොමැත.

හෘදයාබාධ පිලිබඳ තත්ත්වය එසේ නම්, 1992 දී සිට පමණක් හඳුනාගත් ගු-හේ-චි වකුගඩු රෝගය ගැන නිශ්චය යක් නොමැති වීම් සාධාරණය. එහෙත්, පසු ගිය කාලය තුල දී කරුණු ගණනක්ම පැහැදිලි වී ඇත. එනම්, (1) ජලයේ සහ පසෙහි ආසෙනික්, කැඩ්මියම්, ග්ලය්පොසේටෙ ආදිය නොමැති බව තහවුරු වී ඇත. එහෙයින් රෝග හෙතුව ඉන් එහා සෙවිය යුතු බව පෙනේ. (2) අනුරාධපුරය නගරයෙහි වසන, නාගරික ජලයට තිබිය යුතු පවිත්‍රතා නියාම මට්ටම් (ප-නි-ම, purity standards ) වලට අනුකූල ජලය බොන අයට ද, කැබිතිගොල්ලෑව වනි අසාධ්‍ය ගම් වල ඉන්නා, එහෙත් ගල් උල්පත් වලින් ජලය පානය කරන අයට ද , රෝගය නොහැදෙන බව පැහැදිලි වී ඇත. (3) එහෙයින්, රෝගය වලකා ගැනීමට මුල් පියවරක් ලෙස ලංකාවේ පිලිගත් ප-නි-ම වලට අනුකූලව පවිත්‍ර කරන ලද ජලය සපයා දීම ඉක්මනින් ඉටු කල යුතුය. (4) එපමණක් නොව, ගැමියන් ගේ රෝග වැලකීමේ ශක්තිය දියුණු කිරීමට ඔවුන් අතර ඇති මංද පෝෂ්ණය මැකීමට තැත කල යුතු ය.

මහවැලි ගංග සහ වාරි මාර්ග වල ඇති ජලය ද, වැව වල ඇති ජලය ද පිලිගත් ප-නි-ම වලට අනුකූල බවද ලංගදී කරන ලද පරීක්ෂණ වලින් ප්‍රත්‍යක්ෂ වී ඇත. එහෙයින් එම ජලය සරල පෙරන උපකරණ වලින් පෙරා, බ්ලීචිං කුඩු ස්වල්පයක් පාවිච්චි කර ක්ලෝරීනීකරණය කොට පරභෝගිකයාට ඉතා අඩු මුදලකට ලබා දිය හැකිය. අධික මිලැති ප්‍රතිගාමක ඔස්මීකරන යන්ත්‍ර (reverse osmosis plants) අවශ්‍ය නැත.

වාරි මාර්ග සහ වැව වල ජලය යහපත් වූවද, බොහෝ ගැමියන් ජලය ගන්නේ ඔවුන්ගේ ගෘහ අවට තිබෙන කුඩා ලිං වලින් ය. වැසි නැති කාලයේ කකෑරමින් තිබෙන මෙම ජලය ට වැසි ඇති කාලයේ දී උඩහ, අසල හා අනෙක් පර්දේශ සිට ගලා එන ඵොස්ඵේට්, ෆ්ලොරයිඩ්, ඇමෝනියම් යනාදී ලවන (අයන ) කාන්දු වී ලිං වතුරේ එකතු වේ. එහයින් මෙම ලිං ජලයට අධික ලවන තාවක් ඇති වේ. එවකට ලංකාවේ කෘශිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යකෂ ජෙනෙරාල් පදවිය ඉසුලූ දෙදෙනෙක් ආචාර්ය අමරසිරි, ආචාර්ය පානබොක්කේ, සීනි පර්යේෂණ ආයතනයෙහි මුල් අධ්‍යක්ෂක වරයෙක් වූ ආචාර්ය නන්ද ධර්මවර්ධන මහතා සහ මා විසින් ඉදිරි පත් කල මතයක් නම්, මෙම ලවනතාවය නිරන්තරයෙන් වකුගඩුවට ඇතුල් වීම නිස වකුගඩුවේ පටලයන්ට හානි කරන බවය. ලිං ජලයේ විද්‍යුත් සංනයනය මැනීමේ පරීක්ෂණ වලින් එහි ලවන තාව අධික බව බොහෝ දුරට ඔප්පු වී ඇත. තවද, පේරාදෙනියේ රසානය මහාචාර්‍ය වරයෙක් වූ ඔලිවර් ඉලේපෙරුම මහතා ද ෆ්ලෝරයිඩ් ලවනය ගු – හේ- ච වකුගඩු රෝගයට මූලක විය හැකි බවට සාධක දක්වා ඇත.

එහෙයින් මෙම කුඩා ගෘහාශ්‍රිත ලිං වලින් ජලය පානය කරන අය ගැන විශේෂයෙන් සලකා සුදුසු අන්දමකින් පිරිසුදු ජලය වහාම සැපයිය යුතු ය.

එහෙත් කරන්නට ඇරඹෙන්නේ පාචනයට කොට්ටෙ මාරු කිරීමය.

රට පොහොර පිරිසුදු වූවත් නොවුවත් සම්පූර්ණයෙන් තහනම් කිරීම, ග්ලයිඵොසේට් වැනි ඉතා අවම විපාක ඇති සුරක්ෂිත පලිබෝධ නාශක වහාම තහනම් කිරීම වැනි අදුර්දර්ශී පියවරවල් ගැනීමට බලකරන්නෝ ඉදිරියට පැමිණ ඇත. ග්ල්ය්ඵොසේට් තහනම් කොට ඇත. ගොවි තැනට ගෙරි කටු, කොල, දිරවා ලබා ගත් කොම්පෝස්ට් පොහොර සහ වැඩි මාස ගණනක් ගනිමින් අඩු අස්වැන්න දෙන, වතුර සහ ඉඩ හුඟක් අවශ්‍ය පැරණි බීජ ඇට වර්ග භාවිතාව පමණක් වහාම යොදා ගැනීමට ඔවුන් ඇරඹෙයි.

අවශ්‍ය තරමින් කොම්පෝස්ට් පොහොර කවදා වත් සෑදිය නොහැකි බව අමතක කරයි. කොම්පෝස්ට් පොහොර හැදීමේදී පරිසරය උණුසුම් කරණ හරිතාගාර වායු (green-house gases) රැසක් පිට වෙන බව ඔව්න් අමතක කරයි.

පලමු ශ්‍රේණියේ පිලිකා හේතුකයන් අමතර කරයි.

කරුනු එසේ නුමුත්, ජලයේ හෝ පසෙහි දැකිය හැකි ග්ල්යිඵොසේට ප්‍රමාණයක් නොමැති වූ මුත්, නොබෝදා ලෝ.සෞ.ස. (WHO) ග්ල්යිඵොසේට (වකුගඩු රෝග හේතුක නොවන වූවද ) අනුමාන වශයෙන් පිලිකා හේතුක ද්‍රව්‍යයන් පංති කිරීමේ දෙවෙනි ශ්‍රේණියට නම් කල වහාම සිල්වා මහතා ඇතුලු අය ග්ල්යිඵොසේට තහනමක් ඉල්ලුවේ ලෝ.සෞ.ස. පංති කිරීමේ මූල දර්ම නෝතේරුනු හෙයින් නොව, ඔවුන් එල්බ සිටින යතාර්ථ නොවන, සිතින් මවාගත් දඩ්ඩභ වාදී මත නිසාය. දෙවෙනි ශ්‍රේණියට දමන දේවල් (සබන්, කොහොඹ වල සහ කරාබු නැටි වල තිබෙන සමහර රසායනික ද්‍රව්‍ය ) වලින් පිලිකා ඇති කරගැනීමට දින පතා එයින් කෝප්පයක් පමන බොන්නට වෙතැයි සැලකේ. එහෙත් එම ද්‍රව්‍ය රජරට පරිසරයේ ඇත්තේ (බිලියනයක් වසනා ) මුලු මහත් ඉන්දියාවේ හතර දෙනෙක් හිටියා වැනි ඌන සාන්ද්‍රණයක් ඇතිවය. දඩ්ඩභ ජාතකයේ සඳහන් වන හාවා කුඩා අබ ඇටයක් වැටුනු විට ලොවේ අන්තිමය එන්නේ යයි කියමින් දුවන්නට පටන් ගත්තේය. දඩ්ඩභ වාදීන් ද පෙනෙන්නට වත් නැති ග්ලය්පොසටෙ ප්‍රමාණයකින් සහ ආසෙනික් වලින් වකුගඩු රෝගය හැදේ යැයි කියමින් උද්ඝෝෂන කරයි.

එහෙත් නොබෝදා ලෝ.සෞ.ස (WHO) රතු මස්, සොසේජ්, බේකන් වැනි ප්‍රචලිත ආහාර පලමු ශ්‍රේණියේ පිළිකා හේතුකාරකයක් ලෙස නම් කලේ ය. ග්ලයිඵොසේට් වැනි දෙවෙනි ශ්‍රේණියේ ද්‍රව්‍ය මෙන් අනුමාන වශයෙන් නොව, පලමු ශ්‍රේණියේ ද්‍රව්‍ය ඒකාන්තයෙන් ම, බලවත් ලෙස ම පිළිකා හේතුකය.

නුමුත් ආචාර්‍ය සිල්වා ආදී දඩ්ඩභ වාදීන් පරිසරයේ පෙනෙන්නට වත් නැති  ග්ලයිඵොසේටෙ තහනම් කෙරීමට තදින් කඹ ඇද්ද නුමුත්, රතු මස්, සොසේජ්, බේකන් වැනි ප්‍රචලිත ආහාර තහනම් කිරීමට ඉදිරි පත් වී නොමැත!

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress