ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 91 කොටස-යුක්තිය වෙනුවෙන් සටන්කර දංගෙඩියට ගිය නීතිඥයෝ
Posted on March 27th, 2016

ධර්මන් වික්‍රමරත්න

 මෙතෙක් කථාව : ලාංකීය දේශපාලන ඉතිහාසයේ සම්ප්‍රදායික ගමන්මග වෙනස්කල සන්ධිස්ථානයක් ලෙස අසූව දශකය අවසානයේදී ඇතිවූ ජවිපෙ 2වැනි කැරැල්ල හැදින්විය හැකිය. එය 1986දී ඇරඹුණු අතර 1990 සැප්තැම්බර් මස නිමාවට පත්විය.  එම කාලය තුළ ඝාතනයට ලක්වූ සහ අතුරුදහන් වූ සංඛ්‍යාව 41,813 වේ. නිල නොවන වාර්තා කියන්නේ එය 60,000කට ආසන්න බවය. ජවිපෙ දෙවන කැරළි සමයට පාදකවූ මෙම ලිපි මාලාව ඉදිරිපත් කරන ධර්මන් වික්‍රමරත්න එම බොහෝ සිද්ධීන් සියසින් දුටු  අදාළ කථා නායකයින් සමීපව ඇසුරුකල සහ වාර්තාකල කර්තෘ මාණ්ඩලික පුවත්පත් කලාවේදියෙකි. මෙම ලිපි මාලාව ඉදිරිපත් කරනුයේ ඉතිහාසය කිසිවෙකුට වැලලිය නොහැකි බවට පසක් කරමින් පමණක් නොව දත්ත සහ  ඓතිහාසික කරුණු රැසකින්ද එය පොහොසත් බැවිනි. එමෙන්ම වර්තමානයේ වයස 40 අඩු සියළු පුරවැසියන්ට කිසිදා නොදුටු එහෙත් අසන්නට ලැබුණු අසම්පුර්ණ ඒ අතීත සිදුවීම් මාලාව පිළිබදව පැහැදිලි චිත්‍රයක් මවාගැනීම සඳහාය.

යුක්තිය වෙනුවෙන් සටන්කර දංගෙඩියට ගිය නීතිඥයෝ

ජවිපෙ 2වැනි කැරැල්ල තීරණාත්මක හා සංවිධානාත්මක ලෙස පරාජය කිරීමට ජවිපෙ මගින් සිදුකරන ඝාතනවලට එරෙහිව එජාප ආණ්ඩුවද දරදඩු මර්දන පියවරක් අනුගමනය කළේය. ඒ වෙනුවෙන් ජවිපෙයැයි හඳුනාගත් ක්‍රියාකාරිකයින්, හිතවතුන් සහ සහාය දක්වන්නන් බිය වැද්දීම්, බෝම්බ  ගැසීම්, පැහැරගෙන යෑම්, ඝාතනය කිරීම් ඇරඹිණි. මේවා සිදුකරන ලද්දේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම්වූ ප්‍රා, උකුස්සෝ, ස්‍රා,  රාජාලියෝ, කහ බළල්ලු, කළු බළල්ලු සහ කොල කොටි වැනි සංවිධාන මගිනි. මෙමගින් ජවිපෙට එරෙහි අරගලය ශක්තිමත්වීම සහ එජාපයට එරෙහි ජවිපෙ ප්‍රහාරයන් ශ්‍රිලනිප, වාමාංශිකයින් සහ ජවිපෙ අතර කෙරෙන යුද්ධයක් බවටද පත්විය.

මෙම ඝාතන, අතුරුදහන්වීම් සහ පැහැරගෙන යෑම් පිළිබදව අධිකරණයට හබයාස් කෝපුස් නඩු ගොනු කිරීමටද ඒ පිළිබඳ පුළුල් දැනුවත් කිරීමක් ජාත්‍යන්තරව සිදු කිරීමට කටයුතු කරන ලදී. ඒ සඳහා කොළඹ, ගාල්ල, නුවර, මාතර, හම්බන්තොට ඇතුළු දිස්ත්‍රික්ක 16ක දිස්ත්‍රික් මානව හිමිකම් සුරැකීමේ කමිටු පිහිටුවන ලදී. පුරවැසි කමිටු සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයින් නිතිඥයින් හරහා හබයාස් කෝපුස් නඩු  විශාල ප්‍රමාණයක් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. වසර 1990 මාර්තු වනවිට දක්වා උතුරු නැගෙනහිර හැර රටේ සෙසු පළාත්වල පැහැර ගැනීම් වලට එරෙහිව ඉදිරිපත් වූ හබයා කෝපූස් නඩු සංඛ්‍යාව 2,000කට ආසන්නය. නිදසුනක් ලෙස 1989 ප්‍රථම මාස 8තුළ පමණක් ඉදිරිපත්වූ හබයාස් කෝපූස් නඩු සංඛ්‍යාව 431කි. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සභාපතිවරයා හබරාදූව හිටපු මන්ත්‍රී අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකර වූ අතර සමලේකම්වරුන් වූයේ නීතිඥ චරිත ලංකාපුර සහ නීතිඥ කාංචන අබේපාලය. කැලණි සරසවියේ ආචාර්ය හේමා ගුණතිලක එහි භාණ්ඩාගාරික වූ අතර ලියුම්කරු එහි සංවිධායක විය. සතියකට කිහිපවරක් කොළඹ 07 ප්‍රින්ස් ගුණසේකර නිවසේ රැස්වී අදාළ වැඩසටහන් සැලසුම් කළහ.

dharman27031602උපරිමාධිකරණ සංකීර්ණය

ජවිපෙ 2වැනි කැරළි සමය වන  1986 සිට 1990 දක්වා මානව හිමිකම් වෙනුවෙන් කටයුතු කල නීතිඥවරුන් 15 දෙනෙකු ඝාතනයට පත්විය. අධිකරණයට ඉදිරිපත්කල හබයාස් කෝපුස් නඩුවලින් සියයට 75ක් පමණ ඉදිරිපත්කර තිබුණේ ඝාතනයට පත්වූ එම නීතිඥයින්ය. ඇතැම් නීතිඥවරුන්ගේ ඝාතන සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල සහ සහකාර පොලිස් අධිකාරි ඩග්ලස් පීරිස්ට බරපතල චෝදනා එල්ල විය. මින් නීතිඥවරුන් 9 දෙනෙකු ආණ්ඩුවේ ආරක්ෂක අංශ සහ එමගින් මෙහෙයවූ අර්ධ මිල්ටරි කණ්ඩායම් මගින් ඝාතනය කල අතර නීතිඥවරුන් 6 දෙනෙකු ඝාතනය කරන ලද්දේ ජනතා විමුක්ති පෙරමුණේ(ජවිපෙ) කැරළිකරුවන් විසිනි. මෙසේ ඝාතනයට පත්වූ නීතිඥවරුන් වූයේ විජේදාස ලියනාරච්චි, චරිත ලංකාපුර, කාංචන අබේපාල, සනත් කරලියද්ද, නෙවිල් නිශ්ශංක, වර්ණපාල රණතුංග, ඒ. ඩබ්ලිව් වෙත්තසිංහ, සී.ඩබ්ලිව්.ජේ.කේ වීරමන්, ඒ.ඩබ්ලිව් වික්‍රමසිංහ, ටියුඩර් කීර්තිනන්ද, අමර වෙල්ලප්පිලි, සරත් සේපාල රත්නායක, ඩී.එම්.යූ බණ්ඩාර, ලෙස්ලි යටන්වල සහ ගාමිණී මැදගෙදරය. එම කාලයේදී දකුණේදී මරාදැමූ මෙම නීතිඥවරුන් 15 දෙනාට අමතරව උතුරේද දෙමළ බෙදුම්වාදී කොටි සංවිධානය විසින් නීතිඥවරුන්වූ ඒ. අමිර්තලිංගම්, කන්දසාමි, පද්මනාදන්, ටී.සී විමුදාස් සහ ටී. යෝගේෂ්වරන් යන 5 දෙනාද ඝාතනයට ලක්කර තිබිණි.

dharman27031603ජවිපෙ 2වැනි කැරළි සමයේදී ඝාතනයට ලක්වූ නීතිඥවරුන් 15 දෙනාගෙන් කිහිපදෙනෙක්. ඉහළ වමේ සිට ආණ්ඩුවේ ආරක්ෂක හමුදා සහ අර්ධ මිල්ටරි කණ්ඩායම් විසින් ඝාතනය කරන ලද වීරකැටියේ විජේදාස ලියනාරච්චි, ඇල්පිටියේ චරිත ලංකාපුර, නාරාහේන්පිට කාංචන අබේපාල, නුවර සනත් කරලියද්ද, ජවිපෙ මගින් ඝාතනය කල නාවල ටියුඩර් කීර්තිනන්ද(පවුලේ අය පවසනුයේ එය නොවිසදුණු ඝාතනයක් බවය), වලස්මුල්ලේ අමර වෙල්ලප්පිලි, රුවන්වැල්ලේ ලෙස්ලි යටන්වල, වීරකැටියේ දේශප්‍රිය බණ්ඩාර, පොළොන්නරුවේ ගාමිණී මැදගෙදර.

මේ එසේ දකුණේදී ජවිපෙ 2වැනි කැරළි සමයේ ඝාතනය ලක්වු නීතිඥවරුන් 15 දෙනා පිළිබඳව සංෂිප්ත සටහනකි. විජේදාස ලියනාරච්චි උපන්නේ 1951 ජනවාරි 14වැනිදා වීරකැටිය බුද්ධියගමය. කෘෂි ව්‍යාප්ති නිළධාරියෙකු වූ ඔහුගේ පියා ලියනාරච්චිගේ දොන් ජුවානිස් අප්පුහාමිය. මව විදානගමගේ දොන් සිසිලියානාය. 14 දෙනෙකුගෙන් යුත් පවුලේ 7වැනියා වූ විජේදාස වීරකැටිය මහා විද්‍යාලයෙන් පාසැල් අධ්‍යාපනය ලැබීය. අපොස සාමාන්‍ය පෙළ විභාගය සමත්වූ හෙතෙම 1969දී ගාල්ල රිච්මන්ඩ් විදුහලට ඇතුල්වූයේ උසස්පෙළ හැදෑරීමටය. විජේදාස ජවිපෙ දේශපාලනයට යොමු වූයේ රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගන්නා කාලයේදී ගාල්ල පොලිස් කොට්ඨාශයේ ජවිපෙ ලේකම් කේ. එම්. කමලබන්දුගේ 71 කැරැල්ලේ පන්තිවලට සහභාගි වෙමිනි. පක්ෂය වෙනුවෙන් ඔහුට කොක්ක ගැසුවේ කමලබන්දුගේ සමීපතම සඟයෙකු වූ ගුණපාල ගුරුගේය. එයට රිච්මන්ඩ් විදුහලේ සිසුන් 5 දෙනෙකුම එක්ව සිටියහ.

ජවිපෙ ඉහල නායකයෙකු වූ ඔහු කලක් ගුරුවරයෙකු සහ මහවැලි ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරු අංශයේ රැකියාවකද නිරතවූ අතර 1987දී නීතිඥයෙකු ලෙස දිවුරුම් දුන්නේය.ජවිපෙ වේදිකාවේ ජනප්‍රිය කථිකයෙකුවූ අතර 1981 දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණයට හම්බන්තොට දිස්ත්‍රික්ක‍යට ජවිපෙ ඉදිරිපත් කල ස්වාධීන කණ්ඩායමෙන් තරඟ කළේය. නිතිඥ විජේදාස උසාවි කටයුතු අවසන් වීමෙන් පසු නුගේගොඩ ගංගොඩවිලදී තංගල්ලෙන් පැමිණි පොලිස් පැහැරගනු ලැබුවේ 1988 අගෝස්තු 25වැනිදා පස්වරු 4ට පමණය. ඊට පසුදා එනම් අගෝස්තු 26වැනි සිකුරාදා පෝය නිවාඩුවක් යෙදී තිබූ බැවින් අගෝස්තු 25වැනිදා රාත්‍රී ගමේ නිවස බලා‍යෑම ඔහුගේ අරමුණ විය. පැහැරගනු ලැබුවේ තංගල්ල පොලිස් අධිකාරි ධර්මදාසගේ උපදෙස් අනුව සිවිල් ඇදුමින් සැරසී සිටි පිරිසකි. විජේදාස එතනින් මාතරටද පසුව තංගල්ල පොලීසියටද ගෙන ගියේය. විජේදාස පැහැරගෙන දාගත් රථයේම කොළඹ රාජකීය විදුහලේ සිසුවෙකුවූ සුසන්තද සිටි අතර ඔහු පානදුර ප්‍රදේශයේදී  අත්හරින ලදී. එම සිසුවා විසින් විජේදාසගේ පැහැරගැනීම දැනුම් නොදෙන්නට මෙම සිද්ධිය සදාකාලික අභිරහසක් වන්නට තිබිණි.

dharman27031604ජවිපෙ මගින් 1988 දෙසැම්බර් 9දා ඝාතනය කරන ලද මාතර ඌරුගමුවේ මුරුතගස්පිටියේ ස්කාගාර සංස්ථාවේ සේවය කල ති‍දරු පියෙකුවූ සුගත් සමරසේකර(45) දෙවිනුවර වලස්ගල හීන්දෑලිය වැව අසළ ගසක ගැටගසා තිබූ අන්දම(වමේ), ආරක්ෂක හමුදා මගින් ඝාතනය කරන ලද කොළොන්න කුට්ටිගල ටයර් සෑයක බාගෙට පිළිස්සුණු ජවිපෙ කැරළිකරුවෙකුගේ මළසිරුරක්(දකුණේ) රටේ එකල පැවති ධවල භීෂණ තත්ත්වය මෙය විය.

නිතිඥ සංගමය ගෙන ගිය දැවැන්ත උද්ඝෝෂණය හේතුකොට ගෙන නිතිඥ විජේදාස තංගල්ලේ සිට කොළඹට ගෙන ඒමට පොලිසියට සිදුවිය. ඔහු කොළඹට 1988 සැප්තැම්බර් 01වැනිදා පෙරවරු 11.30ට ගෙනවිත් රඳවාගෙන සිටියේ සපුගස්කන්ද පොලිසියේය.  පසුව 1988 සැප්තැම්බර් 02වැනිදා රාත්‍රී 11.30ට කොළඹ මහ රෝහලේ 54වන වාට්ටුවට ඇතුලත් කරන ලදී. සැප්තැම්බර් 3වැනිදා අළුයම 12.55ට හෙතෙම මිය ගොස් තිබිණි. නිතිඥ විජේදාස ලියනාරච්චිගේ ඉළ ඇට 19ක් කැඩී ඇති බවත් සිරුරේ අභ්‍යන්තර තුවාල සියයකට අධික ගණනක් තිබූ බවට මරණ පරික්ෂණයේදී හෙළිවිය.

නීතිඥ චරිත ලංකාපුර ඇල්පිටිය ආනන්ද විදුහලෙන් ප්‍රථමික අධ්‍යාපනය ලැබූ අතර  කොළඹ නීති පීඨයෙන් වැඩිදුර අධ්‍යාපනය ලැබීය.කොළඹ සරසවියේ නීති පීඨයේ ප්‍රථම පැවිදි ශිෂ්‍යයා වශයෙන් ලංකා හිමි නමින් ඇතුළත්ව දෙවන වසරේදී උපැවිදිවූ චරිත ලංකාපුර අසූව දශකය මුල්භාගයේදී කොළඹ සරසවියේ ප්‍රබල ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු විය. කොළඹ සරසවියේ වානිජ පීඨයට තේරී ආ ප්‍රථම පැවිදි ශිෂ්‍යයා වූයේ ගිලිමලේ සුමන හිමිය. චරිත ලංකාපුර ප්‍රා සංවිධානය මගින් ඝාතනය කරන ලද්දේ කොම්පඤ්ඤවීදියේ ග්ලැඩිවින් ලේන්හි නවාතැනේදී 1989 ජුලි 07වැනිදා පස්වරු 2.00ටය. මියයන විට ඔහුගේ බිරිඳ චිත්‍රා ගැබිනි මවක්වූ අතර වසර 2016 වනවිට  එම දියණිය වන හංසිකා තිලිණි ලක්මාලි කැළණි සරසවියේ විද්‍යා උපාධිධාරිණියක්ද විය.  නීතිඥ ලංකාපුර ඝාතනයෙන් පසු 1989 ජුලි 08වැනිදා අවසන් ගෞරවය සඳහා කොළඹ වෛද්‍ය විද්‍යාලයට ගෙනවිත් තබන ලදී. කොළඹ දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ අරමුණ වූයේ වෙද සිසු ත්‍රීමා විතාන ඝාතනය මෙන් සංවිධානාත්මක සහ දැවැන්තව එම ආදාහන කටයුතු සිදුකිරීමය. ලියුම්කරු එදින දවස පුරාම වෛද්‍ය විද්‍යාලයේ ගතකල අතර වෛද්‍ය විද්‍යාලයම දිස්වූයේ සටන් කඳවුරක් ලෙසිනි. දෙපසම ගේට්ටු බංකු සහ යකඩ වැටවල් යොදා අවහිර කර තිබූ අතර ආදානයට ගෞරව දැක්වීම සඳහා එක් පෝලිමක් පමණක් පෙලගස්වා තිබිණි. එය සැතපුමක් පමණ දිගය.

dharman27031605විජේදාස ලියනාරච්චි 1987 නීතිඥයෙකු ලෙස ප්‍රථම නඩුවට පෙනී සිටීමෙන් පසු ඡායාරූපයකට මුහුණ දුන් අවස්ථාව. වීරකැටිය බුද්ධියාගමදී ලියනආරච්චි මිහිදන් කල ස්ථානය වර්තමානයේ දිස්වන අයුරු සහ ලියනාරච්චි ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ඉගෙන ගන්නා 1970දී ඔහුට ජවිපෙ ‘කොක්ක’ ගසා පන්ති පැවැත්වූ බද්දේගම උපන් වර්තමානයේ පොළොන්නරුවේ ජීවත්වන ගුණපාල ගුරුගේ(වමේ සිට).

එදින පැමිණෙන හිතවතුන්ට දිවා ආහාරය  ලොකු කල්දේරම්වල පිසුවේ වෛද්‍ය සිසුවියන් විසිනි. ලියුම්කරුත්, නීතිඥ කාංචන අබේපාලත් ආපන ශාලාවේදී අන් අය සමඟ දිවා ආහාරය ලබා ගන්නා ලදී. වෙද සිසු සරත් කොල්ලුරේ ශබ්ද විකාශන යන්ත්‍රයකින් පිරිස මෙහෙයවමින් සිටියේය. අන්තරේ හිටපු කැඳවුම්කරු සහ ජාතික ශිෂ්‍ය මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වෙද සිසු වෙනුර එදිරිසිංහ සංවිධාන සැලසුම් සකස් කළේය. හරියටම එදින එනම් 1989 ජුලි 08වැනිදා පස්වරු 2.10ට ආරක්ෂක හමුදා තාප්පයෙන් පැන වෛද්‍ය විද්‍යාලයට කඩා වැදී විනාඩි කිහිපයක ක්ෂණික මෙහෙයුමකින් නීතිඥ ලංකාපුරගේ දේහය රැගෙනවිත් පාරේ තිබූ අවමංගල්‍ය රථයකට ඇතුල් කළේය. එහි සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන දිනේෂ් ගුණවර්ධන සහ ජනක් අධිකාරිද නීතිඥ කාංචන අබේපාලද ඒ පිළිබදව විමසීමේදී පවුලේ ඥාතීන්ගේ ඉල්ලීම අනුව ඔවුන්ට දේහය භාරදීමට කටයුතු කල බව ඔවුහු පැවසූහ. නීතිඥ ලංකාපුරගේ බිරිඳ සහ සොහොයුරෙකුද ඔවුහු හඳුන්වා දුන්හ. අනතුරුව දේහය හෙලිකොප්ටරයක් මගින් ඇල්පිටියට ගෙනයන ලදී.

dharman27031606ආණ්ඩුවේ අර්ධ මිල්ටරි කණ්ඩායම් විසින් 1989 ජුලි 7දා ඝාතනය කරන ලද නීතිඥ චරිත ලංකාපුර, ඔහු ඝාතනය වනවිට ගැබිණි මවක්වූ බිරිඳ චිත්‍රා බිහිකල කුළුදුල් දරුවාවන වර්තමානයේ කැලණි සරසවි උපාධිධාරිණියක්වූ හංසිකා තිලිණි ලක්මාලි සහ ඇය විසින් කුඩාකල සිතුවමකට නඟාතිබු කිසිදා ජීවමානව නොදුටු සිය පියාගේ රූප සටහනක්(වමේ සිට).

ආනන්ද විද්‍යාලයේ අධ්‍යාපනය ලත් නීතිඥ කාංචන අබේපාල උපන්නේ 1961 ඔක්කෝබර් 18වැනිදාය. ඔහුගේ පියා ගුරුවරයෙකු මෙන්ම ලංගම සහ කොළඹ නගර සභාවේ සේවය කල නිලධාරියෙකුවු ජී.ඩී. අබේපාල වන අතර මව නීතිඥ ප්‍රින්ස් ගුණසේකරගේ නැඟණියවූ මාග්‍රට් ගුණසේකර ගුරුවරිය වේ. කාංචනගේ සහෝදරියන්වු ශවන්ති සහ කලානිද වර්තමානයේ නීතිඥවරියන්ය. සිය පියා සභාපතීත්වය දැරූ ජාතික පරිසර සංගමයේ ක්‍රියාකාරි නියමුවෙකු වූ කාංචන සමඟ ලියුම්කරුද වරෙක කෙන්යාවේ පැවති පරිසර සමුළුවකට ශ්‍රී ලංකාව නියෝජනය කළේය. සර්වෝදය නීති ආධාර සේවයේ ක්‍රියාකාරිකයෙකු වූ නිතිඥ කාංචන ආරක්ෂක අංශවල අර්ධ මිල්ටරි කණ්ඩායමක්වූ ප්‍රා සංවිධානය මගින් ඝාතනය කළේ 1989 අගෝස්තු 28දා පස්වරු 6.45ට නාරහේන්පිට ඇන්ඩසන් තට්ටු නිවාසයේදීය. නීතිඥ කාංචන පෞද්ගලිකවම අධිකරණයට ඉදිරිපත්කල 189වැනි හබයා කෝපුස් පෙත්සම වූයේ බටලන්දේදී අතුරුදහන්වූ දෙල්ගොඩ කඳුබොඩ පදිංචි ලියනගේ සුමනදාස පෙරේරාගේ පුත්‍රයාවු උදයචන්ද්‍රගේ පැහැරගැනීමය. කාංචනගේ අවසන් කටයුතු පානදුර අළුබෝමුල්ලේ සිදුකිරීමට නියමිතව තිබුණද ඒ සඳහා අවසර නොලැබීමෙන් දේහය බොරැල්ලේ ජයරත්න මල්ශාලාවේ තැන්පත්කර 1989 අගෝස්තු 31වැනිදා අවසන් කටයුතු කොළඹ කනත්තේදී සිදුකරන ලදී. ඔහු වෙනුවෙන් සැමරුම් උත්සව කිහිපයක්ම සර්වෝදය මගින් පසුකලෙක පවත්වන ලදී. කාංචනගේ පවුලේ ඥාතීන් විසින් කාංචන අබේපාල අනුස්මරණ පුස්තකාල කිහිපයක්ද විවිධ පළාත්වල ආරම්භ කරන ලදී.

නීතිඥ සනත් බණ්ඩාර කරලියද්ද නුවර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සංවිධායකවූ අතර තෙල්දෙණිය මහ විද්‍යාලයේ ශිෂ්‍යයින්ගේ සිසු ඝාතන ඇතුළු ඝාතන සම්බන්ධයෙන් පොලිසියට එරෙහිව තෙල්දෙණිය මහේස්ත්‍රාත් නීල් පෙරේරා ඉදිරියේ අධිකරණයට පැවරූ නඩුවලදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේය. ඔහු 1989 ඔක්තෝබර් 26 පස්වරුවේ ආරක්ෂක අංශ මගින් පැහැරගත් අතර පසුවදා උදෑසන ඝාතනය කරන ලද ඔහුගේ සිරුර ප්‍රධාන මාර්ගයේ දමා තිබිණි. ඔහු සතුව තිබු රුපියල් 19,000ක මුදලක් සහ පැලඳ සිටි රන් ආභරණද පැහැර ගන්නා ලදී. රතු මකරු නම් ඝාතක කණ්ඩායම ඔහුගේ අවමංගල දිනයේදී එහි වගකීම භාරගනිමින් නුවර ප්‍රදේශයේ පෝස්ටර් අලවා තිබිණි. නුවර දිස්ත්‍රික්කයේ මානව හිමිකම් කඩවීම් රැසක් පිළිබඳව ඔහු අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය. නීතිඥ කරලියද්දගේ ලිපිකරු වූ සේන රන්කොත්ගේද තවත් නීතිඥවරයෙකුගේ ලිපිකරුවූ එඩ්වඩ් කුලතුංගද පැහැරගෙන ගිය අතර ඔවුන්ද ඝාතනයකර තිබිණි. ගම්පහ නීතිඥ නෙවිල් සී. නිශ්ශංක ආරක්ෂක අංශවල අර්ධ මිල්ටරි කණ්ඩායමක්වූ ප්‍රා සංවිධානය මගින් 1989 ඔක්තෝබර් 03වැනිදා පැහැරගෙන ගිය අතර දිනකට පසු ඝාතනය කරන ලද ඔහුගේ සිරුර නිවස ඉදිරිපිට දමාගොස් තිබිණි.

dharman270316071988 ඔක්තෝබර් 24දා ඝාතනයට ලක්වූ නීතිඥ ටියුඩර් කීර්තිනන්ද සිය පවුලේ සාමාජිකයින්වූ කනිටු දියණිය ප්‍රශාන්ති, ටියුඩර් කීර්තිනන්ද, බිරිඳ කාමල්, වැඩිමහල් දියණිය ඉනෝකා සහ වර්තමානයේ නීතිඥයෙකුවන පුතු පණ්ඩුක සමඟින්(ඉහළ වමේ සිට), ජනපති ජේ.ආර්. ජයවර්ධන සිය සමීපතමයෙකුවූ ටියුඩර්ගේ නිවසට පැමිණ ඔහු හමුවූ අවස්ථාවක්. පසෙකින් සිටින කුඩා දැරිය ඉනෝකාය.(පහළ වමේ), ටියුඩර්ගේ දියණියක්වු ජාත්‍යන්තර සම්මානලාභි චිත්‍රපටි අධ්‍යක්ෂිකා ඉනෝකා සත්‍යාංගනී(පහළ දකුණේ උඩ), 1989 දෙසැම්බර් 11දා ආරක්ෂක අංශ මගින් පැහැරගෙන යෑමෙන් පසු ඝාතනයට ලක්වු ඉනෝකාගේ පෙම්වතාව සිටි කොළඹ වෛද්‍ය පීඨයේ සිසු නායකයෙකුවූ ගාල්ලේ රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍ය වසන්ත කුමාර කුලතුංග(පහළ දකුණේ යට).

නාවල පදිංචි ජේෂ්ඨ නීතිඥයෙකුවූ ටියුඩර් කීර්තිනන්ද එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි සභිකයෙකු වශයෙන් කටයුතුකල අතර එජාපයේ ජාතික සේවක සංගමයේ සමාරම්භකයින් තිදෙනාගෙන් එක් අයෙකි. ටියුඩර් 1960 මාර්තු මහා මැතිවරණයේදී නාවලපිටිය ආසනයට එජාපයෙන් තරඟ කළේය. තිදරු පියෙකුවූ ඔහුගේ බිරිඳ කාමල්ය. ජවිපෙ කැරළිකරුවන් විසින් නීතිඥ කීර්තිනන්ද 1988 ඔක්තෝබර් 24වැනිදා ඝාතනය කරන ලදී. අනුර හොරේෂස්ගේ ගිණි අවි සහ ගිණිකෙලි ග්‍රන්ථයේ සඳහන් වන්නේ පතාලයේ ‘කමල සහන්’ ප්‍රබල දේශපාලඥයෙකුගේ උපදෙස් මත මෙම ඝාතනය සිදුකල බවකි. පවුලේ අයගේ මතය වන්නේ මෙය නොවිසිදුණු අපරාධයක් බවය. ටියුඩර්ගේ වැඩිමහල් දරුවා වන්නේ ජගත් සම්මානලාභී චිත්‍රපටි අධ්‍යක්ෂවරියක්වන ඉනෝකා සත්‍යාංගනී කීර්තිනන්දය. ඉනෝකා සත්‍යාංගනී 2005 දෙසැම්බර් 4වැනිදා ඉරුදින පුවත්පතට ප්‍රකාශ කර ඇත්තේ තමාගේ ප්‍රථම පෙම්වතාවූ කොළඹ වෛද්‍ය පීඨයේ තෙවන වසර ශිෂ්‍යයෙකුවූ වසන්ත කුමාර කුලතුංගද ඝාතනයටවූ බවය. ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි ශිෂ්‍යයෙකුවු කුමාර කුලතුංග රාගම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කිරීමේ සටනේ නායකයෙකුවූ අතර ආරක්ෂක අංශ මගින් 1989 දෙසැම්බර් 11වැනිදා දෙහිවල කටු චිකිස්සා වෛද්‍ය නේවාසිකාගාරයේ සිටියදී පැහැරගෙන ගොස් පසුව ඝාතනයට ලක්විය.

dharman27031608එජාප ආණ්ඩු‍වේ 1982 ජනමත විචාරණයේදී සිදුවූ දූෂණ හේතුවෙන් ප්‍රතිඵලය අවලංගුකර ගැනීම සඳහා අභියාචනාධිකරණය සහ දිස්ත්‍රික් අධිකරණයේ නඩු පැවරූ ජවිපෙ නායක රෝහණ විජේවීර සිය නීතිඥයන්වූ ෆිලික්ස් ඩයස් බණ්ඩාරනායක සහ ප්‍රින්ස් ගුණසේකර(රවුම්කර ඇති) සමඟින්. 1983 ජුලි පක්ෂ තහනමින් පසු පෙත්සම්කරුවූ විජේවීර සැඟවී සිටි නිසාත් පෙත්සම්කරුගේ නීතිඥයින්වූ ෆිලික්ස් ඩයස් රටින් බැහැරව ගොස් සිටි නිසාත් ප්‍රින්ස් අත්අඩංගුවේ රඳවා තබාගැනීම නිසාත් මෙම පෙත්සම් නිෂ්ප්‍රභා විය(ඉහළ). 1989 අගෝස්තු 28වැනිදා ඝාතනය කල නීතිඥ කාංචන අබේපාල සිය ජේෂ්ඨ නිතිඥයාවූ මාමා වන ප්‍රින්ස් ගුණසේකර සමඟින්(පහළ)

බෙලිඅත්ත වලස්මුල්ලේදී 1937 ඔක්තෝබර් මස උපන් අමර වෙල්ලප්පිලි අධ්‍යාපනය හැදෑරුවේ දික්වැල්ල විජිත විදුහලෙනි. පේරාදෙණිය සරසවියේ උපාධිධාරියෙකුවූ ඔහු හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමසමාජ නායකයෙකු වන අතර හම්බන්තොට, මුල්කිරිගල සහ තංගල්ල උසාවියන්හි ප්‍රකට නීතිඥයෙකි. දෙදරු පියෙකු වූ ඔහුගේ බිරිඳ ගුරුවරියකවූ රූපාය. මානව හිමිකම් නඩුවලටද ක්‍රියාකාරීව දායකවූ නීතිඥ වෙල්ලප්පිලි ජවිපෙ කැරළිකරුවන් විසින් ඝාතනයට ලක්කලේ 1988 මැයි 7වැනිදා මිද්දෙණිය වැලිපිටියේදීය. ඔහුගේ මස්සිනාවූ පතිනායකද මෙහිදී ඝාතනයට ලක්විය. වලස්මුල්ලේදී ඔහුගේ ආදානය සිදුකල අතර එම අවමඟුල් උළෙල ඇමතූ අය අතර සමසමාජ නායක නීතිඥ කොල්වින් ආර්. සිල්වා සහ ශ්‍රිලනිප හම්බන්තොට නායක නීතිඥ මහින්ද රාජපක්ෂද විය. වෙල්ලප්පිලිගේ ප්‍රත්‍රයෙකුවු ශාබ්දික වර්තමානයේ නීතිඥයෙකි.

සරත් සේපාල රත්නායක ගාල්ල මහින්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවූ අතර කොළඹ සරසවියේ නීති උපාධිධාරියෙකු වශයෙන් 1975දී සමත්විය. ඔහුගේ පියා වුයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ 1956 බණ්ඩාරනායක රජයේ කණිෂ්ඨ ඇමතිවරයෙකුවු සේපාල රත්නායකය. නීති වෘත්තියට 1978දී ඇතුළත්වූ සරත් සේපාල රත්නායක ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ‍කොළඹ නීති පුස්තකාලයේ ලේකම් වශයෙන්ද කලක් කටයුතු කල අතර නීති පොත් ගණනාවක් සිංහලට පරිවර්ථනය කල ලේඛකයෙකි. මානව හිමිකම් නඩු වෙනුවෙන්ද පෙනී සිටි සේපාල රත්නායක 1989 පෙබරවාරි මස පැවති මහ මැතිවරණයේ ශ්‍රිලනිප අපේක්ෂකයෙකු වශයෙන් සිටියදී ජවිපෙ කැරළිකරුවන් විසින් ඝාතනය කරන ලද්දේ 1989 ජනවාරි 22වැනිදාය. මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සමාජය මෙහෙයවීමෙන් සේපාල රත්නායක අනුස්මරණ භාරකාර අරමුදලක්ද පසුකාලීනව ස්ථාපිත කරන ලදී.

dharman27031609නීතිඥවරුන් කිහිපදෙනෙකුගේ ඝාතනවලට චෝදනා ලැබූ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රේමදාස උඩුගම්පොල 1991 අගභාගයේදී ජනාධිපති ප්‍රේමදාස සමඟ විරසකව බෝට්ටුවක් මගින් ඉන්දියාවට පැනගොස් ජනපති ප්‍රේමදාස ඝාතනයවූ පසු යළි කටුනායකින් දිවයිනට පැමිණි අවස්ථාවේ දෙස් විදෙස් මාධ්‍යවේදීන් සමඟින්(ඉහළ), එම චෝදනාවම එල්ලවූ සහකාර පොළිස් අධිකාරි ඩග්ලස් පීරිස්(කොටුව තුළ), නීතිඥ ලියනාරච්චිගේ ඝාතනය සම්බන්ධයෙන් බටලන්දේ නිවාස සංකීර්ණයේ එවකට පදිංචිව සිටි ඩග්ලස් පීරිස් 1988 සැප්තැම්බර් 7 අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දුන් කටඋත්තරය(පහළ).

වීරකැටිය බුද්ධියගමදී 1939 ජුනි 18වැනිදා උපන් ‍නීතිඥ ජේ. ඇම්. දේශප්‍රිය බණ්ඩාර වලස්මුල්ල ගම්කාර්ය සභාවේ වසර 18ක් සභාපතිවරයා වශයෙන් කටයුතු කල 1981දී මියගිය ෆැන්සිස් බණ්ඩාරගේ ප්‍රත්‍රයාය. ෆැන්සිස් බණ්ඩාරගේ මවවූයේ හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී මහින්ද රාජපක්ෂ‍ගේ එකම නැන්දාවූ දෝන කතිරිනා රාජපක්ෂය.  ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමෙන් පසු ගල්ඹය ව්‍යාපාරයේ සිවිල් ඉංජිනේරුවෙකු වශයෙන් සේවය කල දේශප්‍රිය බණ්ඩාර  දේශපාලන පලිගැනීම් හේතුවෙන් ඉන් ඉවත්ව 1973 නීති විද්‍යාලයට ඇතුල් විය. ඇඹිලිපිටිය කොලොන්න ආසනයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාවූ දේශප්‍රිය, ඇඹිලිපිටියේ අධිකරණයේ සේවය කල  ප්‍රකට නීතිඥයෙකි. නීතිඥ සරත් මුත්තෙට්ටුවගේ පොදුජන දේශපාලනයේ නොසැලෙන ගමන් සගයෙකුවූ දේශප්‍රිය ඔහු යටතේ නීතිඥයෙකු වශයෙන්ද කලක් සේවය කළේය. ජවිපෙ කැරළිකරුවන් විසින් 1989 අප්‍රේල් 25වැනිදා පස්වරු 7.30ට ස්වයංකීය ගිණි අවියකින් වෙඩිතබා ඔහු ඝාතනය කර තිබිණි. නීතිඥ දේශප්‍රිය බණ්ඩාර සයදරු පියෙකු වූ අතර දෙවැන්නා වූයේ පසුකලෙක මහේස්ත්‍රාත්වරයෙකු සහ සන්ධානයේ 2010 ජාතික ලැයිස්තුවෙන් පත්වු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුවූ ජානක බණ්ඩාරය.

dharman27031610එජාපයට සම්බන්ධකම් ඇතිව සිටියද විනිසුරු අසු‍නේ සිට දේශපාලනඥයින්ට අවශ්‍ය තීන්දු ලබානොදුන් ආචාර්ය මාර්ක් ප්‍රනාන්දු, කොල්ලුපිටිය පොලිසියේ 1983දී පොලිස් පරික්ෂක ගනේෂන්ගේ පහරදීමකට ලක්ව ශේෂ්ඨාධිකරණයේදී එම සටනින් ජයගත් ප්‍රවීණ දේශපාලඥවරියක්වූ සමසමාජයේ විවියන් ගුණවර්ධන, එම තීන්දුව ප්‍රකාශයට පත්කල විනිසුරු එෆ්.ජේ.ඒ. සෝසාගේ නිවස ඉදිරිපිට හූ කියා ගල් ගැසූ කණ්ඩායමේ නායක 71 කැරැල්ලේ මහ නඩුවේ 29වැනි විත්තිකරු සහ එවකට ‍ගෝනවල සුනිල්ගේ සමිපතමයෙකුවු ලක්ෂ්මන් චන්ද්‍රසේන ප්‍රනාන්දු නොහොත් කළු ලකී, තර්ජන හේතුවෙන් රටහැර යෑමට සිදුවු නීතිඥ ප්‍රින්ස් ගුණසේකර, රිචඩ් ද සොයිසා ඝාතන නඩුවේ පැමිණිල්ල මෙහෙයවිම නිසා ජිවිත තර්ජනවලට ලක්වු නීතිඥ බැටී වීරකෝන්, ජවිපෙ සහ ආරක්ෂක හමුදා දෙපිරිසෙන්ම තර්ජන එල්ලවූ මානව හිමිකම් සහ සංවර්ධන නීතිඥ සංවිධානයේ ලේකම් නීතිඥ කල්යානන්ද තිරාණගම(ඉහළ වමේ සිට).

පාරම්පරික වාමාංශික පවුලක සාමාජිකයෙකුවූ නිතිඥ යටන්වල ගමරාලලාගේ ලෙස්ලිගේ මව රුවන්වැල්ලේ සුදු අක්කා නමින් ප්‍රකට කේ.ඒ. ඇසලින් නෝනාය. රාජසිංහ මහ විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකුවූ ලෙස්ලි යටන්වල දැරණියගල සමසමාජ සංවිධායකවරයාවූ අතර ජවිපෙ කැරළිකරුවන් අතින් 1989 ජුනි 15 ඝාතනය ලක්වන විට සබරගමු පළාත් සභාවේ එක්සත් සමාජවාදී පෙරමුණේ මන්ත්‍රීවරයෙකි. ඔහු ඝාතනයවී සති කිහිපයකට පසු රජයේ මිනින්දෝරුවෙකුවූ යටන්වලගේ ගැබිනි බිරිඳ ප්‍රථම දරුවාවු දියණිය ප්‍රසූත කළාය. අවිස්සාවේල්ල උසාවිය අසළදී 1988 මැයි මස නීතිඥ යටන්වල වෙඩිතබා ඝාතනය කිරීමට කැරළිකරුවන් උත්සාහ කලද බරපතල තුවාල ලබා දිවි රැකගැනීමට ඔහු සමත් විය. මානව හිමිකම් නීතිඥයෙක් වශයෙන් නිදහස් වෙළෙඳ කලාපයේ වෘත්තීය සමිති හරහා ක්‍රියාකාරී මෙහෙයක් නීතිඥ යටන්වල ඉටුකල අතර ඔහුගේ වැඩිමහල් සොහොයුරා වුයේ සමසමාජ පක්ෂයේ ජාතික සංවිධායක සහ හිටපු නියෝජ්‍ය ඇමති වයි. ජී. පද්මසිරිය.

කොමියුනිස්ට් තරුණ සම්මේලනයේ මධ්‍යම කාරක සභිකයෙකු වූ සහ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම්වූ නුවර වත්තේගෙදර උපන් ගාමිණී මැදගෙදර පොළොන්නරුවේ පදිංචිකරුවෙකි. එජාප ආණ්ඩුව 1977දී බලයට පත්වීමත් සමඟම ඔහුගේ නිවස ගිණිබත්කර රැකියාව අහිමි කළේය. උන්හිටි තැන් සහ ජීවන මාර්ගය අහිමිවුවද ගාමිණී ධනපති විරෝධී අරගලය අත්හරිනු නොලැබීය. දක්ෂ ඉංග්‍රීසි ගුරුවරයෙකුවූ ඔහු කොළඹ සරසවියේ නීති උපාධිධාරියෙකුද වූ අතර නීතිඥයෙකුද විය. සිව් හැවිරිදි දරුවෙකුගේ පියෙකුවූ ගාමිණි, සොයුරු සොහොයුරියන් 11 යුත් පවුලේ වැඩිමලා වශයෙන් එම යුතුකම්ද නොපිරිහෙලා ඉටුකල අයෙකි. ජවිපෙ 2වැනි කැරැල්ලේ පුද්ගල ඝාතන දේශපාලනයේ 3වැනි ගොදුර වශයෙන් 1988 පෙබරවාරි 12 පස්වරු 2ට පාසලේ සිට නිවසට පැමිණෙමින් සිටියදි මහමගදි වෙඩි තැබීමෙන් ඝාතනට පත්විය. ජවිපෙ තර්ජන හේතුවෙන් මරණ පරික්ෂණය කිරීමට පො‍ළොන්නරුවේ මරණ පරික්ෂකවරයා පසුබටවූ හෙයින් මාතලෙන් මරණ පරික්ෂකවරයෙක් ගෙන ඒමට සිදුවිය. දේහය තැන්පත් කිරීම සදහා පෙට්ටියද ගෙන යන ලද්දේ කොළඹිනි. ආගමික වතාවන් පොළොන්නරුව නිවසේදී කිරීමෙන් අනතුරුව දේහය මිහිදන් කරන ලද්දේ සීදුවේදීය.

dharman27031611

ආරක්ෂක හමුදා මගින් ඝාතනයට ලක්වූ නුවර දිස්ත්‍රික් පුරවැසි කමිටුවේ සංවිධායක නීතිඥ සනත් කරලියද්ද(රතු කොටුව තුළ), ඔහු ඝාතනයට  ප්‍රධාන හේතුවක් වූයේ මහනුවර නුගවෙල මධ්‍ය මහා විදුහලේ ශිෂ්‍ය නන්දන අබේකෝන් සහ තෙල්දෙණිය මහා විද්‍යාලයේ ශිෂ්‍ය ජයන්ත බණ්ඩාර ඝාතනයන් පිළිබදව නඩුවට පෙනී සිටීමය(නිල් කොටුවකින් පිළිවෙලින් දැක්වෙන්නේ එම සිසුන් දෙදෙනාය.) මෙහි වම්පස අබේකොන් සිසුවාගේ වෙඩි වැදුණු දේහයද දකුණුපස වෙඩි තැබීම්වලින් බරපතළ ලෙස තුවාල ලබා රෝහල් ගතකල සිසුන් 4ක්ද වේ.

මෙසේ ඝාතනයට ලක්වූ නීතිඥයින් 15 දෙනාගෙන් සෙසු අයවූ වර්ණපාල රණතුංග, ඒ. ඩබ්ලිව් වෙත්තසිංහ, සී.ඩබ්ලිව්.ජේ.කේ වීරමන් සහ ඒ.ඩබ්ලිව් වික්‍රමසිංහ යන නීතිඥවරුන් ඝාතනය කිරීමේ චෝදනාව එල්ලවූයේ ආරක්ෂක අංශ වෙතය. මෙසේ 1986 සිට 1990 දක්වා ජවිපෙ 2වැනි කැරළි සමයේ  ඝාතනයට ලක්වූ නීතිඥයින් 15 දෙනාට අමතරව එම කාලයේදී ආරක්ෂක අංශ සහ ජවිපෙ කැරළිකරුවන් මගින් නීතිඥවරුන් 12 දෙනෙකු පැහැරගෙනයෑම් ඇතුළු තාඩන පීඩන වලට ලක්වූ අතර තවත් නීතිඥවරුන් 21දෙනෙකුට මරණීය තර්ජන එල්ලවී තිබිණි.

පැහැරගෙන ගිය සහ තර්ජන වලට ලක්වූ නීතිඥයින් රජයේ අදාළ පාර්ශවයන් සමඟ සාකච්ඡාකර නිදහස්කර ගැනීමට මැදිහත් වූයේ ශ්‍රී ලංකා නීතිඥ සංගමය වේ.එම නීතිඥයින් අතර ධර්මදාස ගෝමස්, බැටී වීරකෝන්(රිචඩ් ද සොයිසා 1990 පෙබරවාරි 19වැනිදා  ඝාතනය වීමෙන් පසු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියේ බැටී වීරකෝන් වන අතර ඉන් ඉවත් නොවුනහොත් ඝාතනය කරන බවට ඔහුට තර්ජන ලැබිණි), ඉයන් වික්‍රමනායක, ඒ.බී අත්තනායක(1990 අගෝස්තු මස ඔහුගේ නවාතැනේදී පැහැරගෙන ගොස් පසුව නීතිඥ සංගමය මගින් ආරක්ෂක ලේකම් වෙත දැනුම් දීමෙන් පසුව නිදහස් කරන ලදී), මීගමුවේ රෝහිත බුලත්වැව(මර්ජ් ආයතනයේ නීතිඥවරයෙකි. මීගමුව නිවසේ සිටියදී 1989 සැප්තැම්බර් 11වැනිදා පැහැරගෙන ගොස් දින දෙකකට පසුව මීගමුව නිතිඥ සංගමයේ විරෝධය හේතුවෙන් පසුව නිදහස් කළේය), නුවර පරාක්‍රම රණසිංහ, රංජිත් පනාමුල්ල,  නුවර ජයතිලක(පැහැරගෙන දෑස් බැද තිබූ ඔහු නීතිඥ සංගමයේ විරෝධය හේතුවෙන් ඔහු නිදහස් කළේය), ගම්පහ සී කොතලාවල(‍නීතිඥ නෙවිල් නිශ්ශංකගේ ඝාතනයෙන් පසු ඔහු ‍පැහැරගෙන ගියද නීතිඥ සංගමයේ මැදිහත්මෙන් ඔහු නිදහස් විය), කොළඹ නගර සභාවේ මෙතුවන් සමරසිංහ(1989 ඔක්තෝබර් මස ඔහුගේ නිල නිවසේදී රැදී සිටියදී පැහැරගෙන ගිය අතර නීතිඥ සංගමයේ මැදිහත්වීම මත නිදහස් කෙරිණි), ඒ.බී අත්තනායක, වීරසූරිය(1989 ඔක්තෝබර් අත්අඩංගුවට ගත් අතර නීතිඥ සංගමයේ මැදිහත්වීම මත නිදහස් කෙරිණි), කල්‍යානන්ද තිරාණගම, මාතර විජේවික්‍රම(නීතිඥවරියක් වන ඇය අකුරැස්ස පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අතර පසුව නිතිඥ සංගමයේ මැදිහත්වීම මත නිදහස් විය) ඇතුළු කිහිප දෙනෙක්ම විය.

මරණ තර්ජන වලින් බේරීම සඳහා නීතිඥයින් කිහිපදෙනෙක් විදේශ රටවලට සංක්‍රමණයවී දේශපාලන රැකවරණ ලබාගත්හ. ඉන් පුමුඛ අයෙකු වූයේ 1989 සැප්තැම්බර් 2දා බ්‍රිතාන්‍යයට සිය දියණිය සමඟ සංක්‍රමණයවු අධිනීතිඥ ප්‍රින්ස් ගුණසේකරය. ඔහුගේ කණිටු නීතිඥයින් තිදෙනෙක්ද ඒ වනවිට ඝාතනයකර තිබිණි. ප්‍රින්ස්ගේ බිරිඳ සහ අනෙක් දියණියද 1989 සැප්තැම්බර් 8දා බ්‍රිතාන්‍යයට පැමිණියහ. ගාල්ල කතලුවේදී 1924 ජුලි 17 උපන් ප්‍රින්ස් ගුණසේකර වැලිගම ශ්‍රී සුමංගල විද්‍යාලයෙන් සහ කොළඹ ආනන්ද විදුහලෙන් අධ්‍යාපනය ලබා කොළඹ සරසවියට ඇතුල් විය. පසුව උපාධිය අතහැර පූර්ණ කාලීනව දේශපාලනයට පිවිසි ඔහු ලන්ඩන් සාමාන්‍ය බාහිර උපාධිය සමත්වීමෙන් පසු ලංකාදීප පුවත්පතේ පළමුවැනි ප්‍රධාන උප කර්තෘ විය. පසුව නිති විද්‍යාලයෙන් 1955දී සමත්ව නීතිඥයෙකුවූ ඔහු 1968 මාර්තු සහ 1970 පාර්ලිමේන්තු මැතිවරණවලින් ජයග්‍රහණය ලැබීය. හැත්තෑ එකේ කැරැල්ලේ සිදුවූ මානව හිමිකම් කඩවීම් පිළිබඳව බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර ඇමනස්ටි ඉන්ටනැෂනල් ආයතනයට 1971 ජුලි මස ගිය ශ්‍රිලනිපයෙන් පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රින්ස් කල ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට 1971 අගෝස්තු මස ඒච්බරි සාමිවරයා පැමිණි අතර ශ්‍රී ලංකාවේ තත්ත්වය සියැසින් දැක අනතුරුව නිකුත් කල වාර්තාවෙන් විශාල ආන්දෝලනයක් ඇති විය. ජවිපෙ 2වැනි කැරළි සමයේ බ්‍රිතාන්‍යයේ රැකවරණ ලබාගත් ප්‍රින්ස් ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩකිරීම පිළිබඳව ලොව දැනුවත් කල අතර වින්දිතයන්ගේ අයිතීන් වෙනුවෙන්ද පෙනී සිටියේය.

නීතිඥ සංගමය කල ඉල්ලීමක් අනුව මියගිය නීතිඥවරුන් වෙනුවෙන් වැන්දඹු බිරිඳට ඇමරිකානු ඩොලර් 1,300ක් සහ නෛතික යැපෙන්නන්ට ඇමරිකානු ඩොලර් 650 සරිලන ශ්‍රී ලංකා මුදල් ප්‍රමාණයක් වන්දි ප්‍රතිලාභ වශයෙන් ලබාදීමට රජය 1990 ජනවාරි 15වැනිදා තීරණය කළේය. නීතිඥ සංගමයෙන් මානව හිමිකම් නීති ආධාර සඳහා ඕස්ට්‍රේලියානු සහ කැනේඩියානු රජයද ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානද ආධාර උපකාර කලහ.

මානව හිමිකම් නඩුවලට ඉදිරිපත් වූ නිතිඥවරුන් ඝාතනයවීම වැලැක්වීමටත් ඔවුන්ගේ බිය පහකිරීමටත් ශ්‍රී  ලංකා නිතිඥ සංගමය පසුව එවැනි නඩු සියල්ලම භාරගෙන නිතිඥ සංගමය යටතේ නිති ආධාර කේන්ද්‍රය මගින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදනු ලැබීය. ජේෂ්ඨ නිතිඥවරුන් එම ක්‍රියාවට සද්භාවයෙන්ම එක්වූ අතර එම යෝජනාව ඉදිරිපත් කළේ ජේෂ්ඨ නිතිඥ ආර්. කේ. ඩබ්ලිව් ගුණසේකරය. එමෙන්ම පාලින්ද රණසිංහ ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණයේ ජී.පී.එස්. සිල්වා, මාක් ප්‍රනාන්දු, ඒ.ආර්.බී අමරසිංහ, ඉරත්ත වැනි විනිසුරුවරුන් විසින් භීෂණ සමයේ අත්අඩංගුවට ගෙන සිටි රැදවියන් දහස් ගණනකට තමාගේ මව් භාෂාවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දුක් ගැනවිලි ඉදිරිපත් කිරීමටද අවසර ලබාදුන්නේ මානව හිමිකම් නිතිඥයින්ගේ ක්‍රියාදාමය තවදුරටත් අගය කරමිනි. ඒ සඳහා ඔවුන් උපයෝගි කරගනු ලැබුවේ ඉන්දිය ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කල ප්‍රතිපත්තියවන ඕනෑම කෙනෙකුට ඕනෑම අසාධාරණයකට එරෙහිව නිතිඥවරයෙකුගේ සහායක් නොමැතිව හෝ හුදු තැපැල් පතකින් ශ්‍රේෂ්ඨාධිකරණයේ දොර විවෘත කිරීමට හැකිබව පෙන්වා දෙන ලද නඩු තීන්දුවක් උපයෝගි කරගනිමිනි.

ඝාතනයට පත්වූ මෙම නීතිඥවරුන් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සැබෑ මානව හිතවාදීන් වූහ. කළු කබා පැලඳ ගෙන සිටියද මිල මුදල් පසුපසම හඹාගිය අය නොවේ. බලය රැකගැනීම වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට සූදානම්ව සිටි පාලකයින් ගෙන් අසත්‍යය, අයුක්තිය, අසාධාරණය, අවනීතියට එරෙහිව පීඩාවට පත්වූ අසරණයින් වෙනුවෙන් නීති ඉදිරියේ පෙනී සිටියේ ගාස්තුව යන්න සහමුලින්ම වාගේ අමතක කොටය. ඔවුන් විසින් උසාවියට ඉදිරිපත් කරන ලද දෙදහසකට අධික හබයාස් කෝපුස් පෙත්සම් වලින්ම ඒ බව මැනවින් පැහැදිලි වේ. මෙය මානව අයිතීන් උල්ලංඝණය කිරීම්වල නිරන්තරව යෙදී සිටින පාලකයින්ට පමණක් නොව අවිගත් කැරළිකරුවන්ටද දැඩි අභියෝගයක් විය. ඔවුහු ජීවත්වීමේ අයිතිය පැහැර ගනිමින් මෙම නීතිඥයින් 15දෙනා සදාකාලිකව නිහඬ කලහ. එසේ එම මානව හිතවාදී නීතිඥවරුන්ගේ ජීවත්වීමේ අයිතිය පැහැරගනු ලැබූවද ඔවුන්ගේ නාමය මානව හිමිකම් සුරකීමේ ඉතිහාසය තුළ සදාකාලිකව විරාජමානය.

ජවිපෙ 2වැනි කැරළි සමයේ එනම් 1986 සිට 1990 දක්වා ඝාතනයට, තර්ජනයට සහ රට අතහැරයෑමට සිදුවූ නීතිඥයින් පිළිබඳව ඔබ සතුව ඇති ඡායාරූප සහ තොරතුරු පහත ආකාරයට යොමුකල හැකිය. ධර්මන් වික්‍රමරත්න, තැපෙ 26, ශ්‍රී ජයවර්ධනපුර. දුරකථනය: 011-5234384 විද්‍යුත් තැපෑල: [email protected]

තව කොටසක් ලබන සතියේ…       

2 Responses to “ලෙයින්, යකඩින් සහ ගින්දරින් මර්දනය කළ 1986-90 භීෂණ යුගයේ සත්‍ය කථා – 91 කොටස-යුක්තිය වෙනුවෙන් සටන්කර දංගෙඩියට ගිය නීතිඥයෝ”

  1. Christie Says:

    “බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර ඇමනස්ටි ඉන්ටනැෂනල් ආයතනයට” The leading evidence that JVP was and is funded by the Indian Empire and Indian colonial parasites.

  2. Ancient Sinhalaya Says:

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankagrid.com/soma-thero/

    http://www.pinsiri.com/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

    1971 jvp uprising was all over in a matter of few weeks and the rebels were rounded up and rehabilitated,
    and released to the society. But during catholic-run UNPatriotic party’s BHEESHANA SAMAYA they saw it
    as a tool to reduce Buddhist population and KILL, KILL, KILL POLICY USED. What rehabilitation?

    Why then UNPatriotics didn’t want to end the catholic tigers of tamil drealam rebellion? They were mainly
    killing Buddhists and destroying Buddhist temples and Buddhism from then north and the east. So UNPatriotics
    dragged the war on and rewarded the real terrorists with half the country to rule. If you are in doubt, please
    use the above first link. Catholic tigers killed pilgrims at Sri Maha Bodhiya, Sri Dalada Maligawa and massacred
    100s of Buddhist monk. But they harmed 0 priests and damaged 0 churches! Still not convinced?

    Batalande camp was run by douglas peris, meril gunaratne etc. IGP was ernest perera. police minister
    was john mara. Do you see the connection? All catholics.

    Alugosu adarmista thambi mudiyanse, alugosu lk porisada,
    alugosu pol pot ponil killed so many Buddhists. Where is the justice for them? Why can’t the relatives of them
    come to Colombo in numbers and see vairapala sirisena ask for justice for them? At least it will get the media attention. PLEASE DO
    IT FOR THOSE WHO DIED TERRIBLE DEATH FOR BEING 99% BUDDHISTS AND 1% JVP. IT IS YOUR DUTY!
    YOU OWE THEM JUSTICE IF YOU LOVED THEM! OVER 25 YEARS PASSED. STILL HOW CAN YOU FORGET THOSE
    INJUSTICES! Didn’t they have any human rights, just because they were Buddhists?

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2018 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress