ජනවාරි 08 හමුදා කුමන්ත‍්‍රණ කතාව අතේ පත්තු රෝලක්, බොරුවක් බව හෙලි වෙයි..
Posted on May 29th, 2017

අරවින්ද අතුකෝරල

ජනවාරි 08 කුමන්ත්‍රණ කතාව බොරුවක් යයි පිවිතුරු හෙල උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

එම පක්‍ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී මන්ත‍්‍රීවරයා මෙසේ කියා සිටියේය.

2015 ජනවාරි 08 දින ජනපතිවරණ ප්‍රතිඵල අත්හිටුවීමේ හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කළ බවට 2015.01.14 දින මංගල සමරවීර ඇමතිතුමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බව කවුරුත් දන්නවා. එතුමන් එවකට මෙරට විදේශ අමාත්‍යවරයා. අනික් පැත්තෙන් එතුමන් විශේෂ ඉල්ලීමක් කරනවා මෙය ජාතික ආරක්ෂාවට සහ ප්‍රජාතන්ත්‍රවාදයට අතිශයෙන් වැදගත් නිසා කඩිනමින්ම විභාග කරන්න කියලා. මේ ආණ්ඩුව මුලින්ම ප්‍රශ්න කරන්න ගෙන ගියේ මාව. ඊට පස්සේ ජී එල් පීරිස් හිටපු ඇමතිතුමාව. හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව. තිවිධ හමුදාපතිවරුන්ව. ඒ කාලයේ මාධ්‍ය වල ප්‍රධාන සිරස්තල මැවූ ඒ කතාව පිළිබඳ දැන් ආණ්ඩුව ශබ්දයක් නෑ. එවැනි පසුබිමක පොලීසියට මේ පිලිබඳ නිහඬව ඉන්න බෑ.

මම මෙම විමර්ශනයේ ප්‍රගතිය පිලිබඳ නීතිය සහ සාමය ඇමතිතුමාගෙන් ප්‍රශ්නයක් ඇහුව්වා. 2016 මාර්තු 09 දින පාර්ලිමේන්තුවේ දී පිලිතුරු දෙමින් ඇමතිතුමා පැවසුවේ නීතිපති උපදෙස් නොලැබීමෙන් විමර්ශන කටයුතු ඇණ හිට තිබෙන බවයි. නීතිපති උපදෙස් නොදෙන්නේ මන්දැයි මම අධිකරණ ඇමතිතුමාගෙන් ඇහුව්වා. ඇමතිතුමා ඒකට පිලිතුරු දුන්නේ කල් මරමින් සිටි නීතිපති උපදෙස ලබා දීමෙන් පස්සේ. නීතිපති උපදෙස වී ඇත්තේ ඉදිරිපත් කළ කරුණු අනුව නඩු ගොනු කළ හැකි අපරාධයක් නොමැති බවයි. නීතිපති මෙතරම් කාලයක් ලිපි ගොනුව මත නිදා ගෙන සිටියේ මංගල ඇමතිතුමාගේත් මේ ආණ්ඩුවෙත් රෙද්ද බේරා දෙන්නයි.

කාලයක් මාධ්‍ය තුල ප්‍රධාන සිරස්තල මැවූ ලෝකය පුරා ආන්දෝලනයක් ඇති කළ මේ හමුදා කුමන්ත්‍රණ කතාව අතේ පත්තු වන රෝලක් බොරුවක් හිතළුවක් බව දැන් ඔප්පු වෙලා තිබෙනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress