අනේ ඔබ කවදාක බිහි වෙයිද මේ රටේ?
Posted on September 11th, 2020

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි

ආයුබෝවන්
අපි ඔබතුමාට පලමුව ස්තුථිවන්තවෙනවා අපට මේ අවස්ථාව ලබාදීම සම්බන්ධව. මේ වනවිට ඔබ නවක තරුණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්වී හමාරයි. මේ ජයග්‍රහණය ඔබ දකින්නේ මොනවිදියකටද?

ඕනෑම මනුෂ්‍යයකු තරගයකදී බලාපොරොත්තු වන්නේ ජයග්‍රහණයයි. මේ වනවිට මම ඒ ජයග්‍රහණය ලබාගෙන සිටිනවා; මේ ජයග්‍රහණය මගේ ජීවිතයේ එක්තරා කඩඉමක් පමණයි. තව දිනා ගැනීමට කරුණු කාරනා රාශියක් තියෙනවා.

ඔබ තරුණ මන්ත්‍රීවරයෙක් වශයෙන් ඔබගේ දිස්ත්‍රික්කයේ සිටින තරුණ තරුණීයන්ගේ ප්‍රශ්න වලට මුල් තැනක් දෙන්න සිදුවේවි ඒ සදහා ඔබතුල ඇති සැලස්ම කුමක්ද?

ඔබ කිව් ලෙසම මම තරුණ මන්ත්‍රී වරයෙක්. නමුත් මම මේ දිස්ත්‍රික්යේ සිටින තරුණ තරුණීයන්ගේ මන්ත්‍රීවරයා නොවෙයි. සන්ධානයේ ජයග්‍රහණය උදෙසා චන්දය දුන් සියලු දෙනාගේම මන්ත්‍රීවරයෙක්. 
ඒ මන්ත්‍රීවරයාගේ එක වගකීමක් තමයි මේ දිස්ත්‍රික්කයේ සිටින සියලුම තරුණ තරුණියන්ගේ ගැටලු විසදීම: ඒ වගකීම මා සතු වගකීමක් ලෙස මා ප්‍රබලව දකිනවා.

හොදයි, ඔබතුමා නියෝජනය කරන දිස්ත්‍රික්කයේ ඇති ජනතා ගැටලු විසදීමට ඔබතුමා සතු සැලස්ම කුමක්දැයි පැහැදිලි කරන්න පුලුවන්ද?

මම නවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, දිස්ත්‍රික්කයේ ජනතා ගැටලු විසදීමට නම් පලමුව, සැබෑ ජනතා ගැටලු මොනවාදැයි හදුනා ගත යුතුයි. ඒ සදහා ජනතාව අතරට යා යුතුයි. ජනතාව අතරට යෑමේ අරමුණ, මූලික කරගත් සුපැහැදිලි වැඩපිලිවෙලක් අපට තියෙන්න ඕනි. මම පලමුව කරන්නේ ජනතාවයි අපයි බද්ධ කරන ඒ යාන්ත්‍රණය ගොඩනැංවීමයි; මම හිතනවා අමාරුම කර්තව්‍යය එයයි කියල. පලමුව එය ජය ගත යුතුයි.

ඔබට, ඔබ කියන්නාවූ යාන්ත්‍රණය ගොඩනගන්නයි, දිස්ත්‍රික්කයේ ඇති ජනතා ගැටලු විසදන්නයි ලබාදී ඇත්තේ සීමිත කාලයක්, ඔබට මේ හැම දෙනාගේම ගැටලු විසදන්න මේ කාලය ප්‍රමාණවත්ද?

ගගකින් එගොඩ වන ක්‍රම කීපයක් තියෙනවා. තම තමන්ට පීනමින් එතර විය හැකියි. එහෙම නැත්නම් බෝට්ටුවකින් එතෙර වෙන්න පුලුවන්; මේ ක්‍රම දෙකෙන්ම අනාගත පරපුර මත යම් කාර්යය භාරයක් පටවනවා. පලමු ක්‍රමයට අනුව ඉපදෙන හැම අයෙක්ම පිහිනන්න පුරුදු විය යුතු වෙනවා. දෙවන ක්‍රමය අනුව බෝට්ටුව හා තොටියා නඩත්තු කරන ක්‍රමවේදයන් යොදා ගන්නට සිදුවෙනවා. නමුත් මෙහිදී අප අනුගමනය කරන්නේ; ශක්තිමත් පාලමක් ගොඩනැංවීමේ සම්ප්‍රධායයි. ඒක ක්ෂණික වැඩක් නොවෙයි නමුත් පරම්පරා ගනනක් පවතිනවා.අප ගොඩනංවන යාන්ත්‍රණය ඉතාමත් ශක්තිමත් එකක් බව මට නොබියව ප්‍රකාශ කරන්න ප්‍රලුවන්.

ඔබ ජනතාවයි රජයයි සම්බන්ධ කරවන යාන්ත්‍රණයක් ගැන පුන පුනා කථා කරනවා; ඇයි මේ යාන්ත්‍රණය පිහිටවීම මෙතරම් වැදගත් කරුණක් ලෙස ඔබ දකින්නේ?

මහජන මන්ත්‍රීවරු වශයෙන් අප අවංකව කටයුතු කල යුතුයි. අපට විසදිමට ඇත්තේ එම දිස්ත්‍රික්කයේ ජනතා ප්‍රශ්නයි. තවද මහජන මන්ත්‍රීවරයා යනු ජනතා ප්‍රශ්න විසදන කොන්ත්‍රාත් කරුවා විය නොහැකියි. ජනතාවට සිය ප්‍රශ්න විසදා ගැනීමට අවශ්‍ය පරිසරය සකස් කරන මාර්ගෝපදේශකයා හා මිතුරා විය යුතුයි. ඒ අනුව ජනතා ප්‍රශ්නය සංවේදීවූ වහාම ඊට පිලියම ගෙනෙන මන්ත්‍රී වරයකුගේ අවශ්‍යතාවය ජනතාවට තදින්ම දැනෙන යුගයක් තමයි අප පසු කරමින් ඉන්නේ.
අපට ස්වභාව ධර්මය විසින් ඕනෑවටත් වැඩිය පාඩම් උගන්වලා තියෙනවා; අප කල යුත්තේ මැතිවරණ කොට්ඨාශයක් හොද සරු මී වදයක් බවට පරිවර්තනය කිරීමයි. එය කල යුතු හා  ඒ වගේම කල හැකි කාර්යයක් බව වටහා ගන්න.

අහන්නත් සන්තෝසයි; මැතිවරණ කොට්ඨාශයක් හොද සරු මී වදයක් බවට පරිවර්තනය කිරීමට අධිෂ්ඨාන කරගෙන සිටින, තරුණ, නවක, මන්ත්‍රීවරයකු සමග සාකච්ඡා කිරීමට ලැබීමත් භාග්‍යයක්සේ මට හිතෙනවා. ඔබ මේ කටයුත්ත ආරම්භ කරන ආකාරය පිලිබද යම් අදහසක් අපතුල තියෙනවානමුත් ඔබගේ යාන්ත්‍රණය අපට තවම ගැටලුවක්?

කල්පනා කරල බලන්න. අද බරපතල සමාජ අර්බූදයක් බවට පත්වෙලා තියෙන ඕනෑම ප්‍රශණයක ආරම්භය සිදුවන්නේ. කවුරු හරි මිනිහෙකුගේ මනසක් තුල. ඒ ආරම්භ වෙන බීජය තමයි ක්‍රමානුකූලව සමාජය පුරා ගලාගෙන ගිහිල්ලා, මුලු සමාජයම වෙලාගෙන සමාජ අර්බූද නිර්මාණය කරන්නේ. මේ සදහා අපට දිය හැකි උදාහරණ සංඛ්‍යාව අති විශාලයි.

අපි මුලින් වටහා ගන්න ඕනි; අප කියන්නේ කවුද කියල. අපට ජීවත් වෙන්න නියමිත කාල සීමාවක් තියෙනවා. කන්න පුලුවන් ආහාර වල ප්‍රමාණයක් තියෙනවා. අදින්න පුලුවන් ඇදුම් වලද උපරිම සීමාවක් තියෙනවා. මේ වාගේ හැම දෙයකටම උපරිම සීමාවන් යටතේ පැමිණෙන අප, කාලයට සාපේක්ෂව ගමන් කරන බුද්ධිමත් සත්වයෙක්. අපට තියෙන වැදගත්ම සාධකය කාලයයි. කාලය නිසිලෙස කලමනා කරණය කිරීම හරහා අප ජීවත්වෙන කාලය අඩු වැඩි කර ගැනීමේ හැකියාවක් අපට උදාවෙලා තියෙනවා. මැතිවරණයකින් බලයට පත්වෙන මන්ත්‍රීවරයාට විසදන්න වෙන්නෙ, මුලින් කිව් ආකාරයට කාගේ හෝ මනසකින් ආරම්භ වී සමාජය පුරා ගලාගොස් ඔඩුදුවා ඇති ප්‍රශ්න නම්; අප කල යුත්තේ, ප්‍රශනයේ දැන් ඇති තැනින් ආරම්භ කර එම ප්‍රශනය සමනය වන ආකාරයනට ගලායාමට සැලස්වීමයි.

අපි උදාහරණයක් වශයෙන් ළදරු කිරිපිටි ප්‍රශ්ණය සාකච්ඡාවට බදුන් කරමු. මේ ප්‍රශ්ණය හරහා සමාජ අර්බූද ගනනාවක් නිර්මාණය වී ඇත.
1.ළදරුවාට හිමිවිය යුතු මව්කිරි නොලැබීම.
2.මේ අනුව ස්වභාවය අපේක්ෂිත ශරීර සංයුතියකින් යුත් නියම දරුවා    සමාජයට හිමි නොවීම.
3.ළදරු කිරිපිටි සදහා අමතර විදේශ විනිමයක් රජයට දැරීමට සිදුවීම.
4.මවට එම කිරිපිටි මිලදී ගැනීමට අමතර මුදලක් වැය කිරීමට සිදුවීම.
5.දරුවාට කිරි ලබාදීමට සැකසුන මව් ශරීරය එසේ නොකිරීම හේතුවෙන් පැන නගින සෞඛ්‍ය ගැටලු වලට මවට මුහුණ දීමට සිදුවීම.

ආදී වශයෙන් ගැටලු දාමයක් සමාජය තුල පැන නැගී ඇත. මේ සියලු ගැටලු වලට එකම සුදුසු පිලියම; මව තමන්ගේ දරුවාට මව් කිරි ලබාදීමයි. මවගේ මනස එය ඉටුකිරීමේ  තත්වයට පත්කරවීමේ සමාජ වගකීම තරුණ මන්ත්‍රීවරයකු වශයෙන් මා වෙත පැවරී තියෙනවා. ඒ සදහා මා ගොඩනංවන යාන්ත්‍රණය අතිවිශාල කාර්යය භාරයක් ඉටු කරනවා ඇති. ” මව්කිරි දරුවන්ට ලබා දෙන සමාජයක්” සමාජ ගැටලු රාශියක් උත්පාදනය කිරීම අහෝසි කරන ආකාරය ඔබට පැහැදිලි ඇතැයි මට සිතෙනවා.

ඔව් ඔබ කියන දේ පැහැදිලියි. නමුත් යාන්ත්‍රණයේ අපැහැදිලි භාවයක් අපට පෙනෙනවා.

ශ්‍රී ලංකාවේ මැතිවරණ කොට්ඨාශයක් කියන්නේ, සම්පත් සම්භාරයක්පලමුව එම සම්පත් හදුනාගත යුතුයි. වර්ගී කරණයකට භාජනය කල යුතුයි. ඊටපසු ජනතා ශුභ සිද්ධියේ දිසාවට යොමුකර, කලමණාකරණය කල යුතුයි.මූලික වශයෙන් මේ සම්පත්, මානව සම්පත, සත්ව සම්පත හා ශාක සම්පත වශයෙන් ජීවීමය වශයෙන් බෙදෙනවා.අද මැතිවරණ කොට්ඨාශයක ඇති මේ සම්පත් වලට මොකක්ද සිද්ධ වෙලා තියෙන්නේ කියල බලන්න. මානව සම්පත තමන් හුරුවුන කාර්යයන් ඔහේ කරගෙන යනවා. සත්ව සම්පත බොහෝවිට ඉබාගාතේ ඇවිදිනවා; ශාක ප්‍රජාව තමන්ට ඇති සම්පත් ප්‍රමාණයට අනුකූලව උපරිමව සිය දෛනික කාර්යයන් සිදු කරනවා.මන්ත්‍රීතුමා මෙහෙම ප්‍රජාවන් ඉන්නවද කියල දන්නෙ නැති; මොවුන්ගේ කාර්යයන් තමන්ට අයත්ද කියල දන්නෙවත් නැති සමාජයක් අපට උරුම වෙලා තියෙන්නේ. මෙම සමාජයයි වෙනස් කලයුත්තේ. මෙම සමාජයයි මම කලමණාකරනය කරන්නට යන්නේ.ඕනෑම අයෙකුට ඉතා පහසුවෙන්ම හසුරුවන්න පුලුවන් වන්නේ ශාක ප්‍රජාවයි. ඒ නිසා ප්‍රතම පියවර වශයෙන් ශාක ප්‍රජාව කලමණාකරනයට බාජනය කිරීම ආරම්භ කලයුතු වෙනවා. ඒ සදහා අවශ්‍ය පියවර ගන්නවා.

හොදයි ඔබ සදහන් කරන ශාක කලමණාකරණය කියන්නේ මොකක්ද? ඒකෙන් මේ සමාජයට ඇති යහපත කුමක්ද?  ශාක කියන්නේ ජීවයේ පැවත්මයි. ඒ නිසා මේ මැතිවරණ කොට්ඨාශයේ වෙසෙන ජනතාවගේ ජීවිත වලට මෙම කොට්ඨාශයේ ඇති ශාක ප්‍රජාවගේ බලපෑම කොතරම්දැයි. අපට වටහා ගැනීමට හැකියි. පලමුව මගේ මූලිකත්වයෙන් කොට්ඨාශයේ ශාක සංඝණනයක් සිදු කරනවා. ඒ අනුව මෙහි ඇති ඒ ඒ වර්ගයේ ශාක ප්‍රමාණය සම්බන්ධව දැක්මක් අපට ලැබෙනවා. පොල් ගස් ප්‍රමාණය, කොස් ගස් ප්‍රමාණය දෙල් ගස් ප්‍රමාණය ආදී වශයෙන් සියලූම ආහාර මය වැදගත් කමකින් යුත් සියලුම ශාක හදුනාගෙන, එම ශාක හිමිකරුවන්, පලාතේ ගොවිජන සේවා මධ්‍යස්ථානය හා පලාතේ මන්ත්‍රී වරයා සම්බන්ධීකරණය වූ යාන්ත්‍රණයකින් පලාතේ ඇති සෑම ශාකයකටම පොහොර යෙදීම මගින් පලදාව වැඩි කිරීම හා ඒවා නිසි වෙලාවට නෙලා ගැනීම හා කල්තබා ගැනීම යන කාර්යයන්ට ප්‍රමුකත්වය ලබා දෙනවා.මේ අවස්ථාව වන විට කාර්මික සංවර්ධන මණ්ඩලයේ ආහාර කල් තබා ගැනීමේ සේවාවන් හා ජනතාව ඒකාබද්ධ කිරීමෙන් ඔවුනව මේ යාන්ත්‍රණයට වඩ වඩාත් කිට්ටු කර ගැනීමේ කාර්යය මම ඉටු කරනවා. ඊටපස්සේ අපට හමුවෙනවා දිස්ත්‍රික්කය පුරාම ජනතාව වෙනුවෙන් ගොඩනැංවූ නමුත් මේ වනවිට අතරමංවූ ආයතන රැසක් උදාහරණයක් වශයෙන් සමූපකාරය, ග්‍රාමීය බැංකුව මේ ආයතනත් මෙම යාන්ත්‍රණයට බද්ධ කර ගැනීමත් සමගම මෙම යාන්ත්‍රණයට පලාතේ හැම දෙනාගේම දායකත්වය ලැබෙනවා. දැන් මේ යාන්ත්‍රණය වැඩ කරන්නේ පලාතේ මන්ත්‍රීවරයාගේ හෝ ලේඛම් වරයාගේ යන දෙදෙනෙකුගේ හෝ කීප දෙනෙකුගේ මොලවලින් නො‍වේ පලාතේ ජීවත්වන ජනතාව සතු ලත්ෂ ගනනක මොලවලින් වන අතර, එයින් ලැබෙන සියලුම ප්‍රතිලාබ සෘජුවම ජනතාව අතටම ලැබෙන බැවින් ජනතාව මෙය වැලද ගන්නවා ඇත. මෙයින් සිදුවන විශාලම ප්‍රතිලාභය නම් මන්ත්‍රීවරයා, ජනතාව හා ජනතා උන්නතිය සදහා බිහිකර ඇති නමුත් අතරමංව ඇති ආයතනද අත්වැල් බැද ගැනීමයි. මෙම අවධියට පත්කර ගත් යාන්ත්‍රණයකින් පලාතේ සංවර්ධනය උදෙසා කර ගන්න බැරි දෙයක් නැහැ. මෙය නිවැරදිව ක්‍රියා කරවන මන්ත්‍රීවරයාට ඊලග චන්දයේදී කටවුට් බැනර් උවමනා වෙන්නේත් නැහැ.

ඔව් දැන් අපට පැහැදිලියි ඔබගේ ශාක ප්‍රජාව සදහා වූ යාන්ත්‍රණය හා එහි ප්‍රතිලාභ සම්බන්ධව. අපගේ කාලය අපට හරස් කරනවා. ඔබට ශුභ අනාගතයක්!

චන්ද්‍රසේන පණ්ඩිතගේ විසිනි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress