2021/2023 අධ්‍යයන වර්ෂ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨවලට සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම තවදුරටත් ප‍්‍රමාද කිරීම සම්බන්ධව
Posted on November 17th, 2021

ලංකා ගුරු සේවා සංගමය.

ගරු අධ්‍යාපන අමාත්‍ය, දිනේෂ් ගුණවර්ධන මහතා, අධ්‍යාපන අමාත්‍යංශය, ඉසුරුපාය,
බත්තරමුල්ල. අමාත්‍යතුමනි,
2021/2023 අධ්‍යයන වර්ෂ සඳහා අධ්‍යාපන විද්‍යාපීඨවලට සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් සිසුන් ලියාපදිංචි කිරීම තවදුරටත් ප‍්‍රමාද කිරීම සම්බන්ධව.

අධ්‍යාපන විද්‍යාපීඨවල 2021/2023 අධ්‍යයන වර්ෂ සඳහා මේ වනවිට සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගත් 4000 කට ආසන්න සිසුන් මෙතෙක් අදාළ විද්‍යාපීඨ තුළ ලියාපදිංචි නොකිරීමත්, මේ නිසා එම සිසුන්ට ඔවුන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු හා තීන්දු, තීරණ ගැනීමේදී මුහුණපෑමට සිදු වී ඇති පීඩාවන් සම්බන්ධව ඔබගේ කඩිනම් අවධානය යොමු කරමු.
  1. මෙහිදී 2021/2023 අධ්‍යයන වර්ෂවලට අදාළව සම්මුඛ පරීක්ෂණ කැඳවා තෝරාගත් සිසුන්ගෙන් විශ්ව විද්‍යාලවල ලියාපදිංචි වී ඇති සිසුන් විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව මගින් තහවුරු කරගෙන අවසන්ව ඇති බව වාර්තා වන තත්ත්වයක් තුළ මෙම සිසුන් අදාළ අධ්‍යාපන විද්‍යාපීඨවල ලියාපදිංචි කිරීම් ආරම්භ කිරීමට කිසිදු බාධාවක් මේ වනවිට නොමැත. එසේ තිබියදී මෙය තවදුරටත් ප‍්‍රමාදවීම එම සිසුන්ට මෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ උන්නතියට සිදු කරන බලවත් අසාධාරණයකි.
  2. එමෙන්ම මේ වනවිට අධ්‍යාපන විද්‍යාපීඨ පද්ධතියෙහිම අභ්‍යන්තර සිසුන්ගේ විභාග හා අධ්‍යයන කටයුතු මෙන්ම නවක සිසුන් ඇතුළත් කරගැනීම් වලට බාධාවක්ව තිබෙන අධ්‍යාපන විද්‍යාපීඨ තුළ පිහිටුවා ඇති කොරෝනා ප‍්‍රතිකාර මධ්‍යස්ථාන, කොරෝනා වසංගතය මු`ඵමනින්ම අවසන් වන තුරු නොසිට ඒවා නිදහස් කර ගැනීමට ද කටයුතු කළ යුතුව ඇත. නමුත් මේ වනවිට ඒ සඳහා දීර්ඝ කාලයක් ගතව ඇතත් අධ්‍යාපන අමාත්‍යංශය, දැනට ප‍්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස ඉතිරිව ඇති විද්‍යාපීඨ සියල්ල කඩිනමින් නිදහස් කර ගැනීමට ප‍්‍රමාණවත් උනන්දුවක් නොදැක්වීම ද කනගාටුවට කරුණකි.
  3. එමෙන්ම කොරෝනා වසංගතය හේතුවෙන් වසර 2 කට ආසන්න කාලයක් බිඳවැටී ඇති 43 ලක්ෂයක් සිසු දරුවන්ගේ අධ්‍යාපනය යථාවත් කිරීමේදී විශේෂයෙන් ග‍්‍රාමීය පාසල්වල දැනට පවතින උග‍්‍ර ගුරු හිඟය මේ වනවිට පවතින තත්ත්වය තවත් ව්‍යාකූල වීමට හේතු වී ඇති බවද ඔබට අමුතුවෙන් පෙන්වා දිය යුතු නොවේ. එහෙයින් අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ පවතින අර්බුද මෙන්ම අධ්‍යාපන විද්‍යාපීඨවලට ඇතුළත්වීම සඳහා වසර 03 කට ආසන්න කාලයක් මග බලා සිටින එම සිසුන්ගේ ලියාපදිංචි කටයුතු සිදුකර අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසත් එසේ නොවන්නේ නම් එම සිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ඔවුන් සමග ඉදිරි ක‍්‍රියාමාර්ග ගැනීමට ලංකා ගුරු සේවා සංගමයට සිදුවන බව අවධාරණය කරමු.

මෙයට,
විධායක සභාව වෙනුවෙන්,

මහින්ද ජයසිංහ, ප‍්‍රධාන ලේකම්,
ලංකා ගුරු සේවා සංගමය.

සම්බන්ධීකරණය – 0718297022/0777685038

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress