ඇයි අම්මෙ අම්මා අඬන්නෙ ?
Posted on July 27th, 2015

තිස්ස අබේරත්න

අඬනවට වඩා වෙන මොනව කරන්නද දුවේ. අපේ පවුල දැන් සීසීකඩ. වෙන්න ඕන දේවල් හුඟක්ම වෙලා
ඉවරයි. තව ටික දවසකින් මේ ගෙදර අයිතිය සීබෙල් මුදලාලිට. වත්ත උඩහ කෑල්ල චණ්ඩින්ට ලියල දෙයි. ඊට
පස්සෙ ලිඳෙන් වතුර බොන්නත් මුදලාලිගෙ නීති වලට යටත් වෙන්න වෙයි. සීබෙල් මුදලාලි පෘතුගීසි කාලේ
තිබුනවාහේ ලින් බද්දකුත් ගන්න යනවලු

චූටි නංගි නම් ඉන්නෙ හරිම සතුටෙන්. ඇයි කොළ මාම කියල තියෙනව free wi-fi දෙනව කියල මුලු
වත්තටම. මල්ලිටත් බයිසිකලයක් අරන් දෙනවලු. කඩයක් දාලත් දෙනවලු !

අනේ දුවේ ඒ පොඩි එවුන්ට මේව තේරෙන්නෙ නැහැ. නැති නම් මේ ඉඩමට රණ්ඩු කරල අයියව මරපු චණ්ඩින්ට
එකතු වෙලා තාත්තාට බනීද ?

අම්ම දන්නවද? හාමුදුරු අයියත් දැන් චණ්ඩින් එක්ක එකතු වෙලා. තාත්තාට බනින එක ඇර වෙන වැඩක්
නැහැ. ඉස්සර තිබුන සිල්වත් කම අඩුයි. පවුලේ දියුණුව ගැන නිතර දොඩවපු හාමුදුරු අය්යට මොනව වුනාද
මන්ද ?

මට නම් පුදුම JVP එකට අහු වෙච්ච රතු අයිය. රතු අයියව පොලීසියට අල්ලල දීල දස වද දුන්නෙ කොළ
මාම. දැන් රතු අයිය කොළ මාමගෙ ගෙදර වැඩට ගිහින්. හැබැයි ලැජ්ජ නිසා වෙන්න ඇති හැංගිලා වැඩ.

ඔය ඔක්කොම හොඳට පවුලට හිතවත්ව හිටිය දුවේ. මුදලාලිට කත් අදින කොළ මාම තමයි මේ ගෙදර හුඟක්ම
හැදුවෙ. නරක වෙලාවකටද කොහෙද මේ ඔක්කොම සීබෙල් මුදලාලිගෙයි චණ්ඩින්ගෙයි කූට ගැට වලට අහු
වෙලා.

මට මතකයි අපි ඒ දවස් වල කැලේ නිදියන්න යනව චණ්ඩින්ට බයේ. එදා රෑ චුටි අක්කව මන්නෙන් කපල
මැරුවෙ මොන වරදක් කරලද අම්මෙ ?

එදා අපි හද්ද අසරණයි දුවේ. ගමේ කවුරුවත් අපිට උදවුවට ආවේ නැහැ. නාඩාර් මුදලාලිත් උදවු කරන
නොකරන ගානට හිටියා. ඒ මනුස්සයත් චණ්ඩින්ට බයයි. තම්බි කඩේ මුදලාලියි චීන දත් දොස්තරයි තමයි කෙලින්
උදවු කලේ. රතු අයිය, හාමුදුරු අයිය, ආමි අයිය, තාත්තා එක්ක එකට වැඩකලා. අන්තිමට තාත්තා, අයියල
එකතු වෙලා චණ්ඩින්ට නොඑන්නම පාඩමක් උගැන්නුව. ඒ අතර සීබෙල් මුදලාලිගෙ බෑනා ටයි දාගෙන
ඉංගිරිසියෙන් කතා කර කර චණ්ඩින්ව බේරන්න ආවා. තාත්තාට විරුද්ධව නඩු දානවා කියල බය කලා. තාත්තා
කිවුවා එල්ලුම් ගස් යැවුවත් ඒ ගමන නවත්තන්නේ නැහැ කියල. එදා එහෙම කරපු නිසා තමයි දුවේ අද ඔයා
ලස්සනට ඇඳගෙන, හොඳට ඉගෙනගෙන නිදහස් ලස්සන ජීවිතයක් ගතකරන්නෙ.

මම තාත්තාටත් අයියලටත් සදා නය ගැතියි අම්මෙ. ඒත් ඒත් මට තේරෙන්නෙ නැහැ අපේ පවුලෙ හුඟ දෙනෙක්
තාත්තාට මේ තරමට වෛර කරන්නේ. සතෙකුට වගේ අපහාස කරන්නෙ. ඇයි මේ තරම් නපුරු? ඇත්තටම කියන්න
මොකක්ද හේතුව කියල?

චන්ඩින්ව මර්දනය කලට පස්සෙ තාත්තා වත්ත වටේ තාප්ප දැම්මා, ලයිට් ගත්තා. වතුර නල දැම්මා. වත්ත
ලස්සන කලා. ආයි චණ්ඩින්ට නොඑන්න හොඳ ආවුධ ගත්තා. තාත්තා අතින් සමහර වියදම් වැඩියෙන් වුනා. ඒ
අඳුරන කොන්ත්‍රාත් කාරයන්ට වැඩ බාර දුන්න නිසා කියලයි කොළ මාමල කියන්නේ. කොහොම නමුත් තාත්තා
වැරදි වැඩ කරන සේවකයන්ට දඬුවම් කලේ නැහැ. සීබෙල් මුදලාලියි චන්ඩියි මේ අඩුපාඩු ටික වැඩි කරල
අයියලාව තාත්ත එක්ක කෙටෙවුව. රට ඉන්න නීල ඇන්ටියි, හාමුදුරු මාමයි ඔක්කොම මේ කුමන්ත්‍රණයට
සම්බන්ධයි.

ඒක හරි වැඩක්නෙ. මට නම් හිතෙන හැටියට අපිව බේරා ගත්ත කැප වීමත් එක්ක බැලුවහම තාත්තා අතින්
වෙලා තියෙන්නෙ සුළු වැරදි. අපි ඒ වැරදි වලට සමාව දිය යුතුයි. ඇරත් ඒ වැරදි හදන්න පුළුවන් දේවල්.
මට පෙන්නේ මේ හැමෝම සරුව පිත්තල දේවල් පෙන්නල අයියලව නොසෑහෙන්න රවට්ටලා වගෙයි. අයියල දැන්
හැමෝම කොළ මාමල, මුදලාලිලා සහ චන්ඩිලා එක්ක කරන වැඩෙන් අපි හැමෝගෙම අනාගතය අඳුරේ. ඒක
ආපහු හරවන්නත් බැහැ.

මගෙ දුවේ ඒක තේරෙන්නෙ ඔයාටයි, මටයි, තාත්තටයි, උඩ ඉන්න දෙවියන්ටයි විතරයි. මට ඔයා ගැන දුකයි.

One Response to “ඇයි අම්මෙ අම්මා අඬන්නෙ ?”

  1. ranjit Says:

    Dont be sad dear, all those Rathu Mamala,Kola Aiyala,Thambiyo,Chandiyo will have to find a place to hide after Aug 17th. Just pray for that to happen and help to save our land of birth from those local and foreign coup plotters. Sira/Ranil combination will be same like Ranil/Chandrika in 2002-4 no difference. Now the dividers are together against the man who unite the country in 2009. Unfortunately Rathu Aiya also with the dividers now financed by foreign elements who hates Appachchi. Let’s give a good answer to all coup plotters,Traitors and crooks on Aug 17th by voting MAHINDA RAJAPKSA back to power.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress