වෘත්තීය සමිති නායකයින් සම්බන්ධයෙන්  කැෆේ වෙතින් ජනමාධ්‍ය අමාත්‍යවරයාට ලිපියක් 
Posted on September 13th, 2016

කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධනය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය උපදේශක – දුෂණ විරෝධී පෙරමුණ

පහරදී එලවා දැමීමට යෝජනා කරන වෘත්තීය සමිති නායකයින් පිළිබඳව කැෆේ සංවිධානය ජනමාධ්‍ය අමාත්‍යවරයා වෙත ලිඛිතව දන්වයි. කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා විසින් ගරු ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා වෙත ලිපියක් යොමු කරමින්  2016 සැප්තැම්බර් මස 09 වැනිදා සිකුරාදා දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්/ආයතන ප්‍රධානීන් සමග  ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී රජයේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති නායකයෙකු විසින් ‘මුද්‍රණාලයේ ක්‍රමයට‘ – එනම් පහරදී එලවා දැමීමේ ක්‍රමයට ආයතන ප්‍රධානීන් පන්නා දැමීමට යෝජනා කිරීම සම්බන්ධයෙන් විරෝධය දක්වා තිබේ.

අදාල ලිපිය පහතින් දැක්වෙයි.

 

2016 සැප්තැම්බර් මස 13 වැනිදා 

ගරු ගයන්ත කරුණාතිලක මැතිතුමා,

ජනමාධ්‍ය අමාත්‍යාංශය,

කොළඹ.

ගරු අමාත්‍යතුමනි,

 

2016 සැප්තැම්බර් මස 09 වැනිදා සිකුරාදා දින පාර්ලිමේන්තු සංකීර්ණයේ දී ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන්/ආයතන ප්‍රධානීන් සමග ඔබතුමන් පැවැත්වූ ප්‍රගති සමාලෝචන රැස්වීම හා සම්බන්ධයෙනි.

උක්ත ප්‍රගති සමාලෝචන රැස්වීමේ දී ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ භාතිය ජයතිලක මහතා විසින් කැෆේ සංවිධානය හා එහි විධායක අධ්‍යක්ෂවරයා ලෙස මාගේ නම සදහන් කරමින් සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙනි.

  1. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සේවය කරන සුභාරතී ඇතුළු වැඩසටහන්වලට සම්බන්ධ සුධර්මිකා විජේරත්න මහත්මිය ඇයගේ සේවා වගකීම්වලින් ඉවත් කිරීම සදහා උත්සාහයක් කරන බව අප වෙත දැනගන්නට ලැබුණි. සුධර්මිකා විජේරත්න මහත්මියගේ ස්වාමියාගේ දේශපාලනය කටයුතු හේතුවෙන් ඇයගේ රැකියාවේ වගකීම්වලින් ඉවත් කිරීමට දරණ උත්සාහයට යුක්ති සහගත නොවේ. එබැවින් ඒ පිළිබදව කැෆේ සංවිධානය ගුවන්විදුලි සංස්ථාවේ නිලධාරීන් වෙත ලිඛිත දැනුම්දීමක් සිදු කරනු ලැබීය.
  2. මේ සම්බන්ධයෙන් ගුවන්විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ලේකම් භාතිය ජයතිලක මහතා අපගේ මැදිහත්වීම සම්බන්ධයෙන් උක්ත රැස්වීමේ සත්‍ය නොවන කරුණු දක්වා ඇත. මා විශ්වාස කරන අන්දමින් වෘත්තීය සමිති නායකයින් සිදු කරනුයේ වෘත්තීය අයිතීන් රැකීම මිස ලැජ්ජා සහගත පිළිකුල් අන්දමින් සේවකයින් (සිය කලාත්‍රයාගේ දේශපාලන මතය හේතුවෙන්) ඉවත් කිරීමට දේශපාලන හා ආයතනික බලධාරීන් යොමු කිරීම නොවේ. 
  3. පසුගිය රජය සමයේ, දේශපාලන කටයුතු නිසාත්, පාර්ලිමේන්තු මැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු අපේක්ෂිකාවක් ද වූ ගුවන්විදුලි සංස්ථාවේ ප්‍රියානි ගුණරත්න මහත්මියට මෙවැනි තත්වයක් මතුවිය. එදා ගුණරත්න මහත්මිය අනුරාධපුරයට මාරු කිරීම වලක්වා ගැනීමට කැෆේ සංවිධානය මෙලෙසම මැදිහත් විය. එදා, ‘කොටි ගෑනි‘ යැයි ලේබල් ගසා එලවා දැවීමට උත්සාහ ගත් එජාප ජාතික ලැයිස්තුවේ අපේක්ෂිකාව වෙනුවෙන් එදා ගුවන්විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමය පෙනී නොසිටි බව ඔබට ද මතක ඇතැයි සිතමි. 
  4. එදා රජයේ මර්ධනයට පමණක් නොව ගුවන්විදුලි සංස්ථාවේ හඩු පාලනයට එරෙහිව කටයුතු කිරීමට අපට සිදු විය. එදා ජාතික සේවක සංගමයේ ලේකම් ජයතිලක මහතා මහින්ද රාජපක්ෂ රජයේ ‘ලැප්ටොප්‘ ලාභි මාධ්‍යවේදියෙකු වූවේ යි.   එවකට ජනාධිපතිවරයාගේ ප්‍රවෘත්ති ආවරණය සිදු කළ මාධ්‍යවේදීන්ට නොලැබුණු ‘ලැප්ටොප්‘ එජාප වෘත්තීය සමිතියේ නායකයාට ලැබිණි.
  5. ගුවන්විදුලි සංස්ථාවේ ජාතික සේවක සංගමයේ නිලධාරීන් පාලන අධිකාරියට බලපෑම් කරමින් සිටින්නේ සුධර්මිකා විජේරත්න මහත්මියට වැටුප් ගෙවමින්, කිසිදු වැඩක් නොගෙන, පැත්තකට කර දමන ලෙසයි. මේ සම්බන්ධයෙන් කැෆේ සංවිධානයේ මුල් ලිපියට ප්‍රතිචාර දැක්වූ නැගෙනහිර පළාත් සභාවේ ගරු ආණ්ඩුකාර ඔස්ටින් ප්‍රනාන්දු මහතා අපගේ ෆේස් බුක් පිටුවේ මෙසේ සටහන් තබා ඇත.  ‘I dont know who Ajith Prasanna is. Not worried either. But I must say I have participated in Subharathi and Sudharmika has been coordinating it appreciably well. I wish her talents are made use of rather than to lose them!   
  6. එජාප වෘත්තීය සමිති නායකයෙකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පර්සි සමරවීර මහතා එදා තමාට එරෙහිම වැලිමඩ මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවූ පුද්ගලයා ලේක් හවුස් ආයතනයෙන් පන්නා දමන්නට උත්සහ කරන විට එය වැලැක්වූ පුද්ගලයා වූවේය. ‘දේශපාලනය එකක්.  වෘත්තීය හැකියාව තවත් දෙයක්.‘ එදා රාජ්‍ය සේවා ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සමරවීර මහතා ප්‍රසිද්ධියේ පැවසුවේය.  දක්ෂයින් විනාශ කිරීමේ ක්‍රමයට එරෙහිව කැෆේ සංවිධානය අදත්, හෙටත් අඛණ්ඩව කොන්දේසි විරහිතව පෙනී සිටිනු.  ඒ සදහා අප පාඩම් ඉගෙන ගෙන ඇත්තේ එජාපයේ දැවැන්ත වෘත්තීය සමිති නායකයින්ගෙනි.   
  7. දක්ෂයින් විනාශ කිරීමේ අපරාධයක් බව මා පුද්ගලිකවම උගත්තේ ද ගුවන්විදුලි සංස්ථාවෙන්මය. මා හිත මිතුරු තිස්ස ජයවර්ධන පපුව පැලී මියගියේ එදා දේශපාලනය විසින් ගුවන්විදුලියේ සයිබීරියාවට තල්ලු කිරීමේ වේදනාව නිසාය.  මා මිතුරු තිස්ස ට එදා පාලකයින් උදාකළ ඉරණම තවත් කිසිවෙකුට ගුවන්විදුලිය තුල හිමි නොවිය යුතුය.  
  8. ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් ඔබට හෝ නියෝජ්‍ය අමාත්‍යවරයාට ගුවන්විදුලිය නගා සිටුවීම හැර තෝරාගත් සේවකයින් මර්ධනයට න්‍යාය පත්‍රයක් නොමැති බව කැෆේ සංවිධානයේ විශ්වාසයයි. ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිවරයා හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ද දේශපාලන දඩයමක යෙදෙන පුද්ගලයින් නොවන බව මාගේ අත්දැකීමයි.  එසේ කිරීමට වෙර දරණ පුද්ගලයින් වෙන කිසිවෙකුත් නොව එදා එජාප ජාතික ලැයිස්තු අපේක්ෂිකාව වෙනුවෙන් හෝ පෙනී නොසිටි ‘ලැප්ටොප්‘ මාධ්‍යවේදීන් බව ඉතා පැහැදිලිය.
  9. මේ සියල්ලටම වඩා මෙම ලිපිය ඔබ වෙත යොමු කිරීමට හේතු වූවේ මුද්‍රණාලයේ වෘත්තීය සමිති නායකයෙකු විසින් ‘මුද්‍රණාලයේ ක්‍රමයට‘ – එනම් පහරදී එලවා දැමීමේ ක්‍රමයට – ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ප්‍රශ්ණ විසදීමට යෝජනා කිරීම නිසාය. එයට අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු ගේ වක්‍ර අනුග්‍රහය ප්‍රගති සාමාලෝචන රැස්වීමේ දී පළ වූ නිසාය.  යම් සංස්ථාවක පරිපාලන නිලධාරීන් ‘පහරදී එළවා දැමීමට‘ වෘත්තීය සමිති යෝජනා කිරීමත් එයට අමාත්‍යාංශයේ ඉහළම නිලධාරියෙකු අනුබල දීමත් ඉදිරියේ දී ඇති විය හැකි තත්වය පිළිබද අනතුරු ඇගවීමක් ලෙස අප දකිමු.  
  10. කැෆේ සංවිධානය හෝ මම පුද්ගලිකව සහභාගි නොවු, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සහ ආයතනවල ඉහළම නිලධාරීන් සියලු දෙනා සහභාගිවූ රැස්වීමක ඉදිරිපත් වු කරුණු පිළිබද අපගේ ස්ථාවරය පැහැදිලි කිරීම සදහා මෙම ලිපිය ඔබතුමන් වෙත යොමු කළ බව ඉතා කරුණිකව සලකන්න.

මෙයට විශ්වාසී,

 

කීර්ති තෙන්නකෝන්

විධායක අධ්‍යක්ෂ/කැෆේ සංවිධනය සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කෙන්ද්‍රය

උපදේශක – දුෂණ විරෝධී පෙරමුණ

 

  1. පිටපත – ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා – කරු පරණවිතාන මහතා
  2. ලේකම් – ජනමාධ්‍ය අමාත්‍යාංශය
  3. සභාපති ගුවන්විදුලි සංස්ථාව
  4. සභාපති රූපවාහිනී සංස්ථාව
  5. සභාපති ස්වාධීන රූපවාහිනිය
  6. සභාපති ලේක් හවුස් ආයතන
  7. සභාපති චිත්‍රපට සංස්ථාව
  8. සභාපති ලංකා පුවත්
  9. සභාපති රූපවාහිනී අභ්‍යාස ආයතනය
  10. සභාපති සැලසිනේ
  11. සභාපති පුවත්පත් මණ්ඩලය
  12. අධ්‍යක්ෂ ජෙනරාල් – රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව
  13. සභාපති රජයේ මුද්‍රණ නීතිගත සංස්ථාව
  14. රජයේ මුද්‍රණාලය – මුද්‍රණාලයාධිපති
  15. අමාත්‍යාංශයේ සියලුම අතිරේක ලේකම්වරු

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress