සිඳු ටෙලි නාට්‍යයේ එන නන්දිපාල
Posted on May 6th, 2017

උපුටා ගැන්ම සිළුමිණ

ගුරුකමක් කරල දෙන්නැයි සමහරු මගෙන් ඉල්ලනවා

නන්දිපාල මේ දිනවල රූපවාහිනී ප්‍රේක්ෂකයින් විශේෂයෙන්ම කුඩා දරුවන් අතර ඉතා ජනප්‍රිය චරිතයකි; බැලු බැල්මට නන්දිපාල කළු චරිතයක් ලෙස පෙනුණ ද බොහෝ ප්‍රේක්ෂකයින් ඔහුට ආදරය කරන්නේ එම චරිතය තුළින් මානුෂීය ගුණාංග කීපයක්ම ඉස්මතු වන නිසාය. එසේම නන්දිපාලගේ චරිතය නිරූපණය කරන රංගන ශිල්පී ජයන්ත මුතුතන්ත්‍රි එම චරිතය නිරූපණයේදී පෙන්වන ප්‍රතිභාව ද එම චරිතය ජනප්‍රිය වීමට හේතු වී ඇත.

 නන්දිපාල, දැන් හරි ජනප්‍රියයි වගේ…

ඇත්තෙන්ම ඔව්, සිඳු ටෙලි නාට්‍යයේ එන නන්දිපාලගේ චරිතය සමාජයේ සෑම වයස් මට්ටමකම සිටින අය ගොඩක් ආදරයෙන් වැලඳගෙන තියෙන බව පේනවා.

මෙවැනි ජනප්‍රියතාවක් හිමි වේවි කියලා ඔබ හිතුව ද?

මේ චරිතය මෙතරම් ප්‍රේක්ෂකයින් අතරට යයි කියලා නම් මට හිතුණේ නෑ. නමුත් ටෙලි නාට්‍යයේ පිටපත නම් ඉතාම පොහොසත්. නිර්මාණය සාර්ථක වෙයි කියලත් මට හිතුණා. එහෙත් මෙම ටෙලි නාට්‍යය ඒ වගේම නන්දිපාල කියන චරිතය මේ තරම් වැලඳ ගනීවි කියලානම් මට හිතුණේ නෑ.

 

නන්දිපාල කළු චරිතයක් ද?

ඔව් කළු චරිතයක් තමයි. නමුත් ප්‍රේක්ෂකයින් මගේ චරිතය දිහා බලන්නේ තරහකින් නෙමෙයි. බොහෝ ප්‍රේක්ෂකයින් නන්දිපාලගෙ චරිතය කළු චරිතයක් විදියට දකින්නෙත් නෑ. ඒ චරිතය ගැන මඟතොටේදී හමුවන ප්‍රේක්ෂකයින් ඉතාම ආදරයෙන් කතා කරනවා.

කොහොමද ඔබ රංගනයට එන්නෙ…?

මම හම්බන්තොට. උසස් පෙළ සමත් වුණාට පසුව රංගනයට ඇති කැමැත්ත නිසාම පරාක්‍රම නිරිඇල්ල මහතාගේ ජන කරළිය නාට්‍ය කණ්ඩායමට සම්බන්ධ වුණා. ඒ මඟින් පැවැත්වූ වැඩමුළු සියල්ලටම මම සහභාගි වුණා. 2006 සහ 2012 රාජ්‍ය නාට්‍ය උලෙළවල චරන්දාස්, මැටි කරත්තය නාට්‍යවල හොඳම වේදිකා නළුවා සම්මානය මට හිමි වුණා. වේදිකාව තමයි මගේ ජීවිතය. මගේ ජීවිතය ගොඩනැඟුණේ වේදිකාව මත. අවුරුදු ගණනාවක් වේදිකාවේ ලෑලි පාගලා ලබාගත්ත දැනුම අත්දැකීම් තමයි මම අද වෙනත් මාධ්‍යයන් හරහා බෙදාහදා ගන්නේ.

ඔය අතරේ ඔබ සිනමාවටත් පිවිසෙනවා නේද?

ඔව්; කිසියම් රංගන ශිල්පියකුට සිනමාව තුළ තම ප්‍රථම රංගනය සඳහාම ප්‍රධාන චරිතයක් රඟපාන්න අවස්ථාව ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ අවස්ථාව මට හිමි වුණා. ඒ සෝමරත්න දිසානායක නිර්මාණය කළ ‘බිංදු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රඟපෑමෙන්. මම ඒ චරිතයට සාධාරණයක් කළා කියල අධ්‍යක්ෂවරයාගේ තෘප්තිමත් වීමෙන් වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාරවලිනුත් මට දැනුණා.

මොනවද ඔබ රංගනයෙන් දායක වුණු වෙනත් වේදිකා නාට්‍ය…?

ජයලත් මනෝරත්නයන්ගේ බූරුවා මහත්තයා. සෙල්ලන් නිරිඳු සහ තල මල පිපිලා යන වේදිකා නාට්‍යවල මම රඟපෑවා.

නළුවෙක් වීමේ හීනයක් බලාපොරොත්තුවක් පාසල් යන කාලේ තිබුණ ද?

නැහැ. නළුවෙක් වීමේ හීනයක් නම් තිබුණේ නෑ. නමුත් කලාවට ආශාවක් කැමැත්තක් තිබුණා. ඒකට හේතුව තමයි මගෙ තාත්ත ටීටර්වලට ගමේ තිබුණු නාට්‍යවලට සම්බන්ධ වෙලා සිටීම. තාත්තට තිබුණු හැකියාව තමයි මටත් පිහිටන්න ඇති කියලා හිතෙන්නෙ. පාසලේදී අපට උගන්වපු නිහාල් සර් මම කලාවට සම්බන්ධ වෙන්න විශාල බලපෑමක් වුණා. නිහාල් සර් තමයි අපිව වේදිකාවට ඇදලා දැම්මේ. අපේ සබකෝලය නැති කළේ. අද මම ජාතික මට්ටමට ඇවිත් තියෙනවානම් ඒකට ප්‍රධාන හේතුව තමයි නිහාල් සර් මට දැක්වූ දායකත්වය. මනෝරත්න, සෝමරත්න දිසානායක, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි මේ ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තයින් සමඟ වැඩ කරන්න මට අවස්ථාව ලැබුණේ පාසලෙන් ලැබුණු පන්නරය නිසයි.

ඔබ වේදිකාවට ගොඩක් ආදරෙයි වගේ…?

ඇත්තෙන්ම ඔව්. වේදිකාව මතින් ලැබෙන අධ්‍යාපනයේ මහ විශාල වටිනාකමක් තියෙනවා. රංගනය කියන්නේ විද්‍යාත්මක විෂයක්. වෛද්‍යවරයෙක් මිනිස් ශරීරය ගැන අධ්‍යයනය කරලා බෙහෙත් දෙනවා වගේ රංගන ශිල්පියෙකුත් මිනිසකුගේ සෑම ඉරියව්වක් පිළිබඳවම අධ්‍යයන කළ යුතුයි. එම අධ්‍යයනය සඳහා හොඳම තැන තමයි වේදිකාව. ඒ මොකද වේදිකාවේදී කෙරෙන අභ්‍යාස ඉතාම වැදගත්. රංගන ශිල්පියකුට අවශ්‍ය මූලික අඩිතාලම වැටෙන්නේ. වේදිකාව මතින් කියලා මම දැඩිව කියන්නේ ඒ නිසයි.

ඔබ මෙතෙක් රඟපා ඇති ටෙලි නාට්‍ය මොනවා ද?

මගේ මුල්ම ටෙලි නාට්‍ය තමයි ජාතික රූපවාහිනියෙන් විකාශය වුණු ‘හිරු දරුවෝ’. ඉන් පසුව ටෙලි නාට්‍ය ගණනාවකම වැඩ කරන්න මට අවස්ථාව ලැබුණා.

ඔබට පෙම්වතාගේ චරිතය රඟපාන්න ලැබිල නැද්ද?

මා මෙතෙක් රඟපෑ කිසිම නිර්මාණයක මගේ නියම වයසට ගැළපෙන චරිතයක් කරල නෑ. සමහර ටෙලි නාට්‍යවල දරුවො දෙතුන් දෙනෙක් ඉන්න තාත්ත කෙනෙක්. තවත් නිර්මාණයක වයසක චරිතයක්. හැබැයි ඒ චරිත තුළ යමක් කරන්න තිබුණා.

ඔබ දැන් වෘත්තීය වශයෙන්ම රංගනයේ යෙදනවා ද?

මම ඉංජිනේරු කාර්යන් පිළිබඳ මධ්‍යම කාර්යාංශයේ වැඩ පරීක්ෂකවරයෙක් හැටියට අවුරුදු කීපයක්ම වැඩ කළා. නමුත් මම දැන් පූර්ණ කාලීනව කලාවේ යෙදිල ඉන්නවා. මම පිටපත් රචනයේත් යෙදී ඉන්නවා රංගනයට අමතරව. 2012 අවුරුද්දේ ළමා නාට්‍ය උලෙළේ හොඳම නාට්‍ය බවට පත්වුණේ මම රචනා කර නිර්මාණය කළ නාට්‍යයක්. ඒ ‘දඬුවමත් නරක නෑ’ ළමා වේදිකා නාට්‍ය. ඉදිරියේදී මම වැඩියෙන් පිටපත් රචනයේ යෙදෙන්න බලාපොරොත්තුවක් තියෙනවා.

නන්දිපාල චරිතය නිසා ඔබ ලැබු සුවිශේෂ අත්දැකීම් ඇති…?

අපොයි ඔව්; ගොඩක් තියෙනවා. ළමයි පිරිසක් ඉන්න තැනකින් ගියොත් එහෙම නන්දිපාල කියලා ළමයි කෑගහනවා. ළමයි ඒ තරම්ම මේ චරිතයට කැමැතියි. මේ ළඟදි මම බස් එකේ ගමේ යන්න ගියා. බස් එකේ මම ඉඳගෙන හිටිය සීට් එකේ ඉඳගෙන හිටිය අනෙක් කෙනා තරුණ කෙනෙක්. බස් එකට ටිකට් ගන්න විට ඔහු මටත් එක්ක ටිකට් එකක් ගත්තා. ඔහු මට ටිකට් ගන්න දුන්නේ නෑ. මම ඇහුවා ඇයි කියලා. ඔහු මට කිව්වා ඔයාගෙ රඟපෑම් හොඳයි මම ඒ හැකියාවට ගරු කරනවා කියලා. එහෙම කියලා ඔහු මට විහිළුවට වගේ කිව්වා ගුරුකමක් කරල දෙන්න බැරි ද කියලා. ඒ වගේ ගොඩක් අත්දැකීම් මේ නන්දිපාල චරිතය නිසා මට ලැබිල තියෙනවා.

මොන වගේ අරමුණු එක්ක ද ඔබ ජීවත්වෙන්නෙ…?

අපි ගමෙන් නගරයට ඇවිල්ල කලාවත් එක්ක ජීවත්වෙන්න හදන මිනිස්සු. ඒ වගේම පොළොවෙ පය ගහල ජීවත්වෙන මිනිස්සු මම විශ්වාස කරනවා කලාකරුවෙක් විදියට මගෙන් මේ සමාජයට යම් මෙහෙවරක් විය යුතුයි කියලා. ඒ යුතුකම තවම මගෙන් වෙලා නෑ. ඒ වෙනුවෙන් මම වෙහෙසනවා. 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress