ආණ්ඩු මට්ටුව
Posted on January 5th, 2018

උපුටාගැණීම  මව්බිම

‘කවදාවත් ආණ්ඩුවක් ආව ගමන් තියෙන පුංචි ඡන්ද ආණ්ඩුව පැරැදිලා නෑ.’
ඡන්දය ගැන ආණ්ඩුව කියන්නේ එහෙමය.
‘ඕවා දුකට කියන කවි සීපද’

විපක්ෂය කියන්නේ එහෙමය.
‘ඒ කියන්නේ ආණ්ඩුව පරදියිද?’
‘ඒක එහෙම කියනවට වඩා අපි කල්පනා කරලා බලමුද දිනන්න බැරි ඇයි කියලා’
ඉලක්කම් සෙල්ලම එක්ක බැලුවම ආණ්ඩුව පරදින එක ගැන කතා කරන්නට දෙයක් නැත. 2015 මහ මැතිවරණයේ ප්‍රතිඵලය අනුව එක්සත් ජාතික පක්ෂය ගත්තේ ඡන්ද 5,098,927ක්ය. එහි ප්‍රතිශතය 45.66% විය. එක්සත් ජනතා නිදහස් සන්ධානය ඡන්ද 4,732,669ක් ගත් තර ප්‍රතිශතය 42.38%ක් විය. එදා ආණ්ඩුව ඡන්දෙට ගියේ සියලු වාසි ළඟ තියාගෙනය. ඒ ආණ්ඩුවේ මධුසමය තරම් සුන්දර කාලයක් විය. හැබැයි එහෙම වෙලත් 71න් පස්සේ 113ක් දිනා ගන්නට බැරි වෙච්ච ආණ්ඩුවක් බිහිවිය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ‘ඊනියා’ සහයෝගය නොවන්නට එජාපයට වෙන්නේ ‘ආණ්ඩුව හදන්න’ වෙනත් පක්ෂවලින් ‘ගලවන්නටය.’

අද පුරසාරම් ‍ෙදාඩවන එජාපය මොන වහසිබස් දෙඩුුවද ලබාගත්තේ ආසන 93ක්ය. ඒ කියන්නේ ජනාධිපතිව දිනවන්න මිනිස්සු එළියට ආවට යූ.ඇන්.පි.ය දිනවන්න මිනිස්සු එළියට බැස්සේ නැත.

උණුසුම් පිට එජාපය ගත්තේ ආසන 93ක් නම් දැන් වෙන දේ ගැන කතා කරන්නට දෙයක් නැත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවිදියකට මැතිවරණයට ඇවිල්ලාය. සමහර තැන්වලට අත ලකුණෙන්ය. සමහර තැන්වලට බුලත් කොළෙන්ය. එදා මෛත්‍රි ආණ්ඩුව හදන්නේ එජාප ඡන්දවල ශක්තියෙන්ය. ශ්‍රී ලංකා කාරයෝ එදා මෛත්‍රිට ඡන්දය දුන්නේ නැත. ඔහුට එජාප ඡන්දවලට අමතරව ලැබුණේ ටී.එන්.ඒ. ඡන්ද, ජවිපෙ, හෙළ උරුම, මුස්ලිම් කොංග්‍රසය වගේ පක්ෂවල ඡන්දය. ශ්‍රී ලංකාකාරයෝ ඡන්ද දුන්නේ මහින්දටය. මෛත්‍රිට දුන්නා නම් වැඩිම වුණොත් ඡන්ද 50,000ක් වැටෙන්නට ඇත. මෛත්‍රිව දින වූ එජාපය දැන් ඉල්ලන්නේ වෙනමය. ජවිපෙ ඉල්ලන්නේත් වෙනමය. ටී.එන්.ඒ. ඉල්ලන්නේත් වෙනමය. එහෙම බැලුවම හුදකලා වී සිටින්නේ ශ්‍රී ලනිපය. ‘ගමයි රටයි’ දෙකම නිදහසට කීවට ඡන්දදායකයෝ නැතිව ඒක කරන්නේ කොහොමද කියලා කියන්න දන්නේ නැත. එහෙම බැලුවම මේ ඡන්දෙන් පස්සේ ශ්‍රී ලනිපය තුන්වැනි බලවේගය වෙලා ජවිපෙ එක්ක කරට කර තරගයක් දෙනු ඇත.

‘පිස්සුද, ශ්‍රී ලංකා එක තුන?’
කෙනෙක් එහෙම අහන්නට බැරි නැත. හැබැයි එහෙම වුණොත් පුදුම වෙන්නත් හේතුවක් නැත.
ශ්‍රී ලංකාකාරයෝ මේ වෙලාවේ ඉන්නේ මහින්ද එක්කය. ඒකේ සඟවන්න දෙයක් නැත.
‘ඒ කියන්නේ පොහොට්ටුව දෙකද?’
‘නෑ. පොහොට්ටුව දිනනවා’
‘දිනන්නේ කොහොමද?’
ඒකට දෙන්න ඕන උත්තරෙන් භාගයක් මුලින් කියා තිබෙනවාය.
මෛත්‍රියි, එජාපයයි දැන් යන්නේ වෙනමය. ආණ්ඩුව හොඳ නම් එකට ආණ්ඩු කරන පක්ෂ දෙක වෙනම ඉල්ලන්න ඕන නැත. වෙනම ඉල්ලන්නේ ‘යාදෙක නොරත රත’ නිසාය. පත්වෙනකොට තිබ්බ තරමේ ප්‍රසාදයක් මේ ආණ්ඩුවට දැනුත් තියෙනවා කියලා කවුරුහරි හිතනවා නම් ඒක උමතු රෝගයක ලක්ෂණයක්ය. මිනිස්සු ඉන්නේ ආණ්ඩුව තිත්ත වෙලාය. ඇමැති දුමින්ද පොළොන්නරුවේදී ඡන්දය ගැන කතා කරද්දී මිනිස්සු බනින්නේ තිත්තෙන්ය.
‘අපිට ඡන්ද එපා. පොහොර ටික දෙන්න’

මිනිස්සු ප්‍රසිද්ධියේම කීහ. ආණ්ඩුව එනකොටම කළේ මහ බැංකුව කොල්ල කන එකය. රටේ බලයට පැමිණි ජාතික පක්ෂ මහ බැංකුවෙන් හොරා කෑවා මෙන්ම ගමේ බලය ලබාගෙන සමුපකාර බැංකුවෙනුත් හොරා කනු ඇතැයි අනුරලා කියන්නේය. ‘හොරකම් නතර කරන්න ආපු ආණ්ඩු ජනතාවට මෙතරම් වංචා කරනවද? බැඳුම්කර වංචා මඟින් වසරක ලාභය රුපියල් කෝටි 530. රුපියල් 1,000 නෝට්ටුවලින් ගෙන එකතු කළහොත් ගඩොල් පෝරණු දෙකක් තරමට විශාලයි. කෝටි 530යි කියන එක සරලයි. නමුත් බලන්න මම ඔයාලට කියන්නම් මේ වංචාව තේරෙන විදියට.

ලක්ෂයකට 1,000 කොළ 100යි. කෝටියකට 1,000 කොළ 10,000යි. සාමාන්‍යයෙන් 1,000ක කොළ 500ක් බන්ඩල් ගැහුවොත් ගඩොල් කැටයක ප්‍රමාණයක් එතකොට 1,000 කොළ 500 බන්ඩල් 20ක් වෙනවා. කෝටියකට එතකොට එතැන පෙනුම ගඩොල් කැට 20ක විතර පෙනුම. එතකොට රුපියල් කෝටි 530ක් කියන්නෙ ගඩොල් කැට 10,600ක්. ඒ කියන්නෙ ගඩොල් පෝරණු දෙකක් 1,000 කොළ. පේනවද රටට කරල තියෙන විනාශය. අර්ජුනගේ ලාභය ගඩොල් පෝරණු දෙකක් වගේ. ඒක රටටම කරපු මහ විනාශයක්.’

කොල්ලයේ තරම අනුර දිසානායක කියා දුන්නේ එහෙමය. එහෙම බැලුවම මෛත්‍රි ඉන්නේ මෙතෙක් ලොකුම හොරකම වෙච්ච ආණ්ඩුවේය. ආණ්ඩුවට මේ මහා වංචාවෙන් සුදනෝ වෙන්න බැරිය. අවුරුදු 6කට ආව ආණ්ඩුවේ ඇමැතිවරු දෙන්නෙක් ඉල්ලා අස්වෙන්නේ වංචා චෝදනා හින්දාය.
දැන් ආණ්ඩුවේම කචල්ය. එකෙනෙකා මරගන්නා තරම්ය. කැබිනට් එක ගිනිගත්ත ගමන්ය. ආණ්ඩුවේ පසු පෙළ මෛත්‍රිට ගහනකොට ආණ්ඩුවේම ශ්‍රී ලංකා පිල රනිල්ටයි එජාපයටයි ගහන්නේය.

‘එදා මහින්ද රාජපක්ෂට වැඩ කරපු එවුන් අද අපට ඇවිල්ලා කියනවා අපි කොහොමද මේ ආණ්ඩුව කරගෙන යන්න ඕන කියලා.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුලින් මුලින් මේ තරගයෙ හතරවැනියට විතර වැටිල හිටියේ. දැන් පොඩ්ඩ පොඩ්ඩ ඔළුව උස්සනව පොහොට්ටුව වැටිල ගිය නිසා. දැන් අපිට එහෙං මෙහෙං කෙළින්න හදනවා.

“දැන් අපිට බොරුවට මහ බැංකු කතා එකා දෙකා කිය කිය එනවා. කියපල්ලකො බලන්න තොපිලගේ ඒවත් ඔක්කොම අපි කියන්න. ඔය පරණ හොරු ටික ඔක්කොම මෙතැනට ආවෙ ඇමැතිකම් ගත්තෙ උන්ගෙ හොරකම් වහගන්න’ එහෙමම කියන්නේ හරීන්ය. ‘මේ ආණ්ඩුවේ ඉන්නේ කලකිරීමෙන්.’ එහෙම කියන්නේ සුජීවය. ඇල්වතුර ටිකටත් පොලු තියපු මිනිසුන්ට දැන් ඇමැතිකම් දෙනවා. ගුරුවරියො දණගස්වපු අයට සංවිධායකකම් දෙනවා. රණවිරුවන්ගේ අරමුදල් කොල්ලකාපු අය අද යූ.ඇන්.පි.යට කුණු දාන්න හදනවා. අපි පක්ෂයක් විදියට කවදාවත් දූෂිතයන්ට තනතුරු දීලා නෑ. ඒත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දූෂිතයෝ අපට චෝදනා කරනවා. මේ අය කතා කරන්නෙ කටින්ද වෙන මොකකින් හරිද කියලා හිතාගන්න අමාරුයි යැයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රි තුෂාර ඉඳුනිල්ය.
‘හොරු ඉන්නේ එජාපයේ’ එහෙම කියන්නේ දයාසිරිය.
බැඳුම්කර වාර්තාව ගැන මෛත්‍රිගේ ප්‍රකාශයෙන් යූ.එන්.පී. අන්දුන්කුන්දුන්ය. කාඩ්බෝඩ් වීරයෝ වෙන්න ගිය ‘රවි’ලා කුජීතය. තවදුරටත් දේශපාලන ගැන රවිලා හිතනවා නම් ඒ ලැජ්ජාව නැතිකම නිසා මිසක් ඉන් මෙහාට දේශපාලනය ගැන හිතන එක පුදුමය. මේක කල් ඇතිවම මහින්දලා දැන සිටියේය.

‘ආණ්ඩුවෙන් එළියට එන්න, අපි එකතුවෙමු’
මහින්දලා දිගින් දිගටම කීවේය. හැබැයි ජනපදනමක් නැති, අවස්ථාවාදීන් ඊට එරෙහි විය. තනතුරු ලෝබකමෙන් වරදාන අත් හරින්න අකැමැති වූ තණ්හාවෙන් පිරිච්ච පිරිස ඒ අවස්ථාව අත් හැරියේය. දැන් ආණ්ඩුව සූදානම් වන්නේ ඒකාන්ත පරාජයටය. මේ මොහොතේ වැඩි වාසිය පොහොට්ටුවටය.
කොහොම බැලුවත් දැන් තියෙන්නේ සිවුකොන් සටනක්ය. හැබැයි ප්‍රායෝගිකව තිබෙන්නේ පිල් දෙකක සටනක්ය. ඒ පොදුජන පෙරමුණ සහ එජාපය අතර සටනක්ය. අවසන් විග්‍රහය වන්නේ ශුද්ධ ඡන්ද ප්‍රතිශතයක් හිමි පොදුජන පෙරමුණ වාසිය අත්කර ගැනීමය.

‘ඒ කියන්නේ බලය තියෙන ආණ්ඩුව පුංචි ඡන්දය පරදිනවා?’
ඒක දැන ගන්න තව ටිකක් ඉවසන්න ඕනය.

One Response to “ආණ්ඩු මට්ටුව”

  1. Christie Says:

    සිරිසේන වේට්ටිය උඩ්ටම උස්සගෙන එයා පත්කරපු කොමිසන් වාර්තාව ගැන අපිට උජාරු.
    මෙයාමනෙ අර්ජුන පත්කිරීමට අත්සන ගැහැව්වෙත්.
    කොමිසන් වාර්තාව පෙන්නනව සිරිසේන පත්කරපු අර්ජුන කරපු වන්චාව හා රටටම කරපු පාඩුව.
    සිරිසේන මුලුවගකීම බාරගන්න ඕනි.
    රනිල්ට, රවිට හා වෙනත් අයට වගකීම පවරන්න බැහැ.
    සිරිසෙනගේ කඩුතලය මතට ඔහුම වැටිය යුතුය.
    Sirisena is carrying on about the Commission he appointed and its report on the biggest financial fraud in the country.
    He is the one who finally appointed Arjuna Mahendran by signing the documents of Arjuna’s apoointment.
    The Commission Report details the fraud, amount lost to the nation by sirisena’s appointment.
    Sirisena should take full responsibility for the appointment of Arjuna Mahendran.
    He cannot pass the responsibility to Ranil or Ravi or anyone else.
    Sirisena Should fall on his own sword.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress