බැඳුම්කර වංචාවේ මුදල් අයකර ගත හැකිද? – රට යන අත
Posted on January 5th, 2018

ජනිත සෙනෙවිරත්න උපුටා ගැන්ම දිවයින

හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා අසම්මත හා සාවද්‍ය අන්දමින් බැඳුම්කර වෙන්දේසියට මැදිහත්වී, අභ්‍යන්තර තොරතුරු පිටතට දීමෙන් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම මාස පහක කාලයක්‌ තුළදී මිලියන 11,145 ක ලාභයක්‌ ලබා ඇති බව බැඳුම්කර කොමිසමේ වාර්තාව ප්‍රසිද්ධියට පත්කරමින් ජාතිය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
 
 මහා බැංකු බැඳුම්කර වංචාව මුලසිටම මනා ලෙස සැලසුම් කළ බවක්‌ පෙනෙන්නට තිබේ. අර්ජුන මහේන්ද්‍රන් මහා බැංකු අධිපති තනතුරට පත් කරනවාට ජනාධිපතිවරයා මුල සිටම විරුද්ධ විය. මේ සඳහා සුදුසු වෙනත් කිසිවකු නැත්දැයි ජනාධිපතිවරයා එදා එම පත් කිරීම සිදුකළ මොහොතේ විමසා තිබේ. එදා එම පත් කිරීමට රාජිත සේනාරත්න, විඡේදාස රාජපක්‌ෂ, චම්පික රණවක යන මහත්වරුද විරුද්ධ වෙද්දී එම පත් කිරීම සිදු විය. කෙසේවෙතත් අවසානයේ මුළු රටටම අද ඊට වන්දි ගෙවන්නට සිදුව තිබේ. මෙහිදී අදාළ තත්ත්වය ඇතිකළ පිරිස, පාර්ලිමේන්තුව නොමග යෑවූ පිරිස මෙන්ම කෝප් කමිටු තොරතුරු පිටට ලබාදුන් හා වංචාවට සම්බන්ධ පිරිස්‌ සමඟ ගනුදෙනු කළ කෝප් කමිටු සාමාජිකයන් ගැන ද පියවර ගත යුතුව තිබේ. මේ අතර බරපතළ වංචා, දූෂණ, රාජ්‍ය සම්පත්, වරප්‍රසාද, බලය සහ අධිකාරිය අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා වූ ජනාධිපති පරීක්‌ෂණ කොමිසමේ අවසන් වාර්තාව පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත භාර දෙන ලදී.
 
 පිටු 1135 කින් සමන්විත මෙම වාර්තාව කොමිසමේ සභාපති පී. පද්මන් සූරසේන මහතා විසින් ජනාධිපතිවරයා වෙත භාර දෙනු ලැබූ අතර කොමිසමේ ලේකම් එච්.ඩබ්. ගුණදාස මහතා සහ සෙසු සාමාජිකයන් වන විකුම් කළුආරච්චි, ආර්. රණසිංහ, ගිහාන් කුලතුංග සහ පී.ඒ. ප්‍රේමතිලක යන මහත්වරු ද ඒ අවස්‌ථාවට එක්‌ව සිටියහ.
 
 මේ අතර මහ බැංකු බැඳුම්කර වංචාව පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි සහ බරපතළ වංචා දූෂණ රාජ්‍ය සම්පත් අනිසි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් පත්කරන ලද ජනාධිපති කොමිසමේ වාර්තාවෙහි ඇතුළත් කරුණු පිළිබඳ පාර්ලිමේන්තු විවාදයක්‌ පවත්වන ලෙස ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂය ඉල්ලීමක්‌ කර ඇත.
 
 එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ මහ ලේකම්, ඇමැති මහින්ද අමරවීර මහතා පවසන්නේ පාර්ලිමේන්තුව වෙනම කැඳවා හෝ මෙම විවාදය පවත්වන ලෙසය. 
 
 පාර්ලිමේන්තුව තුළ විවාද කිරීමේදී අවශ්‍ය ඕනෑම දෙයක්‌ හෙළිදරව් කළ හැකි නිසා මෙම විවාදය අතිශය තීරණාත්මක වනු ඇත.
 
 මේ අතර බැඳුම්කර කොමිසමේ වාර්තාව දැන් ඉදිරි කටයුතු සඳහා ලැබී තිබෙන්නේ නීතිපතිවරයා අතටය. මේ නිසා ඔහුට පැවරී තිබෙන වගකීම සුළුපටු නැත. ඔහු ගන්නා ක්‍රියාමාර්ග දෙස රටම බලා සිටින අතර එම වගකීමෙන් ජනාධිපතිවරයාට හෝ රජයටද මිදිය නොහැක.
 
 එසේම බැඳුම්කර වංචාවට අදාල මුදල් යළි අයකර ගන්නට දැනට නීතිමය ක්‍රමවේදයක්‌ නොමැත. එම නිසා එම මුදල අයකර ගන්නට නව නීති ඇති කළ යුතුය. අධිකරණ ක්‍රියාවලියකදී පවතින නීති රාමුව තුළ කවරක්‌ සිදුවේද යන්න රටම බල සිටී.
 
 මේ අතර පසුගිය දෙසැම්බර් 9 වැනිදා පාර්ලිමේන්තුවේ සම්මත කර ගත් පළාත්පාලන මැතිවරණ සංශෝධනවලදී බහු මන්ත්‍රී කොට්‌ඨාසවලට මන්ත්‍රීවරුන් පත්කර ගැනීමේ ක්‍රමවේදය නිසා ඉදිරියේදී අහිතකර ප්‍රතිඵල ඇතිවීමේ අවදානමක්‌ ඇතිවී තිබේ.
 
 බහු මන්ත්‍රී කොට්‌ඨාස ඇති කිරීමේ ලොව පිළිගත් ක්‍රමය වන්නේ ආසන තුනක්‌ ඇති බහු මැතිවරණ කොට්‌ඨාසයක්‌ සඳහා වන මැතිවරණයකදී වැඩිපුර ඡන්ද ලබාගත් පක්‌ෂයේ අපේක්‌ෂකයා පළමු මන්ත්‍රීවරයා ලෙස ද දෙවැනියට වැඩිපුර ඡන්ද ලබාගත් පක්‌ෂයේ අපේක්‌ෂකයා දෙවැනි මන්ත්‍රීවරයා ලෙසද තෙවැනියට ඡන්ද ලබාගත් පක්‌ක්‌ෂයේ අපේක්‌ෂකයා තෙවැනි මන්ත්‍රීවරයා ලෙස ද පත්වීමය. මෙවර සංශෝධනයේදී පාර්ලිමේන්තුවේ මුලින් තිබූ පනත් කෙටුම්පතේ මේ ක්‍රමය පැවතිය ද අවසානයේ සම්මත කරගෙන ඇත්තේ අදාළ ඡන්ද කොට්‌ඨාසය ජයග්‍රහණය කරන පක්‌ෂයට මන්ත්‍රී ධුර තුනම හිමි වන ලෙසට ගෙන ආ යෝජනාවකි. මෙවර කොළඹ මහා නගර සභාවේ ආසන දෙකක්‌ හෝ තුනක්‌ සහිත බහු ආසන 19 කි. එම නිසා මෙය බරපතළ තත්ත්වයකි. එපමණක්‌ නොව දෙමළ හා මුස්‌ලිම් පක්‌ෂ වෙනම තරග කරන තත්ත්වයක්‌ තුළ බහු ආසනයක්‌ මන්ත්‍රීවරු සියලු දෙනා එක ජනවර්ගයක්‌ නියෝජනය කිරීමේ අවධානමක්‌ද මතුවී තිබේ. 
 
 මෙය හදිසියේ සම්මත කරගත් නිසා එය කැබිනට්‌ මණ්‌ඩලයට අනුමැතිය සඳහා ඉදිරිපත්වී නැති බවටද දැනගන්නට තිබේ. 
 
 එසේම අදාළ පනතට විරුද්ධව රටේ පුරවැසියන්ට ශේෂ්ඨාධිකරණයට යැමට තිබූ අවස්‌ථාවද නොමැතිව පනත සම්මත කරගෙන තිබේ. නව පළාත්පාලන පනත අනුව පවත්වන පළාත් පාලන මැතිවරණයෙන් පසු ප්‍රශ්න රාශියක්‌ අලුතෙන් මතුවනු ඇතැයි නීති අංශ දැනටමත් මත පල කර තිබේ. 
 
 කාන්තා නියෝජනය සියයට විසිපහ වීම නිසා පරාජිත කාන්තාවන්ද මන්ත්‍රීවරියන් ලෙස පත්වීමේ අවස්‌ථා, ලැයිස්‌තුවලින් පත් කිරීමේදී ගැටලු ඇතිවීම් ඒ අතර ප්‍රධාන වනු ඇත. එසේම සභික සංඛ්‍යාව දෙගුණවීම නිසා නව ශාලා පහසුකම්, වැටුප් හා දීමනා විශාල ලෙස ඉහළ යැම ආදී බොහෝ කරුණුවලට විසඳුම් සොයන්නටආණ්‌ඩුවට සිදුවනු ඇත. මේ වියදම් සඳහා වරිපනම් ආදායම ප්‍රමාණවත් නොවේ නම් ඒවාද වැඩි කරන්නට සිදුවනු ඇත. අවසාන වශයෙන් මේ සියලු බර යළිත් වතාවක්‌ ජනතාවටම දරන්නට සිදුවනු ඇත.
 
 හම්බන්තොට වරායේ ඉහළින්ම චීන ජාතික ධජය එසවීම මේ වන විට ශ්‍රී ලංකාවේ අද වන විට උණුසුම් මාතෘකාවක්‌ බවට පත්ව තිබේ. එහි චීන ධජය එසවීමේ අරුත එම වරාය චීනයට පවරා දීමක්‌ දැයි සැක ඇතිවන බව පිවිතුරු හෙළ උරුමය නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
 
 ජාතික ධජයක්‌ එසවීම යම් භූමියක්‌ අයත්වන්නේ කුමන රටකට ද යන්න සඳහන් කරන කාරණයක්‌ බව කී මන්ත්‍රීවරයා එහි ක්‍රියාත්මක වන නීතිය අදාළවන රට කුමක්‌ ද යන්න ගැටලුවක්‌ බවත් මාගම්පුර වරායේ චීන ධජය එසවීමෙන් පෙන්වන්නේ එහි චීන නීතිය ක්‍රියාත්මක වන බව යයි පැවසීය.
 
 අධිවේගී මාර්ගවල ගමන් ගන්නා ජනතාව මේ දින වල දැඩි අපහසුවට පත්ව සිටිති. ඒ අධිවේගී මාර්ගවල දෙපස තණකොළ කැප ඒවා කපන යන්ත්‍ර මගින් කපන විට ඒවට හසුවන ගල් කැට අධික වේගයෙන් ගමන් කරන වාහන වල වැදීම නිසාය. මේ නිසා දිනපතා වාහනවලට අනතුරු සිදුවේ. මේ නිසා වාහන වල වීදුරුවලට විශාල හානි සිදුව තිබේ. මෙහිදී අධිවේගී මාර්ග බලධාරීන් පවසන්නේ ඒ සඳහා රක්‌ෂණ වන්දි ලබා ගන්නා ලෙසය. අධිවේගී මාර්ගවල අනතුරක්‌ සිදුවූ විට අදාළ අලාභය ගෙවන තුරු වාහනය නිදහස්‌ නොකරන බලධාරීන් ඔවුන්ගේ වරදින් අනතුරු සිදුවූ විට මෙලෙස පැවසීම කනගාටුදායකය. අනෙක්‌ අතට මෙවැනි අනතුරු වළක්‌වා ගැනීම සඳහා නිසි ක්‍රමවේද අනුගමනය නොකිරීමද වරදකි. එසේම යම් වාහනයක්‌ ගල් වැදී අනතුරකට පත්වූ විට අධිවේගී මාර්ගයක තවත් වාහන රැසක්‌ අනතුරට පත්වීමේ ඉඩක්‌ තිබේ. යම් හෙයකින් මේ නිසා ජීවිත හානියක්‌ සිදුවුවහොත් එය යළි ලබා ගත නොහැක. එම නිසා මේ සම්බන්ධව බලධාරීන් දැඩි අවධානය යොමු කළ යුතුය.
 
 රටේ වැටුප් සකස්‌ කිරීම් නිසා ක්‍රමවේදයක්‌ නොමැතිවීම නිසා බොහෝ ක්‌ෂේත්‍ර වල ගැටලු ඇතිවී තිබේ. රට පුරා වැඩ වර්ජන හා විරෝධතාවලට හේතුවද එයයි. පසුගියදා විනිශ්චයකාරවරුන්ගේ හා ඛනිජ තෙල් සංස්‌ථා සේවක වැටුප් වැඩි කිරීමට ගෙන ආ යෝජනාවලට ඇමැති මණ්‌ඩලය තුළින්ම විරෝධය එල්ලවී තිබේ.
 
 ඛනිජ තෙල් සංස්‌ථාවේ සේවක වැටුප් විශාල ප්‍රමාණයකින් වැඩිකිරීම මගින්, අනෙකුත් රජයේ ආයතනවලද ගැටලු මතුවිය හැකි බව ඇමැතිවරුන් පෙන්වා දී තිබේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress