ශ්‍රී ලංකා හමුදාවට උදව් කළ යකාගේ ආච්චීට එරෙහිවීම
Posted on January 7th, 2018

කීර්ති වර්ණකුලසූරිය උපුටා ගැන්ම දිවයින

ශ්‍රී ලංකාවේ ත්‍රස්‌තවාදය නැතිකර දැමීමට ශ්‍රී ලංකාව පලස්‌තීනය එක්‌වූ බවට මෙරට දේශපාලනඥයන් කීපදෙනෙක්‌ විසින් පසුගිය සතියේදී ප්‍රකාශ කර තිබුණි. එහෙත් කොටි ත්‍රස්‌තවාදය මර්දනය කිරීම සඳහා ශ්‍රී ලංකා හමුදාව මුහුණ පෑ අසීරුතම අවස්‌ථාවේ සහයට පැමිණියේ කවුද?

මෙරට දේශපාලකයන්ට වසර 17 ක අතීතය දැන් අමතක වී ඇත. ශ්‍රී ලංකාවේ යුද්ධය පැවැති අවස්‌ථාවලද පලස්‌තීනය ශ්‍රී ලංකාවට උදව්කර ඇති බවට දැක්‌වෙන ප්‍රකාශද මාධ්‍යවල පලවිය.

එසේවූවත් කොටි ත්‍රස්‌තයන්ට එරෙහිව සටන්වැදීම සඳහා ගුවන් හමුදාවට ප්‍රහාරක යානා මිලයට ගැනීමේ දැඩි අසීරුතාවයක්‌ උදාවූ අවස්‌ථාවේ ඇමරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍යය ඇතුළු කිසිදු රටක්‌ අපේ සහයට පැමිණියේ නැත.

මේ අවාසනාවන්ත තත්ත්වය මැද ඇමරිකානු බෙල් ප්‍රවාහන හෙලිකොප්ටර් යානාවලට අමතර කොටස්‌ ලබාගැනීමද දුෂ්කර විය. ඇමරිකානු රජයේ නියෝගය නිසා බෙල් සමාගම ගුවන් හමුදාවට අමතර කොටස්‌ පවා ලබාදීම ප්‍රතික්‍ෂේප කරනු ලැබීය. මෙම වාතාවරණය මැද එදා ජනාධිපතිවූ ඡේ. ආර්. ජයවර්ධන යකා බැරිනම් යකාගේ ආච්චිගෙන් හෝ හෙලිකොප්ටර් අමතර කොටස්‌ සහ ප්‍රහාරක යානා මිලයට ගන්නා බව කියා සිටියේය.

එහිදී ඔහු ඊශ්‍රායල් රජය වෙත යොමුවිය. එම අවස්‌ථාවේ ඊශ්‍රායල් රජය සිංගප්පූරු අතරමැදියකු හරහා කපිර් සී-2 (සිංහ පැටවා) ප්‍රහාරක යානා මෙරටට ලබාදීමට එකඟවිය.

මෙම පසුබිම මැද ඇමරිකානු කොටි හිතවාදීන් විසින් එම කෆිර් ප්‍රහාරක යානා ද්‍රවිඩයන් ඝාතනය කිරීම සඳහා බෝම්බ දැමීමට යොදා ගැනීමට ශ්‍රී ලංකා රජයට ක්‍රියාකරන බව දක්‌වමින් ප්‍රචාරයක්‌ දියත් කළහ.

මේ එක්‌ කෆිර් ප්‍රහාරක යානාවකට කිලෝ 1000 ක්‌ බරැති බෝම්බ ගෙනයා හැකි බවටද අනාවරණය විය.

එදා ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා යකාගේ ආච්චි යයි පැවසුවේ ඊශ්‍රායලයටය. එහෙත් ඔහු ඊශ්‍රායලයෙන් කෆිර් ප්‍රහාරක යානා මිලයට ගැනීමට කටයුතු කිරීම ගැන රජයේ සිටි මුස්‌ලිම් ඇමැතිවරු කට ඇරියේ නැත.

ඡේ. ආර්. මුහුණ පෑ කොටි තර්ජනයට හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංගද මුහුණ පෑවාය.

sri12000 වසරේ ජුනි මස එක්‌තරා මාධ්‍යවේදිනියක්‌ රාජ්‍ය රහසක්‌ ප්‍රකාශයට පත්කරමින් කෆිර් යානා හතරක්‌ ශ්‍රී ලංකාවට ලැබෙන බව හෙළිකළාය. පසුව සුදු කොඩි කතාව ප්‍රකාශයට පත්කර ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධකරුවන් කිරීමට මුල්වූයේද ඇයයි. අද ඇය ඇමරිකාවේ පදිංචිව සිටියි.

ඇය මේ තොරතුරු හෙලිකිරීමට පෙර ඇමරිකානු කොංග්‍රසයේ මන්ත්‍රීවරියක්‌වූ සු කෙලී එරට කොංග්‍රස්‌ සභාව වෙත සංදේශයක්‌ ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකාවට කෆිර් ප්‍රහාරක යානා අලෙවි කිරීමට තීරණය වී ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් ශ්‍රී ලංකාව සතුව ඇති කෆිර් යානාවලින් හෙලූ බෝම්බ නිසා සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක්‌ මරුමුවට පත්වී ඇති බවට තමාට තොරතුරු ලැබී ඇති බවත් පැවැසුවාය.

ඇමරිකානු කොංග්‍රස්‌ සභික කාන්තාව එම ලිපිය කොංග්‍රස්‌ සභාවට ඉදිරිපත් කිරීමට පෙර ඉන්දීය බලධාරීන්ට වාර්තාවූයේ සී 2 කෆිර් ප්‍රහාරක යානා පහක්‌ සහ සී. ටී. 2 කෆිර් යානාවක්‌ ශ්‍රී ලංකාවට ගොඩබා ඇති බවයි.

මේවන විට ඇමරිකානු රජය විසින් ඊශ්‍රායල් බලධාරීන්ට අනතුරු අඟවමින් කෆිර් ප්‍රහාරක යානාවල ඇත්තේ ජෙනරල් ඉලෙක්‌ටි්‍රක්‌ සමාගම නිපදවූ ඇමරිකානු එන්ජින් නිසා කෆිර් යානා අලෙවි නොකරන ලෙස දැන්වීය.

එහෙත් යකාගේ ආච්චී හෙවත් ඊශ්‍රායලය රජය ඇමරිකාවේ උපදෙස්‌ පිලිගත්තේ නැත. ඒ නිසා කෆිර් ප්‍රහාරක යානා මෙරටට අලෙවි කෙරුණි.

ආර්. ප්‍රේමදාස ජනාධිපති සමයේද ප්‍රධාන සතුරා ප්‍රභාකරන් සහ කොටි ත්‍රස්‌තවාදීන් යන්න පසෙකට දමා මෙරට මුස්‌ලිම් දේශපාලකයන් දැඩි ඊශ්‍රායල් විරෝධි පිලිවෙතක්‌ ගෙනගියහ.

මේ අතර පලස්‌තීන විමුක්‌ති සංවිධානයේ නායක යසර් අරපත් මෙරට නිල සංචාරයකට පැමිණියේය. එදා ඔහු කොළඹ ටාඡ් හෝටලයේ මාධ්‍ය සාකච්ඡාවක්‌ පවත්වන සමයේ අද මෙන් එෆ් එම් නාලිකා තිබුණේ නැත. එම මාධ්‍ය සාකච්ඡාවට පැමිණ සිටියේ සුළු පිරිසකි.

මෙහිදී මම යසර් අරපත් වෙත බරපතල ප්‍රශ්නයක්‌ යොමුකළෙමි. එම ප්‍රශ්නයෙන් ඔහු කෝපවනු ඇති බව මට සිතුවත් යසර් අරපත් එම ප්‍රශ්නයට සිනාවෙමින් ප්‍රතිචාර දැක්‌වීය.

ද්‍රවිඩයන් පුහුණුකළේ පලස්‌තීනය නේද යන්න මගේ ප්‍රශ්නය විය.

“ද්‍රවිඩ ගරිල්ලන් පුහුණු කළේ මගේ පලස්‌තීන විමුක්‌ති සංවිධානය නොවෙයි. ජෝරඡ් හබාශ්ගේ පලස්‌තීන ජනතා විමුක්‌ති පෙරමුණ යයි අරපත් සත්‍යය හෙලිකරමින් අනාවරණය කළේය.

යසර් අර්පත් කළ ප්‍රකාශය තවදුරටත් සනාථවූයේ ප්ලොට්‌ සංවිධානයේ නායක සිද්ධාර්ථන් හා ඊ.පී.ඩී.පී නායක ඩග්ලස්‌ දේවානන්ද පවා ඒ බව පිලිගැනීමෙනි.

sri2යසර් අරපත් මේ බව හෙලිකිරීමට පෙර වාර්තාවූයේ පලස්‌තීන විමුක්‌ති සංවිධානයේ ලන්ඩන් ශාඛාවේ නියෝජිත සයිද් හමිඩ් 1978-1980 සමයේ ඊරොස්‌ සංවිධානයේ ක්‍රියාකාරීන්ට ලෙබනනයේදී අවි ආයුධ පුහුණුව ලබාදී ඇති බවයි.

එසේම ඡේ. ආර්. ජයවර්ධන ජනාධිපති සමයේ මෙරට බුද්ධි අංශයේ ප්‍රධානියාව සිටියේ ශර්නි විඡේසූරියයි. ඔහුගේ බුද්ධි සේවයටද වාර්තා වී තිබුණේ ප්ලොට්‌ ගරිල්ලන් රැසකට ජෝර්ඡ් හබාශ් කණ්‌ඩායම අවි ආයුධ පුහුණුව දුන් බවයි.

මේ බව නෝර්වේහි ඔස්‌ලෝ නුවර සිටින ප්ලොට්‌ සම්බන්ධිකාරකද තහවුරු කර ඇත.

ආර්. ප්‍රේමදාස ජනාධිපති සමයේ විදේශ ඇමැතිවූයේ ඒසීඑස්‌ හමිඩ්ය. ඔහුද උග්‍ර ඊශ්‍රයල් විරෝධියෙකි.

එම සමයේ ඊශ්‍රායල් හමුදාව උගන්ඩාවේ එන්ටබේ ගුවන් තොටුපලට ගොස්‌ පලස්‌තීන ගරිල්ලන්ගේ ප්‍රාණ ඇපයේ සිටි ප්‍රංශ ගුවන් යානාවක සහ මගීන්ද බේරාගැනීමේ වීරවික්‍රමය පිළිඹුකෙරෙන “ද රේඩ් ඔෆ් එන්ටබේ” චිත්‍රපටය ශ්‍රී ලංකාවේ ප්‍රදර්ශනයට යොමුවිය.

එහෙත් ඒසීඑස්‌ හමීඩ් එම චිත්‍රපටය තහනම් කළේය. මේ අතර ඊශ්‍රායල් මොසාඩ් බුද්ධි සේවයේ ඒජන්තවරයකුවූ වික්‌ටර් ඔස්‌ත්‍රොව්ස්‌කි විසින් රචිත ග්‍රන්ථයෙන් ඊශ්‍රායලය කොටින්ටද අවි පුහුණුව ලබාදුන් බව කිරීමෙන් ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල් විරෝධි අර්බුදය වර්ධනය විය.

එහි ප්‍රතිඵලය වූයේ ජනාධිපති ප්‍රේමදාස මොසාඩ් කොමිසම නමින් කොමිසමක්‌ පත් කිරීමයි. මේ කොමිසම හමුවේ සාක්‍ෂි දුන් යුද – ගුවන් – නාවික සහ බුද්ධි ප්‍රධානීන් පැවසුවේ ඊශ්‍රායලය විසින් කොටින්ට අවි ආයුධ පුහුණුව ලබානුදුන් බවයි.

කෙසේ වෙතත් ජනාධිපති ප්‍රේමදාසගේ පාලනයෙන් පසු බලයට පැමිණි ආණ්‌ඩු, කොටි ත්‍රස්‌තවාදය පරාජය කිරීම සඳහා ඊශ්‍රායලයේ සහය ලබාගත්තේය.

ඒ අනුව ඊශ්‍රායලය එම්. කේ. 1-2 සුපර් ඩොව්රා වර්ගයේ අධිවේගී යාත්‍රා සහ ශැල්ඩාන් වර්ගයේ යාත්‍රාද සාර්-4 වර්ගයේ මිසයිල බෝට්‌ටු දෙකක්‌ද මෙරටට සපයනු ලැබීය.

කොටි මුහුදු ඒකකයට අයත් පාවෙන අවි ගබඩා විනාශ කිරීම සඳහා ගැඹුරු මුහුදට ගොස්‌ ප්‍රහාර එල්ල කළේ නන්දිමිත්‍ර සහ සුරනිමල යන එම ඊශ්‍රායල් නැව්ය.

එසේම කොටින්ට ප්‍රහාර එල්ල කිරීම සඳහා මිසයිල ද කොටි ආගමනය ගුවනේ සිට නිරීක්‍ෂණය කරන සර්චර් වර්ගයේ නියමුවන් රහිත යානාවන්ද මෙරටට සැපයීමට ක්‍රියාකළේය.

වන්නි මෙහෙයුමේදී කොටි ක්‍රියාකාරකම් නිරීක්‍ෂණය වූයේ මේ සර්චර් යානාවෙනි.

sri3එහෙත් මේ අතීතය දේශපාලකයන් විසින් මුළුමනින්ම අමතක කර ඇත.

එදා පලස්‌තීන නායක අරපත් මෙරටට පැමිණි අවස්‌ථාවේ පැවසුවේ ශ්‍රී ලංකාවේ හෙද සේවාවේ හිඟයක්‌ ඇති නිසා පලස්‌තීනය හෙද සේවාව නැංවීමට සහයවන බවයි. එහෙත් එවන් සහයක්‌ ලැබුනේ නැත.

පලස්‌තීන ගරිල්ලන් ද්‍රවිඩ ගරිල්ලන්ට අවි පුහුණුව දුන් බවට මා එදා නැගූ ප්‍රශ්නයට ප්‍රතිචාර දැක්‌වීමට ක්‍රියාකළ යසර් අරපන් පසුව පැවැති තේ පානයේදී මා සමීපයට පැමිණ පැවසුවේ ජෝර්ඡ් ගබාශ්ගේ ක්‍රියාකලාපය තමා අනුමත නොකරන බවයි.

මෙවන් පසුබිමක්‌ මැද ඊශ්‍රායලය විසින් පෙරුසලම එරට අගනුවර ලෙස ප්‍රකාශයට පත්කිරීමට එක්‌සත් ජාතීන්ගේ ඉදිරිපත් කළ යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාව ඡන්දය පාවිච්චි කරනු ලැබීය. ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක්‌ ටෙල් අච්චි නුවර ක්‍රියාත්මක වේ. එහෙත් ඇමරිකාව බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කීපයක්‌ ශ්‍රී ලංකාවේ හමුදාව යුද අපරාධ සිදුකළ බව දක්‌වමින් ඉදිරිපත් කළ ජිනීවා යෝජනාවට එරෙහිව ශ්‍රී ලංකාව ක්‍රියාකළේ නැත.

මින් සනාථ වූයේ ශ්‍රී ලංකා හමුදාවට එරෙහි මානව හිමිකම් කවුන්සිලයේ 30/11 යෝජනාවට වඩා ශ්‍රී ලංකා රජය ජෙරුසලම් යෝජනාවට ප්‍රමුඛත්වය දීම ඇති බවය.

මේ ජිනීවා යෝජනාවට එරෙහිව එක්‌සත්ජාතීන්ගේ සංවිධානයට දූත කණ්‌ඩායමක්‌ යවා ක්‍රියාකරනු වෙනුවට එම යෝජනාවේ සම අනුග්‍රාහකයා වීමට ශ්‍රී ලංකාව එකඟවීම ඛේදජනක සිද්ධියක්‌ බව රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා කියාසිටියේය.

මේ අතර ජිනීවා – මානව හිමිකම් කොමසාරිස්‌ සෙයිස්‌ රාද් හුසේන්ගේ සේවා කාලය මේ වසරේ අගෝස්‌තු 31 දා අවසන් වේ. තමා 2 වැනි වරට මානව හිමිකම් කොමසාරිස්‌ ධුරයට තරග නොකරන බව සෙයිද් රාද් හුසෙන් පළකළේය.

මානව හිමිකම් කොමසාරිස්‌ සිය සේවාකාලය නිමවීමෙන් පසු 2 වැනි වරටත් තරග නොකරන බව පැවැසීම යනු ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් සහ එක්‌සත්ජාතීන්ගේ ඇමරිකානු තානාපතිනි නිකී හේලි හමුවේ පරාජයට පත්වීමයි. මානව හිමිකම් උල්ලංඝණය කළවුන් මානව හිමිකම් කවුන්සිලයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකරනවා යයි නිකිහේලි තර්ජනාත්මක ස්‌වරූපයෙන් මානව හිමිකම් සමුළුව අමතා පවසද්දී සෙයිද් රාද් හුසේන් නිහඬ විය.

එසේම පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩුටාටේ මානව හිමිකම් කොමසාරිස්‌ට තක්‌කඩියා යයි කියමින් පරිභව කළේය.

මේ පසුබිම මත උතුරු පළාත් සභා ඇමැතිනි ආනන්දි සසිතරන් දැඩි කම්පාවට පත්වී ඇත.

sri4“සෙයිද් රාද් හුසේන් අගෝස්‌තු මස කවුන්සලයෙන් ඉවත්ව යාමෙන් අපේ බලාපොරොත්තු බිඳවැටුණා” යයි ඇය කියාසිටියාය.

බටහිර රටවල රූකඩයක්‌ ලෙස ක්‍රියාකළ සෙයිද් රාද් හුසේන් එම රටවල බලපෑම් මත කොටි ඩයස්‌පෝරා ක්‍රියාකාරීන්ට මානව හිමිකම් කවුන්සිලයේ දොරවල් විවෘත කළේය. එසේම ශ්‍රී ලංකාවේ දේශප්‍රේමී කණ්‌ඩායම්වලට එරෙහිව කොටි හිතවාදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන එල්ල කරන බොරු පැමිණිලි විභාග කරන ලෙසද ඔහු තම නිලධාරීන්ට නියෝග කළේය.

එසේ වූවත් මානව හිමිකම් කොමසාරිස්‌වරයා ඇමරිකාව හමුවේ හිස නැමීය.

මේ අතර ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා යෝජනාව ගැන තමා මාර්තු 21 දා අවසන් ප්‍රකාශය කරන බව හෙතෙම ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් ඇමරිකානු රූකඩය ලෙස කටයුතු කළ සෙයිද් රාද් හුසේන් ඇමරිකාවේ තර්ජන ගර්ජන මැද මානව හිමිකම් පුටුවෙන් ඇදවැටුණි.

බටහිර රටවල් සිදුකරන යුද අපරාධ සම්බන්ධව ක්‍රියානොකිරීමක්‌ ශ්‍රී ලංකාවට එරෙහිව දැඩි පිලිවෙතක්‌ අනුගමනය කිරීමක්‌ තුළින් සෙයිද් රාද් හුසේන් අනුගමනය කළේ දෙබිඩි පිළිවෙතකි.

ඔහු 2017 වසර තුළ එක්‌සත්ජාතීන්ගේ නියෝජිතයන් 7 ක්‌ මෙරටට එවනු ලැබීය.

එසේම රැඳවුම්භාරයේ සිටින කොටි යුද අපරාධකරුවන්ගේ මානව හිමිකම් උල්ලංඝණය වී ඇති බව දක්‌වමින් ඔහු ඒ ගැන සෙවීමට එක්‌සත් ජාතීන්ගේ ත්‍රි පුද්ගල කණ්‌ඩායමක්‌ද මෙරටට එවනු ලැබීය.

එහෙත් බ්‍රිතාන්‍යයට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ලවෙද්දී ඔහු ඒ ගැන ක්‍රියාකළේ නැත.

ශ්‍රී ලංකාවේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා සංශෝධන ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම, යුද අපරාධ චෝදනා විමර්ශනයට හයිබ්‍රිඩ් අධිකරණයක්‌ පත්කිරීම සහ උතුරේ ආරක්‍ෂක හමුදාව ඉඩම් වලින් ඉවත්වීම යන කරුණු පිළිබඳව ශ්‍රී ලංකාවට උපදෙස්‌ දීමටද ඔහු ඉදිරිපත්විය. එසේම යුද අපරාධ චෝදනා එල්ලවී ඇති හමුදා නිලධාරීන් විශ්ව සම්මුතිය මත අත්අඩංගුවට ගතයුතු බවද කීවේය.

පසුගිය සැප්තැම්බර් මාසයේ ඔහු පැවසුවේ රැඳවුම්භාරයේ සිටින කොටි මිනීමරුවන් නිදහස්‌ කරන ලෙසයි. එහෙත් වත්මන් රජය ඊට එකඟවූයේ නැත.

එහෙත් 2018 මාර්තු 21 වැනිදා සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාවට එරෙහිව ලිත වාර්තාවක්‌ද ඉදිරිපත් කිරීමට නියමිතය.

මේ වාර්තාවෙන් ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව කුමන පියවරක්‌ ගතයුතුද යන්න ප්‍රකාශ කරනු ඇත.

ඊට හේතුවී ඇත්තේ ශ්‍රී ලංකා රජය යුද අපරාධ චෝදනාවලට ලක්‌වූවන් ගැන කිසිදු පියවරක්‌ ගෙන නැති බවට මානව හිමිකම් කවුන්සිලයට තොගපිටින් පැමිණිලි ලැබීමයි.

මේ අතර නාවික හමුදාවේ උපාය මාර්ගික කේන්ද්‍රස්‌ථානයක්‌වූ ඉරනතිව් දූපත්වලින් නාවික කඳවුර ඉවත්කර ගැනීමේ මෙහෙයුමක්‌ දියත්වී ඇත.

වසර කිහිපයකට පෙර ලයන් එයාර් යානාවට මිසයිල ප්‍රහාරයක්‌ එල්ල වූයේ ඉරනතිව් සිටයි. නාවික හමුදාව විසින් වසර ගණනකට පසු ලයන් එයාර් යානාවේ සුන්බුන් හා එන්ජිමද මුහුදු පත්ලේ තිබී ගොඩගත් අතර මළසිරුරු හමුවූයේ නැත.

පසුව කොටි ත්‍රස්‌තවාදියකු හෙළිකළ තොරතුරු මත නාච්චිකුඩා වෙරළ ප්‍රදේශයේ හෑරීම කටයුතු සිදුකළත් මළ සිරුරුවල කොටස්‌ සොයාගැනීමට නොහැකිවිය.

sri5මෙම ඉරනතිව් දූපත් වල පවුල් 45 ක්‌ පදිංචිව සිටි අතර කොටි ඔවුන්ව එලවා දමා තිබුණි. එහෙත් ඉරනතිව් දූපත්වල පවුල් 2500 ක්‌ පදිංචිවී සිටි බවට සාවද්‍ය ප්‍රකාශ කරමින් එම දූපත්වල පාලනය සියතට ගැනීමට ද්‍රවිඩ මන්ත්‍රීවරු දැඩිඋත්සාහයක නිරතවී සිටිති.

මෙලෙස අවතැන්වූ බව කියන පවුල් 2500 සතු කිසිදු ඔප්පු තිරප්පුවක්‌ නැතැයිද හෙලිවී ඇත.

එසේම ඉරනතිව් දූපත්වල සිටින සිංහල නාවික හමුදාව ඉන්දියාවේ ආරක්‍ෂාවටද තර්ජනයක්‌ බව දක්‌වන උතුරේ කොටි හිතවාදීන් වන්නි වෙරළේ සිට මුහුදු සැතපුම් 12 ක්‌ ඈතින් ඇති මෙම දූපත් වසර 400 ක්‌ තිස්‌සේ කතෝලික පල්ලියේ පාලනයට නතුවූ බවට තවත් සාවද්‍ය ප්‍රචාරයක්‌ දියත් කර තිබේ.

2007 වසරේදී කොටි සංවිධානය ඉරනතිව් දූපත්වල මුහුදු කොටි කඳවුරක්‌ ස්‌ථාපිත වූයේ ඊලම් ද්‍රවිඩ ජනතාවගේ ආරක්‍ෂාව සඳහා බවටද කොටි හිතවාදීන් ප්‍රකාශ කර ඇත.

මෙලෙස ඉරනතිව් දූපත් වලින් නාවික හමුදාව පන්නා ගැනීමට උත්සාහ කරන විරෝධතාකරුවන් මෙහෙයවන්නේ සන්නියාගු වේදනායගම් නැමැත්තෙක්‌ බවද අනාවරණය වී තිබේ.

මේ අතර 2018 වසර ආරම්භ වීමත් සමඟම කොටි හිතවාදී සංවිධාන හතරක්‌ ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලීමක්‌ කරමින් යුද අපරාධ චෝදනා වලට ලක්‌වූවන් එරෙහිව විශ්ව සම්මුතිය මත ක්‍රියාකරන ලෙස ඉල්ලා ඇත.

2 Responses to “ශ්‍රී ලංකා හමුදාවට උදව් කළ යකාගේ ආච්චීට එරෙහිවීම”

  1. Hiranthe Says:

    After a long pause Mr. Keerthi Warnakulasuriya!!

    You were a great worrier and defender of Mother Lanka. Nice to see you have got back to action.

  2. Lorenzo Says:

    Welcome to SL the land of the UNGRATEFUL. (People are ATTACHED to politicians!!)

    SL would NOT have won the war without ISRAEL. But not JOIN with SEPARATISTS (those who demand the TWO STATE SOLUTION or SEPARATE COUNTRY FOR PALESTINIAN MINORITY).

    Sounds familiar?

    SL will pay DEARLY for SUPPORTING SEPARATISTS.

    (It is WELL KNOWN PALESTINIANS helped Tamil terror groups. BTW look at the people in the SL-PALESTINE friendship society – Rajithaya, etc.)

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress