බැදුම්කර හොරු ඔප්පු වීම නිසා රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා සහ එක්සත් ජාතික පක්ෂය නහයෙන් අඩන බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසයි.
Posted on January 19th, 2018

මාධ්‍ය ඒකකය දූෂණ විරෝධී පෙරමුණ

අබ කෑ එකාගෙ ඉහමොල දන්නා සේ බැදුම්කර වාර්තාවේ නිර්දේශ ජනගතවීම නිසා වැඩියෙන්ම රිදිලා වැඩියෙන්ම නහයෙන් අඩන්නට පටන්ගෙන තියෙන්නෙ රනිල් වික්‍ර‍සිංහ අගමැතිවරයා ඇතුළු එක්සත් ජාතික පක්ෂය බව දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ ය.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රි එස්. එම්. මර්ක්කාර් වැනි පිනට මන්ත්‍රි ධුර හිමි වු අය ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂයට අයත් ජනාධිපති ධුරය උදුරා ගත් බවට ප්‍ර‍කාශ කිරීමට ලැජ්ජා වියයුතු බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවිට එක්සත් ජාතික පක්ෂය මැතිවරණ විසිනවයක් පැරදිලා, සරත් අමුණුගමගේ සිට දයාසිරි ජයසේකර දක්වා මන්ත්‍රිවරු පනස් හතරක් ආණ්ඩු පක්ෂයට එකතුවෙලා, මැතිවරණයට අපේක්ෂකයෙක් නැතුව හිටපු එක්සත් ජාතික පක්ෂයට බලය ලැබුනෙ මාදුළුවාවේ සෝභිත හිමියන් ගොඩ නගපු සමාජ ව්‍යාපාරය හරහා බව උලපනේ සුමංගල හිමියන් මෙහිදී අවධාරණය කරන ලදී.
බැදුම්කර සිද්ධියට අදාළ වාර්තාවෙහි නිර්දේශ උපුටා දක්වමින් උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ කොමිසන් වාර්තා නිර්දේශවල කිසිම පුද්ගලයෙකුගේ නමක් ගමක් සදහන්ව නොමැති බවයි. නමුත් එම නිර්දේශවල සදහන්ව ඇති පරිදි මෙම බැදුම්කර අපරාධයට සම්බන්ධ වෙනත් පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීමට නීතිපතිවරයාට වගකීම පවරා ඇත.
මෙම බැදුම්කර මගඩියෙහි පළමු චූදිතයා වන්නේ අර්ජුන් මහේන්ද්‍ර‍් නොව ඉතිහිසයෙහි හැමදාම මුදල් අමාත්‍යාංශය සතුව පැවති මහ බැංකුව තමන් යටතට පවරාගෙන මෙම අපරාධයට අනුබල දුන් රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයා බව වැඩිදුරටත් අදහස් දක්වමින් උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ ය. 
එමනිසා රනිල් වික්‍ර‍මසිංහ අගමැතිවරයාට එදා පාර්ලිමේන්තුවෙදී කියන්නට තිබුනෙ ‘කවුද හොරා, මහින්ද හොරා’ නොව ‘කවුද හොරා, මමයි හොරා’ යනුවෙන් බව උලපනේ සුමංගල හිමියන්ගේ අදහසයි. මෙරට ඉතිහාසයෙහි සිදුවු බරපතලම මුල්‍ය වංචාව සාධාරනීකරණය කරන ලද එක්සත් ජාතික පක්ෂය තවත් කමිටු පත්කිරීමට යෝජනා  නොකර එක්සත් ජාතික පක්ෂ ලේකම් කබීර් හෂීම් තම පක්ෂය තුළ සිටින හොරු උසාවියට ඉදිරිපත් කිරීමට පියවර ගත යුතු බව උන්වහන්සේ මෙහි දී අවධාරණය කරන ලදී.
පසුගිය එක්සත් ජාතික පක්ෂ රජයෙහි ආයෝජන මණ්ඩලයේ සභාපති ලෙස පත් කළ අර්ජුන මහේන්ද්‍ර‍න් ආණ්ඩුව පැරදුන පසු සිංගප්පුරුවට පලා ගිය බවත් නැවත ඔහුට මහ බැංකු අධිපති ධුරය හිමිවන්නෙ සෝභිත හිමියන් නිසා බවත් එදා කමිටු පත්කර මහ බැංකුව තුළ වංචාවක් සිදු නොවුන බව කියු අගමැතිවරයා අද අලාභ අය කරගන්නා බවට කියන බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් උලපනේ සුමංගල හිමියන් කියා සිටියේ ය. නමුත් බැදුම්කර මගඩියෙන් සිදුවු වංචාව බිලියන එකොලහක මුදල පමණක් නොවන බවත් අද රට විශාල ආර්ථික අර්බුදයකට සහ පොලී අනුපාත ඉහළ යාමට මෙම මංකොල්ලය හේතු වී ඇති බවත් උනවහන්සේ අවධාරණට කරන ලදී.
අද එක්සත් ජාතික පක්ෂය ජනාධිපතිවරයාට ආඩපාලි කියුවද එදා ජනාධිපතිවරයා බලයට පත්වුයේ දූෂණය වංචාව නැති කිරීම වෙනුවෙන් බව උලපනේ සුමංගල හිමියන් මෛත්‍රී පාලනයක්, ස්ථාවර රටක් ප්‍ර‍තිපත්ති ප්‍ර‍කාශනය උපුටා දක්වමින් කියා සිටියේ ය.
හොරකම කරලා ඉවරවෙලා අහුවුනාම ග්‍රීක බැදුම්කර ගනුදෙනු ගැන හොයලා, තාජුඩින් ගැන හොයලා වැඩක් නොමැති බවත් අවුරුදු තුනක කාලයක් දේශපාලන ඩීල් දාලා හොරු රැකලා අද බැදුම්කරය ඔප්පු වෙනකොට ඇහැට කටු අනින්නට පටන්ගෙන ඇති බව උලපනේ සුමංගල හිමියන් අවධාරණය කරයි.
දූෂණ විරෝධී පෙරමුණ මෙරට දූෂණ විරෝධී සංස්කෘතියක් ඇති කිරීම වෙනුවෙන් කැප වී සිටින නිසා බැදුම්කර වංචාව පිළිබද සොයා බලන අයුරින්ම අනෙකුත් බරපතළ දූෂණ වංචා පිළිබදවද කඩිනම් පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව උන්වහන්සේ සදහන් කරන ලදී.
දූෂණ විරෝධී පෙරමුණේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් මෙම අදහස් පළ කරන ලද්දේ පසුගියදා (18) දූෂණ විරෝධී පෙරමුණ සංවිධානය කරන ලද මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
මාධ්‍ය ඒකකය
දූෂණ විරෝධී පෙරමුණ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress