ජවිපෙට ගම නොදිය යුත්තේ ඇයි?දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණ අනුර – රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්…
Posted on February 3rd, 2018

යටියන ප්‍රදීප් කුමාර

සුපුරුදු ආකාරයටම ඊනියා දූෂණ විරෝධයක් පෙරටු කොටගෙන ජනතා විමුක්ති පෙරමුණ මෙවර මැතිවරණයට ඉදිරිපත්ව තිබේ. බැඳුම්කර හොරාට රට බිලිදීම සඳහා හැකි සියලු මෙහෙයුම් දියත් කොට දූෂණ විරෝධය ගැන කතා කිරීම තරම් විහිළුවක් තවත් තිබිය නොහැකි වුවද, ඔවුන්ගේ භූමිකාව ගැන වැඩිදුරටත් විමසා බැලීම මෙහිදී බෙහෙවින් වැදගත්ය. ඒ මන්දයත් ජවිපෙ දූෂණ විරෝධී වෙස්මුහුණ පිටුපස ඇති රටට එරෙහි දේශපාලනය ඉතා සූක්ෂම එකක් වන නිසාය. එය හඳුනාගැනීමට වැඩි දේශපාලන අවබෝධයක් අවශ්‍ය වන නිසාය. ප්‍රධාන පක්ෂවල විගඩම් තරම් පැහැදිලි ලෙස ජවිපෙ තක්කඩි දේශපාලනය රටට නොපෙනෙයි. මේ නිසාම ඔවුන්ගේ දූෂණ විරොධී වෙස්මුහුණ පිටුපස ඇති සැබෑ මුහුණ කුමක්දැයි වටහා ගත යුතුය. මෙහි ඇත්තේ ඒ සඳහා ඔබ විසින් සිහියට නඟා ගත යුතු මෑත ඉතිහාසයට අදාළ දේශපාලන සිදුවීම් කීපයක් පමණි. පසුගිය ඉතිහාසය පුරාම ජවිපෙ මේ රටට එරෙහිව දියත් කළ දුෂ්ට මෙහෙයුම් සාර්ථක වූයේ නම් අද මේ රට තිබෙනු ඇත්තේ කොතැනද? යන්න අප මේ මැතිවරණයේදී කිසිවිටෙකත් අමතක කළ යුතු නැත.

  • 2008 වසරේදී විමල් ඇතුළු ජාතික මතවාදය නියෝජනය කළ පිරිස් කුමන්ත්‍රණකාරී ලෙස පක්ෂයෙන් ඉවත් කිරීමට එහි ඔත්තුකාර නායකයන්ට හැකිවිය. එය ජවිපෙ නායකයන් එජාපය සමග සහයෝගයෙන් දියත් කළ මෙහෙයුමක් බව එකල එජාප හිතවාදී මාධ්‍යවල හැසිරීමෙන්ද මනාව තහවුරු වූ අතර, මේ ඉවත් වීමත් සමඟ ජනතා විමුක්ති පෙරමුණ මෙරට ජාතික බලවේග නියෝජනය කළ කඳවුරෙන් තීරණාත්මක ලෙස බිඳී ගියේය.
  • 2008න් පසු මේ නායකයන් දිගින් දිගටම ජවිපෙ මෙහෙයවන ලද්දේ එජාපය ප්‍රමුඛ විජාතික බලවේගවල න්‍යායපත්‍රයට අනුවය. එතැන් සිට ජවිපෙ සටන් පාඨ, ක්‍රියාමාර්ග, සතුරන් මිතුරන් සියල්ල උඩු යටිකුරු වූ අතර එහි ජයග්‍රාහී සමයේ ජවිපෙ පරම සතුරන් වූ බොහෝ දෙනා 2008 බිඳීමෙන් පසු ජවිපෙ මිතුරන් බවට පත්විය.
  • යුද්ධය ඉතා තීරණාත්මකව පැවති 2008 වසරේ අග භාගයේ පැවති අයවැය ඡන්ද විමසීමේදී ජවිපෙ එජාපය හා එක්ව ආණ්ඩුව පරාජය කිරීම සඳහා ඡන්දය භාවිතා කළේය. ඔවුන්ගේ දුෂ්ට ප්‍රයත්නය සාර්ථක වූයේ නම් ත්‍රස්තවාදයට එරෙහි සටන මුළුමනින්ම කඩාකප්පල් වනු ඇති අතර එය වලක්වා ගත හැකි වූයේ විමල් වීරවංශ ප්‍රමුඛ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරුන් දොළොස් දෙනකු ඒ වනවිට ජවිපෙන් ඉවත් වී සිටි නිසාය.
  • එතැනින්ද නොනැවතී ජවිපෙ දිගින් දිගටම යුධ ජයග්‍රහණයට එරෙහිව අඛණ්ඩ මෙහෙයුමක් දියත් කළේය. ව්‍යාජ ලෙස යුද්ධය වෙනුවෙන් පෙනී සිටිමින්, යුද මෙහෙයුම් සිදුකරන දේශපාලන නායකත්වය පරාජය කිරීම සඳහා හැකි වෙර යොදා කටයුතු කළ මේ පිරිස, යුධ ජයග්‍රහණයට එරෙහිව විශාල වශයෙන් බොරු ප්‍රචාරද පතුරුවා හරිනු ලැබූහ. 2009 මැයි 18 වැනිදා දක්වාම ජවිපෙ පිළිවෙත වූයේ ආණ්ඩුව යුද්ධය නොකරන බවට බොරු පතුරුවමින් ආණ්ඩුව පරාජය කළ යුතුය යන මතය නොනවත්වා සමාජගත කිරීමය. ඉසුරු ප්‍රසංග විසින් රචිත බිඳුණු වම් අත කෘතියේ මේ කාරණය නිදසුන් සහිතව මනාව පෙන්වා දී තිබේ. ජවිපෙ මේ දුෂ්ට මෙහෙයුම සාර්ථක වූයේ නම්, තවමත් මේ රට එකිනෙකා මරා ගන්නා, තැන තැන බෝම්බ පිපිරෙන කාළකණ්ණි රටක් වනු ඇති බව අප කිසිවිටෙතක් අමතක කළ යුතු නැත.
  • 2010 ජනාධිපතිවරණය වනවිට ජෙනරාල් ෆොන්සේකා නැමති ඊනියා පොදු අපේක්ෂකයෙකුට මුවා වෙමින් එජාපය බලයට ගෙන ඒමේ තක්කඩි මෙහෙයුමට ජවිපෙ සෘජුවම දායක වූහ. ජවිපෙ ඉතිහාසයේ ප්‍රථම වතාවට රතු කොඩි සහ කොළ කොඩි සහිත වේදිකා ඉදිවිය. 2015 ජනාධිපතිවරණයේදී වටේ කැරකෙමින් එජාප මෙහෙයුමට දායක වූ ජනතා විමුක්ති පෙරමුණ 2010 දී සෘජුවම ඒ වෙනුවෙන් පෙනී සිටි බව අද බොහෝ දෙනාට අමතක වී ඇත.
  • මෙවැනි ද්‍රෝහී ක්‍රියාමාර්ග හරහා ජවිපෙ ජනබලය මෙන්ම අභ්‍යන්තර ශක්තියද දිගින් දිගටම පහත වැටිණි. රටට ආදරය කරන බලවේග ජවිපෙ වෙතින් දුරස් වෙමින්, ඒ වෙනුවට එන්ජීඕ මතධාරී විපරිත කල්ලි කණ්ඩායම් ජවිපෙ වටා රොක් වන්නට වූහ. විශාල සාමාජික පිරිසක් ජවිපෙ හැර ගිය අතර, සිය අතීත අභිමානවත් භූමිකාව වෙනුවට එය ඉතා වේගයෙන් රට ඉදිරියේ නිවට හා විහිළුකාර පක්ෂයක් බවට පත්විය. 
  • 2010 මහ මැතිවරණය මේ පරිහානියේ තීරණාත්මක අවස්ථාවකි. එය කොතෙක්ද යත් මේ මැතිවරණයේදී එජාපය හා එක්ව තරග කිරීමට ජවිපෙ විශාල උත්සාහයක් දැරූ බව අද බොහෝ අයට අමතකය. ප්‍රසිද්ධ ප්‍රකාශ පවා නිකුත් කරමින් දියත් කළ මේ ඇඬියාවට එජාපයෙන් සුබවාදී ප්‍රතිචාරයක් නොලත් තැන, ඔවුන්ගේ පිළිවෙත වූයේ ජෙනරාල් ෆොන්සේකා මුල් කරගත් ව්‍යාජ සන්ධානයක් අටවා ගනිමින් මැතිවරණයට ඉදිරිපත් වීමය. ඒ ඔස්සේ 2004 දී ඔවුන්ට හිමිව තිබූ පාර්ලිමේන්තු ආසන තිස්නවය 2010 වනවිට හතර දක්වා පහත වැටිණි. රටේ සැබෑ ජයග්‍රහණවලට එරෙහිව යමින් ඔවුන් ගෙන ගිය ද්‍රෝහී දේශපාලනයේ ප්‍රතිපලය එය වූ අතර ජවිපෙ ඔත්තුකාර නායකයන්ට අවශ්‍ය වූයේද ජවිපෙ එවැනි ඛේදජනක ඉරණමක් කරා ඇදගෙන යාමය.
  • එතැන් සිට මහින්ද විරෝධය ජවිපෙ එකම සටන් පාඨය බවට පත්විය. අධිරාජ්‍යවාදයට, බෙදුම්වාදයට, යටත්විජිතකරණයට එරෙහිව අතීතයේදී සෑම පෙරමුණකම අරඹා තිබූ සියලු සටන් අත හැර දැමූ මේ අමන රැළ එතැනින්ද නොනැවතී එම බලවේගවල සෘජු ආරක්ෂකයෙක් බවටද පත්විය. ජිනීවා මෙහෙයුම් ආදිය හමුවේ ජවිපෙ හැසිරීම සහ එන්ජීඕ සංවිධානවල හැසිරීම අතර වෙනසක් නොවීය. රටේ ජාතික ජයග්‍රහණවලට අදාළ සෑම ප්‍රශ්නයකදීම ඔවුන් කටයුතු කළේ ඒ ආකාරයෙනි. 
  • මහින්දගේ ආණ්ඩුවට එරෙහිව ද්‍රෝහී බලවේගවල මෙහෙයවීමෙන් දියත් වූ අසත්‍ය ප්‍රචාර ආදියේ හොඳම ප්‍රකාශකයෙක් වූයේ ජනතා විමුක්ති පෙරමුණය. ඔවුන් තමන් සතු අල්ප බලය එජාපය වෙනුවෙන් උපරිම ලෙස ක්‍රියාවේ යෙදවූහ. රාජපක්ෂ ආණ්ඩුවට එරෙහි සාධාරණ විවේචන පමණක් නොව අතිශය අසාධාරණ විවේචන හා ගල් පැලෙන බොරු දිවා රූ පතුරුවමින් කාලයක් තිස්සේ රනිල් බලයට ගෙන ඒම සඳහා විශාල වෙහෙසක් දැරූ මේ පිරිස 2015 ජනාධිපතිවරණයේදීද තම උපරිම ශක්තිය ඒ වෙනුවෙන් වැය කළහ. රනිල් වික්‍රමසිංහ නැමති අතිශය විනාශකාරී නායකයාට රට ගොදුරු කිරීම සඳහා වැඩිපුරම බොරු ගෙතූ වාමාංශික ගොබෙල්ස් වූයේ අනුර දිසානායකය. 
  • අනුර දිසානායකගේ එජාප ගැති පිළිවෙතට විරෝධය පළකරමින් ජවිපෙ හිටපු නායකයා වූ සෝමවංශ අමරසිංහ මහතා පවා ජවිපෙ අතහැර යනුයේ මෙවැනි පසුබිමක් තුළය. එයට ජවිපෙ ප්‍රතිචාරය වූයේ සෝමවංශට මානසික රෝගයක් තිබේය යන මතය තම පක්ෂ සාමාජිකයන් අතර පතුරුවා හැරීමය. 
  • යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිටම ජවිපෙ සෑම තීරණාත්මක අවස්ථාවකදීම ආණ්ඩුවේ වැඩපිළිවෙල හා මතවාදය ආරක්ෂා කළේය. රට බේරාගත් රණවිරුවන් බිල්ලට දෙන අතුරුදන්වූවන් සෙවීමේ කාර්යාල පිහිටුවීම වැනි දුෂ්ට ජිනීවා මෙහෙයුම් ආදියේ සිට ආණ්ඩුවේ සෑම පනතකටම ජවිපෙ ජන්ද හය නොමසුරුව පුද කෙරිණි. මහින්දට යගදාවලින් පහර දෙන අතරේ රනිල්ට ඉරටුවලින් පහර දෙමින්, බොරු ආණ්ඩු විරෝධී රංගනයක් පෙන්වුවද ඔවුන්ගේ සැබෑ පිළිවෙත වූයේ එයය. 
  • ඒ සියල්ලට වඩා ජවිපෙ කළ ලොකුම පාවාදීම වූයේ රනිල්ගේ විනාශකාරී නව ව්‍යවස්ථාව වෙනුවෙන් කොන්දේසි විරහිතව පෙනී සිටීමය. ත්‍රස්තවාදයට එරෙහිව මේ රට ලබාගත් සියලු ජයග්‍රහණ නැවත පාවාදෙන, ජාතිවාදී පදනමින් රට කෑලිවලට කඩා දමන, අන්ත ජාතිවාදී බෙදුම්වාදී බලවේගවලට කප්පම් දෙමින් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනයාගේ යහපැවැත්ම මරණීය අනතුරකට ඇදහෙලන, බෙදී වෙන්වී එකිනෙකා මරාගන්නා රටක් නිර්මාණය කරන මේ ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටීම තරම් ද්‍රෝහීකමක් තවත් නැති බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. 

    මෙහි ඇත්තේ ජවිපෙ සැබෑ දේශපාලනය කුමක්දැයි වටහා ගැනීමට තුඩු දෙන කාරණා කීපයක් පමණි. අද රණවිරු දඩයමට උඩගෙඩි දෙමින්, අතුරුදන්වූවන්ගේ කාර්යාල පිහිටුවීමට ජන්දය භාවිතා කරමින්, බැඳුම්කර මහ හොරාගේ සූක්ෂම දේශපාලන ආරක්ෂකයා ලෙස කටයුතු කරමින්, එන්ජීඕ කල්ලි හා එකපතේ වළඳමින්, අන්ත ජාතිවාදීන්ගේ පරගැති ව්‍යවස්ථා සංශෝධන වෙනුවෙන් පෙනී සිටිමින් ඔවුන් මේ රට ගෙන යන්නට උත්සාහ දරන්නේ කොතැනටද යන්න සිහිබුද්ධියෙන් කල්පනා කර බැලිය යුතුය. අද බොරු දූෂණ විරෝධී මුහුණක් පෙන්වා ඔවුන් ලබා ගන්නා සෑම ඡන්දයක්ම අනාගතයේදී මේ රටට එරෙහි මෙවන් ද්‍රෝහී මෙහෙයුම් සඳහා නොමසුරුව භාවිත වන බව අප කිසිවිටෙකත් අමතක කළ යුතු නැත. මේ මැතිවරණයේදී ඔබ ජවිපෙට ඡන්දය නොදිය යුත්තේ ඒ නිසාය.

යටියන ප්‍රදීප් කුමාර

One Response to “ජවිපෙට ගම නොදිය යුත්තේ ඇයි?දූෂණ විරෝධී වෙස් මුහුණ සහ සැබෑ මුහුණ අනුර – රනිල් දීගයේ දුෂ්ට ඉතිහාසයෙන් බිඳක්…”

  1. Ancient Sinhalaya Says:

    Why jaathidhrohee vermins’ party aka jvp sacrificing Sinhalese youth can be found out if you click in the
    following links. You won’t see these in so called Buddhist (on paper) Sri Lanka. Now jaathidhroheens are
    headed by the Pxxx lapaya and it is obvious it is so fond of its catholic buddy traitor chief die hard catholic
    token Buddhist walking crime bomb mega thief mega thakkadiya bay gal kaaraya Batalande Wadakaya pol pot
    r@nil wickrama Sinhala killer. Obviously Pxxx lapaya can’t say no to his buddy. Just like Walking Crime Bomb
    couldn’t say no to its catholic buddy barrel man hitler mala paharan and its catholic tigers of tamil drealam.

    http://www.lankaweb.com/news/items/2016/05/27/ranil-wickremasinghes-new-unp-3/

    http://www.lankaweb.com/news/items/2017/08/09/ranil-wicremasinghes-crimes-against-sri-lanka-and-its-people-for-forty-years/

    http://ltte-christian-ties.blogspot.com/

    https://www.youtube.com/watch?v=cV6_o9txURc

    http://www.lankaweb.com/news/items/2015/08/05/christianizing-of-sri-lanka-unps-betrayal-of-buddhism/

    http://www.lankagrid.com/soma-thero/

    https://www.youtube.com/watch?v=V_eJ1gX_fuU

    http://www.lankaweb.com/news/items/2016/09/26/ltte-terrorism-church-links-can-someone-explain-these-photos/

    http://www.pinsiri.com/%E0%B7%83%E0%B7%9D%E0%B6%B8-%E0%B7%84%E0%B7%92%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A-%E0%B6%9C%E0%B7%9A-%E0%B6%85%E0%B6%B4%E0%B7%80%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%93%E0%B6%B8/

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress