මැතිවරණ සමය, විනෝද සමය සහ භීෂණ සමය
Posted on February 3rd, 2018

තේජා ගොඩකන්දෙආරච්චි

පලාත් පාලන මැතිවරණයට ඇත්තේ තවත් දින හයක් පමනි. මේ වනවිට සියලු පක්ෂ තම උපරිම උත්සාහය යොදාගෙන තම චන්ද සටනේ නියැලෙති. 

මේ මැතිවරණ වේදිකා මත ඇසෙන කතාවන්හි, බලය ලබා ගැනීම අරභයා ඒ මේ අතට මඩ ප්‍රහාර එල්ල කරගැනීම මිස වෙනත් දෙයක් ඇසෙනුයේ කලාතුරකිනි. උදාහරණ ලෙස, පලාත් පාලන ආයතනවල කාර්යභාරය? පලාත් පාලන ආයතන සක්‍රීය වන්නේ නම් ඉන් ජනතාවට ලැබෙන ප්‍රතිලාභය? මේවා ගැන දැනගැනීම ජනතාව සතු ශුද්ධ වූ අයිතියකි. විශේෂයෙන් පලාත් පාලන සභිකයන්ගේ සංඛ්‍යාව දෙගුණයකින් වැඩිකර ඇත. මේ අයට මාසික වැටුප් සහ වෙනත් දීමනාවන් ගෙවන්නට අමතරව රුපියල් කෝටි ගණන් වැයකල යුතු විට එහි බරපැණද ජනතාවගේ පොකැට්ටුවෙන්ම යන්නේ නම්, මෙසේ සභික සංඛ්‍යාව ඉහල දැමුවේ ඇයි, ඉන් ජනතාවට සැලසෙන සේවය කුමක්ද යනාදිය දැනගැනීමට ජනතාවට අයිතියක් ඇත. නමුත් ඒ වෙනුවට ජනතාවගේ දෙසවන් පිරෙන්නේ වෙනත් විකාර, සම්පප්‍රලාප වලිනි.

හැබැයි පලාත් පාලන ආයතන මගින් සිදුවන කාර්යභාරය පිලිබඳවද යම් ප්‍රමානයකින් නොකියවනුයේ නොවේ. නමුත් ඒ තර්ජනාත්මක ස්වරයෙනි. හාරිස්පත්තුවේදී අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල අපූරු කතාවක් කීවේය. ‘අගමැතිතුමා තමයි සංවර්ධන කටයුතුවලට සල්ලි දෙන්නෙ. ඒ නිසා මතක තියාගන්න පොහොට්ටුව දිනුවොත් බෝක්කුවක්වත් හදන්න සල්ලි ලැබෙන්නෙ නැහැ’ මෙය ඉතාම පිලිකුල් සහගත ලෙස ජනතාවගේ අයිතිය උල්ලංඝනය කිරීමක් නොවේද? 

අගමැතිවරයා සතුව තිබෙනවාය කියන මේ මුදල් ඇත්තේ ඔහුගේ පුද්ගලික ගිණුමේ නොවේ. ඔය කියන මුදල් මහජන මුදල්ය. අන්තිම දුගී යාචකයා දක්වා තමන් කන බොන බත් පතෙන්, තේ කෝප්පයෙන් පවා ගෙවන බදු මුදල්ය. මේ පවසන්නේ වෙනත් රටකින් ලබා ගන්නා ණය මුදලක් නම් ඒ ද ගෙවිය යුත්තේ වත්මන් සහ ඉදිරි පරම්පරාවන්ය. ඉතින් ඔය කියන බෝක්කුව අවශ්‍ය ඒ ප්‍රදේශයේ ජනතාවට නම්, එය ඉදිකිරීමේ අවස්ථාව ගැන තර්ජනාත්මකව බලපෑම් කරන්නට තමන්ට හැකිය කියා කිරිඇල්ල සිතනවා නම් ඔහු කෙතරම් මෝඩ සහ කුණුවී ගිය මොළයක් සහිත පුද්ගලයෙකු විය යුතුද? සැබැවින්ම වත්මන් දේශපාලකයන්ගෙන් බහුතරයකගේ තත්වය මෙයයි.

මෙවන් තර්ජන සිදුකලේ ඔහු පමනක් නොවේ. පලාත් පාලන කටයුතු පිලිබඳ ඇමතිවරයා වන ෆයිසර් මුස්තාපා ද මෙවැනිම කතාවක් පැවසීය. ‘පලාත් පාලන ආයතන සඳහා වැය කරන මුදල් නිකුත් කරන්නේ තමාගේ අමාත්‍යංශයෙන් බැවින් තමන්ට චන්දය නොදෙන අයට මුදල් නැහැ’ ඒ ඔහුගේ තර්ජනයයි. එයද ලක්ෂ්මන් කිරිඇල්ලගේ තර්ජනයට දෙවැනි නොවේ. පුදුමය නම් මේ කියන කතාවන් අසමින් ‘ජයවේවා’ කියමින් ඝෝෂා කරන්නට සැදී පැහැදී සිටින පිරිසකුත් මේ අතර සිටීමයි. මේ ආකාරයේ පිරිස ඉතාම පටු ආකාරයට පක්ෂ භේදය අනුව තමන්ගේම පන්තියේ තවත් පිරිසක් හෙලා දකිනවා මිසෙක මේ දේශපාලකයන් විසින් තමන්ගේ බුද්ධිය අවතක්සේරුවට ලක් කරමින්, තම අයිතීන් සූරාකන අන්දම වටහා ගන්නේ නැත. ‘මහජන නියෝජිතයා’ යන තනතුර තුල ඇති වගකීම්, භූමිකාව, ඔවුන් තුල තිබිය යුතු ධාරිතාව පිලිබඳ දැනුවත් භාවයක් මේ ජනතාව තුල නොවේ. කෙටියෙන් කිවහොත් මහජන නියෝජිතයාගේ පැවැත්ම රැඳී ඇත්තේ තමන් අතේ බව වටහා නොගන්නා ඔවුහු, තම පැවැත්ම පිලිබඳ කාරණය මහජන නියෝජිතයා වෙත පවරා හිස නමාගෙන  සිටිති.

අගමැතිවරයාගේ කතා තවත් ආකාරයකි. ඔහුට අනුව පෙරදී සුදු අලියෙකුව තිබූ හම්බන්තොට වරාය දැන් නැව්වලින් පිරී ගොසිනි. මත්තල ගුවන් තොටුපල ගුවන් යානාවලින් පුරවමින් සිටී. නමුත් මෙසේ ගෙනෙන නැව් සහ ගුවන්යානාවල ආදායම කවුරුන් අතට යනවාදැයි මේ කතා තුල සඳහන් නොවේ. මේවායින් මෙසේ ආදායම් ලබා ගන්නට හැකියාවක් තිබුනා නම් පිටරටුනට නොපවරා තමන් අත තබාගෙන මෙම තත්වයට ගෙන ඒමට සැලැස්මක් ඔවුන් ලඟ නොතිබුනේද? හම්බන්තොට වරාය චීනයට පවරා ලැබුන මුදල් ලෙස. ඇමරිකන් ඩොලර් මිලියන 300 ක චෙක් පතක් මහා උජාරුවකින් ජනතාව වෙත පාගෙන සිටි ඔහු රු. මිලියන 300 බැගින් වටිනා මෝටර් රථ දෙකක් ගෙන්වා ගත්තේ ඊට පසු නුදුරු කාලයකදීය.

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 15 ක් බව ඔහු පැවසූ තවත් කතාවකි. මේ මොනවා අපනයනය කිරීමෙන් උපයා ගත්තක්ද? අප කුඩා අවධියේ නම් ප්‍රධාන අපනයන භෝග වූයේ තේ, පොල් සහ රබර්ය. දැන් පොල්වලට අත්ව ඇති ඉරණම ගැන ජනතාව දනිති. 1977 න් පසු නිමි ඇඳුම් සහ මැද පෙරදිගට ශ්‍රමය විකිණීම අපනයන ආදායම් ප්‍රමානයන්හි ප්‍රථම ස්ථාන දෙකට පැමිනියේය. මිනිස් ශ්‍රමය අපනයනය ගැන කෙසේ වෙතත්, නිමි ඇඳුම් කර්මාන්තයට අත්ව ඇති ඉරණමද මිනිසුන්ට පෙනී යා යුතුය. පසුගිය වකවානුවේ වරින්වර සිදුවූ ස්වභාවික ආපදා හේතුවෙන් වැවිලි ක්ෂේත්‍රයට ඇතිවූ බලපෑම් මත රට ඇද වැටුන තත්වය කිවයුතු නොවේ. මේ බය නැති අගමැති මෙසේ ජනතාව ඉදිරියේ මෙසේ බොරු ගණන් හිලව් පවසා විශාල චිත්‍රයක් මවා පෙන්වයි.

ජනාධිපතිවරයාගේ භූමිකාව වඩාත් හාස්‍යජනකය. මුලදී ඔහු බැඳුම්කර වංචාව ගැන පවසමින් එජාප ය මෙන්ම හිටපු ජනාධිපතිවරයා ඇතුලු ඒකාබද්ධ විපක්ෂයද පතුරු ගසන්නට වූයේය. ඊලඟට තමාව දුර්වල නොකර හොරුන්ට දඬුවම් කිරීමට තමාට ඉඩ දෙන්නැයි ඉල්ලා සිටියේ අගමැති, එනම් සොර මුලේ නායකයා වෙතිනි. සති කිහිපයකට පෙර හදිසියේම තමන් හා එක්ව සන්ධාන ආණඩුවක් හදන්නට එන මෙන් ඒකාබද්ධ විපක්ෂයට ආරාධනා කලේය. ඊට නිසි ප්‍රතිචාරයක් නොලැබුන තැන ‘මම කතා කරල බැලුව. ඔය හොර මුලට මාත් එක්ක හිටගන්න බෑ’ ආදී වශයෙන් යලිත් මහින්ද රාජපක්ෂලාට පහර දෙන්නට බැලුවේය. ඔහුගේ අලුත්ම තර්ජනය නම් එයා ලංකා ගණුදෙනු ගැන සොයන කොමිසමයි.

තමන් පසුගිය රජයේ සිටියදී වරක් 2010 වසරේදී, රජයේ දූෂණ වංචා ගැන කතාකලවිට, තමන්ව අරලියගහ මන්දිරයට කැඳවූ හිටපු ජනාධිපතිවරයා තමන්ට තර්ජනය කල බව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියයි. ඔහු වෙනම ගමනක් යන්නට තීරණය කලේ එදාලු. මීට පෙර වෙනම ගමන් යන්නට තීරණය ගත් ඇමතිවරු තම තනතුරුවලින් ඉවත්වූ අවස්ථා තිබිනි. නමුත් අපේ මේ ජනාධිපතිවරයා තවත් වසර 4 ක් ඉවසාගෙන, හිටපු ජනාධිපතිට ස්තෝත්‍ර ගයමින් ඇමතිකමේ වරප්‍රසාද භුක්ති වින්දේය. තමන් දස මහා යෝධයන් සේ නොසිටින්නට යුද්ධය දිනන හැටි බලන්න තිබුනාය පැවසූ ඔහු යුද්ධයේ අවසන් දින කිහිපය තුල ‘මැඩ්‍රාස්’වලින් ප්‍රහාරයක් එල්ලවේය යන බිය නිසා ජනාධිපති සහ අගමැති රටෙන් මගහැර සිටි බවත්, යුද්ධයේ අවසානය මෙහෙයවුයේ තමා අතින් බවත්, මෙසේ ඇසුනු තවත් කතාවකි. මෙවිට ප්‍රශ්න කිහිපයක් මතුවේ. එසේනම් චෝදනා නැගෙන යුධ අපරාධ සඳහා මෛත්‍රීපාල සිරිසේනටද වගකීමක් තිබෙනවා නොවේද යන්න ඉන් එකකි. ඔය කියන ආකාරයට එවකට හිටපු හමුදාපති දරු පවුලත් සමගම චීනයට ගොස් සිටියේද මේ හේතුවටමද යන්න දෙවැන්නයි. නමුත් යුද්ධයේ අවසානය සනිටුහන් කිරීමට දින දෙකකට පමන පෙර හිටපු ජනාධිපති දිවයිනට පැමිනි අතර, ඔහුව බදා වැළඳ කම්මුලට කම්මුල තබාගෙන ප්‍රීතිය ප්‍රකාශකලේද වත්මන් ජනාධිපතිය.

අද සන්ධාන ඇමතිවරු වේදිකාවක් ගණනේ බැඳුම්කර හොරුන් පට්ට ගසනවිට, ජනාධිපති කොමිසමේ නිර්දේශ අනුව චෝදනා ඉදිරිපත්කර ඇත්තේ අර්ජුන් මහේන්ද්‍රන්, අර්ජුන් ඇලෝෂියස් සහ කසුන් පලිසේනට පමනි. සන්ධාන ඇමතිවරුන් විසින් තම නායකයාගේ රූලට කරන වැඩ ගැන කයිවාරු ගසද්දී, අජිත් පෙරේරා අමාත්‍යවරයා පවසනුයේ මේ බැඳුම්කර වංචාව පිලිබඳව ජනාධිපතිවරයා විසින් එජාපයද, රවි කරුණානායකද, අගමැතිද නිර්දෝෂී කර ඇති බවයි. මේ නිදොස් කිරීමේ ආනුභාවයෙන් ලද හයිය මත හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රජා අයිතිය ජීවිත කාලයටම අහෝසි කරන බවද අජිත් පෙරේරා පැවසීය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරිය පත්කල බටලන්ද කොමිසමෙන් තම නායකයා වරදකරුව ඇති බවද, ඒ රනිල්ගේ බලකාමය මත තිරශ්චීන ලෙස බිලිගත් දහස් සංඛ්‍යාත තරුණ ජීවිත පිලිබඳව මත බවත් මොහුට අමතකව ඇතිසේය.

එක අතකට එවන් අමතකවීමකට අජිත් පෙරේරාට දොස් නගා පලක් නොවේ. එදා ඒ බටලන්ද කොමිසම් වාර්තාව පදනම් කරගෙන රනිල් වික්‍රමසිංහට චෝදනා ගොනු කරන්නට කිසිවෙකුට අවශ්‍යතාවයක් නොතිබිනි. එම වාර්තාව යොදාගත්තේ මැතිවරණ සමයකදී රනිල්ට පහර දීමට පමනි. ඉතින් අදද මේ කියන කොමිසම් වාර්තාවලින් මෙයට වැඩි යමක් අපේක්ෂා කලහැකිද? එයා ලංකා තබා මොන කොමිසම පත්කලත් ඕවා දෙස බලා සිටින ජනතාවගේ කාලය අපතේ යනු මිස වෙනත් යමක් සිදු නොවනු ඇත. රාජපක්ෂ යුගයේ ගුවන් සේවා අමාත්‍යව සිටි ප්‍රියංකර ජයරත්න තමන්ගේ හවුල් ආණ්ඩුවට එක් කර ගත්තේ ජනතාවගෙන් අසා බලා නොවේ. 

එදා මහින්ද රාජපක්ෂ තමන් කියන දේ ඇසුවේ නැතැයි චෝදනා කරන වත්මන් ජනාධිපතිවරයා, අද නහයෙන් අඬන්නේ අර්ජුන් මහේන්ද්‍රන් පත් කිරීමේදීද, රවි කරුණානායක පත් කිරීමේදීද තමන් එපා කියූ දේට අගමැතිවරයා කන් නොදුන් බව කියමිනි. ඉතින් රනිල්ගේ, මහින්දට වඩා වෙනම ඇති හොඳ මොනවාද? රනිල් අගමැතිව සිටි 2001-2004 යුගයේදී ජනාධිපතිනියට එරෙහිව ඔහු ක්‍රියාකල අත්තනෝමතික ආකාරය මෛත්‍රීපාල සිරිසේනට අමතක වූයේ කෙසේද? එදා එල්ටීටීඊ සංවිධානය ඉල්ලාසිටි රටේ කොටස කඩා ඔවුනට ලියා දුන් රනිල්ට අද එජාප මැතිවරණ වේදිකාවකදී, එම රැස්වීමේ සංවිධායකයන් විසින් ‘රට එක්සේසත් කල නායකයාට ජයවේවා’ යි ජනතාව ලවා කෑ ගස්සවනු අසා මට පුදුම සිතිනි. දෙවියනි! අපේ ජනතාවගේ සිතීමේ මතකයේ ශක්තිය මෙතරම්ම දුර්වලද? මහින්ද රාජපක්ෂ කිහිල්ලේ ගසාගෙන සිටි ෆයිල් ගැන කියමින් ජනතාව විනෝදමත් කරන රන්ජන් රාමනායකට, තම පක්ෂයේ පැරණි නායකයා වූ ජේ. ආර්. ජයවර්ධන විසින්, තම රජය නියෝජනයකල සියලු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දාතම රහිත අස්වීමේ ලිපි වලට අත්සන් තබාගෙන, තමන් ලඟ තබා ගත්තේ විහිලුවට නොවන බව අමතක වීද? ඒ එක එක විධායක ජනාධිපතිවරුන් කටයුතුකල හැටිය. ඉතින් අපේ වත්මන් ජනාධිපතිවරයා කරන්නේ කොමිසම් පත්කර, අනුමැතිය දීමයි. ඔහු තම සගයන් බිය ගන්වන්නට උත්සාහ ගන්නේ එලෙසිනි. 

මෑතකදී මැතිවරණ වේදිකාවකට නැගි චතුරිකා සිරිසේන මෙසේ පැවසුවාය. ‘ජනතාව හඬනකොට තාත්තත් හඬනව. ජනතාව සුසුම්ලනකොට තාත්තත් සුසුම්ලනව.’  හැබැයි ජනතාවට අවශ්‍ය තමන් සමග හඬන, සුසුම්ලන නායකයෙක් නොව, තම කඳුල සුසුම පිසලිය හැකි නායකයෙකි. 2015 ජනවාරි 8 වන දාට පෙර රටේ ජනතාව සිටියේ කඳුලු සුසුම් මැදය කියා මොවුන් අද පවසන කරුණු අනුව දේදුණු විප්ලවය තුල එදා 2015දී ජනතා අපේක්ෂාව එය නොවීද?

එදා 2014 නොවැම්බරයේ සිට 2015 ජනවාරි 05 දා මධ්‍යම රාත්‍රිය දක්වා කියැවුන කතා පෙට්ටගම දැන් යලි එලියට ගෙන, 2018 පෙබරවාරි 07මධ්‍යම රාත්‍රිය දක්වා භාවිතා කරන බව පෙනෙයි. මෑතකදී එයා ලංකා කොමිසමට තමන් අද දහවල් අත්සන්කර පැමිනි බව කියූදා ජනාධිපතිවරයා මෙසේ කීය. ‘මේවාට කවුරු කවුරුන් අහුවේද දන්නෝ දනිති’

ඉතින් අද මැතිවරණ වේදිකාවල කියන මේ කතන්දර සම්බන්ධයෙන්ද කීමට ඇත්තේ එපමනකි.

ඕවාට කවුරු කවුරු අහුවේද දන්නෝ දනිති. ප්‍රතිඵලය පෙබරවාරි 10 දා මධ්‍යම රාත්‍රියෙන් පසුය. හැබැයි නියම ප්‍රතිඵලය නම් මෙසේ මඩ ගසාගෙන, පොරකාගෙන, ගහමරාගෙන පලාත්පාලන ආයතන නියෝජිතයන් අටදහස් ගණනකගේ බරත් ජනතාවටම අදින්නට සිදුවීමය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress