ජවිපෙට තවදුරටත් ජනතාව වෙනුවෙන් පෙනී සිටින්න බෑ
Posted on October 1st, 2018

දෙනගම ධම්මික රණවීර උපුටාගැණීම  මව්බිම

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 සංශෝධනය පිළිබඳ ජනමත විචාරණයකට යෑමට කැමැති බව මහ නායක හිමිවරුන්ට කියන ජවිපෙ ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගිහින් ජනමත විචාරණ එපා කියන දෙබිඩි ප්‍රතිපත්තියක නිරත වී සිටිනවා යැයි නීතිඥ නාගානන්ද කොඩිතුවක්කු පැවැසීය.

ඔහු එම අදහස් පළ කළේ පසුගියදා (24දා) නුගේගොඩදී මාධ්‍ය හමුවක් පවත්වමින්ය.
එහිදී ඔහු වැඩිදුරටත් මෙසේද පැවැසීය.

ජනතා විමුක්ති පෙරමුණ මහ නායක හිමිවරුන් මුණගැසෙමින්, මාධ්‍ය හමු පවත්වමින්, ජනතාව ඉදිරියට යමින් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවේ 20 වැනි සංශෝධනය පිළිබඳව සාවද්‍ය ප්‍රකාශ කරමින් සිටිනවා. ඒත් 20 සංශෝධනයේ අරමුණ ඡන්දයකින් දිනන්නත් බැරි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාට විධායක බලය ප්‍රදානය කිරීමයි. මේ පනතෙහි පැහැදිලිවම සඳහන් වන්නේ මහජන ඡන්දයෙන් පත් කෙරුණු විධායක ජනාධිපති සතු බලතල අගමැති සතු කර දීමේ වැඩපිළිවෙළයි.
මේ පිටුපස පැහැදිලිවම ඉන්නේ එජාපය, දෙමළ සන්ධානය හා බටහිර බලවේග. ඒ අය විසින් ජවිපෙ බළල් අතක් ලෙස පාවිච්චි කරනවා.

20 වැනි සංශෝධනය වෙනුවෙන් ජනමත විචාරණයකට යන්න කැමැති බව ජවිපෙ රටට කියනවා. ඒත් එවැනි සඳහනක් නොකරයි මේ පනත ගැසට් කරලා තියන්නේ.

ඒ ආකාරයට රටට එකක් කියන ජවිපෙ ශේ‍ර්ෂ්ඨාධිකරණයට ගොස් වෙනත් එකක් කියන දෙබිඩි පිළිවෙතක් අනුගමනය කර තිබෙනවා. ජවිපෙ විජිත හේරත් මන්ත්‍රිවරයා ශේ‍ර්ෂ්ඨාධිකරණයට දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරමින් 20 වැනි සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍ය නැහැ කියලා. 4 වැනි ඡේදයේ ඒ බව සඳහන් වෙනවා.

ජවිපෙ දූෂණ වංචාවලට පටහැනිව පෙනී සිටින බව කිව්වත් ජනාධිපති පත් කිරීමට ජනතාවට ඇති පරමාධිකාරි බලය හොරෙන් පැහැර ගැනීමටයි උත්සාහ කර තිබෙන්නේ.

මේ රටේ ප්‍රධානියා පාර්ලිමේන්තුව, ශේ‍ර්ෂ්ඨාධිකරණය හෝ ජනාධිපතිවරයා නෙවෙයි. රටේ පරමාධිපත්‍ය හිමි ජනතාවයි. එම පරමාධිපත්‍යය වෙනුවෙන් පෙනී නොසිටින ජවිපෙට තවදුරටත් ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න බව කියන්න බැහැ.

20ට ජනමත විචාරණයක් අවශ්‍ය නැති බව දෙමළ සන්ධානය කියන ස්ථාවරයට ජවිපෙ සහ එජාපය තල්ලු වී සිටිනවා. මේ උත්සාහය පාර්ලිමේන්තුවට බලය දීම නෙවෙයි. රනිල් වික්‍රමසිංහට බලය ලබාදීලා රට අස්ථාවර කිරීම පමණයි.

20 වැනි සංශෝධනය පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවට යොමු කරන්නේ ශේ‍ර්ෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශ කිරීමෙන් පසුවයි. එවැනි අවස්ථාවක පාර්ලිමේන්තුව ගන්න තීරණ ගැන ජනතාව අසරණයි. අධිකරණයටත් කිසිම දෙයක් කරන්න බැහැ.

කෙසේ වෙතත් සිසිර ආබෘෘ ප්‍රමුඛ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල 20 වැනි සංශෝධන පිළිබඳ නඩුවේදී රටේ නීතියේ ආධිපත්‍ය, මහජන පරමාධිපත්‍ය ආරක්ෂා කරන බවට මමට විශ්වාසයක් තිබෙනවා.

මේ අතර පළාත් සභා මැතිවරණය කල් දැමීමට සැප්තැම්බර් 20 වැනිදා පාර්ලිමේන්තුව තීරණයක් ගත්තා. ජනමත විචාරණයකට නොගිහින් පළාත් සභා මැතිවරණය කල් දැමීමට නොහැකි බවට
ශේ‍ර්ෂ්ඨාධිකරණය තීරණයක් දී තිබියදී තමයි පාර්ලිමේන්තුව එම තීරණය ගෙන තිබෙන්නේ.

ලබන මාසයේ අගවිනිසුරුවරයා විශ්‍රාම යෑමට නියමිතයි. දූෂණ චෝදනා නඩු තිබෙන වත්මන් නීතිපති ජයන්ත ජයසුරිය මීළඟ අගවිනිසුරු කිරීමේ උත්සාහයකුත් මේ අතර තිබෙනවා.

දෙනගම ධම්මික රණවීර

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress