අපි රට බාර දෙනවිට ආර්ථිකය තිබුණේ ඉහළම තැනක
Posted on October 15th, 2018

පනාගොඩ – චම්පා ජීවන්ති උපුටාගැණීම  මව්බිම

අද හැමෝම අහන ප්‍රශ්නයක් තමා කවුද විපක්‍ෂයෙන් ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන අපේක්‍ෂකයා කියලා. මේ ගැන එක්සත් ජාතික පක්‍ෂයට විශාල ප්‍රශ්නයක් පැනනැඟිලා තියෙනවා. ඒගොල්ලෝ එක එක දේවල් කියනවා ඒ ගැන. එහෙත් දෙවරක්ම ජනාධිපතිවරණයට තමන්ගේ පක්‍ෂයේ නායකයාව ඉදිරිපත් කරන්නට බැරි වෙච්ච එක ගැන එයාලා කල්පනා කරන්නේ නැහැ.

ඒ කොහොම වුණත් ඒ පිළිබඳව මනා අවබෝධයක් තිබෙන දේශපාලන වශයෙන් පරිණතභාවයෙන් වැඩිම ජනතාවගේ විශ්වාසය දිනූ මහින්ද රාජපක්‍ෂ මහතා අවශ්‍ය වේලාවට නියම තීන්දුව ගනී’ යැයි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ හෝමාගම ගොඩගමදී පැවැසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන ප්‍රමුඛ හෝමාගම ප්‍රාදේශීය සභාවේ සභාපති සම්පත් ජයසිංහ ඇතුළු පොදුජන පෙරමුණේ නියෝජිතයන් විසින් හෝමාගම ගොඩගම ප්‍රදේශයේ උත්සව ශාලාවක සංවිධානය කරන ලද ‘එළිය’ සම්මන්ත්‍රණයට සහභාගි වෙමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

‘මම හිතන්නේ මේ අවස්ථාවේදී අපි කළ යුත්තේ අපි වටා ඇති ජනතා බලය ඒකරාශී කර ගැනීමයි. ඒ විදියට අපි සැලසුම් සහගතව වැඩ කළොත් මොන නායකයෙක් ආවත් අපිට ජයග්‍රහණය කළ හැකියි. අපේ මහින්ද රාජපක්‍ෂ මහතාට සුවිශාල ජන බලයක් තියෙනවා. ඒ වගේම අපිට ඡන්දයකට යන්න පක්‍ෂයක් නැති වෙලාවේ බැසිල් රාජපක්‍ෂ මහත්තයාගේ මූලිකත්වයෙන් පක්‍ෂයක් ගොඩනඟා ගන්න හැකියාව ලැබුණා. ඒ වගේම අද වන විට අපේ රටේ වෘත්තිකයන්ගේ, ව්‍යාපාරිකයන්ගේ මතයක් තියෙනවා ඒ අය රාජ්‍ය තන්ත්‍රයේ ක්‍රියාදාමයෙන් ඉවත් වෙලා කියලා. ඒ නිසා ඒ අයවත් රාජ්‍ය තන්ත්‍රයට ඉදිරියේදී සම්බන්ධ කර ගැනීමට වියත් මඟ සහ එළිය වැඩසටහන් උපයෝගි කරගෙන දැනුම බෙදා ගන්නත් දැනුවත් කරන්නත් කටයුතු කරමින් සිටිනවා.

අද වන විට ජාතියේ අවශ්‍යතාව වන ස්වෛරී ඒකීය රටක් වෙනුවෙන් සහ රටක ආරක්‍ෂාව, නීතිය සහ ප්‍රජාතන්ත්‍රවාදය තේරුම් ගත් ජනතාවගේ බලවේගයක් ඒකාරාශී කිරීම අපි සෑම දෙනාගේම වගකීමක් කියලා මම හිතනවා. ඒ නිසා ආණ්ඩුව විසින් ගෙන එන්නට හදන නව ව්‍යවස්ථාව හෝ ව්‍යවස්ථා සංශෝධනවලින් සිදුවන හානි පිළිබඳවත් රට වෙනුවෙන් සටන් කරපු රණවිරුවන්ට ඇති වෙලා තිබෙන වර්තමාන තත්ත්වය පිළිබඳවත් රටේ ආර්ථික තත්ත්වය පිළිබඳවත් ලෝක දේශපාලනයේ අපේ රට පිළිබඳව සිදුවන සිදුවීම් පිළිබඳවත් අපේ ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරමින් සිටිනවා.

අපි මේ ආණ්ඩුවට රට භාර දෙන කොට රටේ ආර්ථිකය ඉහළම මට්ටමක තිබුණා. රටේ ආරක්‍ෂාව ඉහළම ස්ථානයක තිබුණා.

පාතාලය සහ හෙරොයින් වැනි මත්ද්‍රව්‍ය නැති කරපු රටක් තමා අපි භාර දුන්නේ. නමුත් අවුරුදු 04ක් වැනි කාලයකදී සම්පූර්ණයෙන්ම රට වෙනස් කරලා තියෙනවා. එහෙම සිද්ධ වූයේ හුදෙක් බලය ලබා ගැනීම සඳහාම කිසිදු සැලැස්මක් නැතිව ජනතාව මුළා කිරීම, සුළු ජාතීන්ට බොරු ප්‍රචාර ගෙනහින් ඔවුන්ව මුළා කිරීම, බලය ලබා ගැනීම සඳහාම විදෙස් බලවේග සමඟ එක්ව කටයුතු කිරීම යන කරුණු නිසායි. ඒ වගේම රටේ ආරක්ෂාව පිළිබඳව, ස්වෛරීභාවය පිළිබඳව, ආර්ථිකය පිළිබඳව, කිසිදු හැඟීමක් ඔවුන්ට තිබුණේ නැහැ. එමෙන්ම ඒ සම්බන්ධව වැඩ කළ හැකි පිරිසක් ඔවුන්ට හිටියෙත් නැහැ. අද අපි කොළඹ අවට විශාල ප්‍රදර්ශන පුවරු දැක්කත් ඒවායේ තියෙන දේවල් භූමියේ දකින්නට නැහැ. සමහර පුවරුවල අපි පටන් ගත්ත වැඩවල ආරම්භක දිනය වෙනස් කරලා ප්‍රදර්ශනය කළත් ඒ කටයුතු අවසන් කරන්න හැකියාවක් ලැබිලා නැහැ.

අපේ එක් ව්‍යාපෘතියක් තියෙනවා අකුරේගොඩ ආරක්ෂක සංකීර්ණය කියලා. ඒකෙන් පාඩු ලබන්න විදියක් නෑ. ඇත්තටම අකුරේගොඩ ඉඩම යුද හමුදා මූලස්ථානයකට වඩා හොඳ වෙන්නේ ව්‍යාපාරික කටයුත්තකටයි. අපි එදා ලබා දීපු ඉඩම් වෙනුවෙන් ලබා ගත් මුදල්වලින් කොටසක් රුපියල් බිලියන 19ක් ඉතිරිව තිබුණා. ඒ මුදල්වලට මේ ආණ්ඩුව ආවට පස්සේ මොනව වුණාද කියලා අපි දන්නේ නැහැ. අකුරේගොඩ අපි හැදුවේ යුද හමුදා මූලස්ථානයම නෙවෙයි. එතැනට යුද, ගුවන්, නාවික මූලස්ථාන තුනම ගෙන එන්නටයි අපි සැලසුම් කරලා තිබුණේ. ඒ විදියට ඒ යුද, ගුවන්, නාවික මූලස්ථාන එකම ස්ථානයකට රැගෙන ආවා නම් දැනට එම මූලස්ථාන තිබෙන අති විශාල වටිනාකමක් ඇති ඉඩම් ව්‍යාපාරික කටයුතු සඳහා නිදහස් කරගෙන ආණ්ඩුව විශාල ආදායමක් ලබා ගැනීමට හැකියාව තිබුණා. නමුත් ආණ්ඩුව ජනතාවට බොරු කියලා ඒ වැඩ කටයුතු සියල්ල නතර කරලා තියෙනවා.

මේ ආණ්ඩුව ආවට පස්සේ රාජ්‍ය සේවකයන්ගෙන් පළිගත්තා. ව්‍යාපාරිකයන්ගෙන් පළිගත්තා. සිදු කරගෙන ආපු වැඩ කටයුතු වසර දෙකහමාරක් තිස්සේ නවත්තලා දැම්මා. මේ වැඩ හින්දා තමා රටේ ආර්ථිකය කඩාවැටුණේ. ඒ වගේම ඔබ දන්නවා අපේ රටේ රාජ්‍ය සේවකයන් ඉතා වැදගත් සේවාවක් ඉටු කරනා පිරිසක්.

රාජ්‍ය සේවකයන්ගේ ඉදිරිපත් වීමේ හැකියාව නොමැතිව ඔවුන්ගේ සහයෝගය නොමැතිව රාජ්‍ය සේවකයන්ට නිදහසේ අවංක තීරණ ගැනීමට හැකියාව නොමැතිව පළාත් සංවර්ධනය කිරීමේ හැකියාවක් නෑ. ඔබ දන්නවා ආරක්‍ෂක අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්, අතිරේක ලේකම්වරු සහකාර ලේකම්වරුද ඇතුළුව සියලුදෙනාම ආරක්‍ෂක අමාත්‍යාංශයෙන් මාරු කරලා යවා තිබෙනවා. ඒ වගේමයි අනෙක් අමාත්‍යාංශවලත් තත්ත්වය. ඒ වගේම ඔබ දන්නවා මේ රජය මඟින් ඇති කරපු මූල්‍ය අපරාධ කොට්ඨාසයට ගෙනිහින් රාජ්‍ය සේවකයන්ට කොතරම් කරදර ඇති කළාද කියලා. ඒ නිසා රාජ්‍ය සේවකයකුට රට වෙනුවෙන් නිදහස් තීරණයක් ගැනීමට අද හැකියාවක් නොමැති වෙලා තියෙනවා.

ඔබ දන්නවා මේ රජය බලයට පත් වුණේ කිසිම සැලැස්මක් නැතිවයි. මේ ආණ්ඩුව බලයට පත් වෙලා ආර්ථිකයේ උත්තේජනයක් ඇති කරලන්නට ඉදිකිරීම් ක්‍ෂේත්‍රය බොහෝම වැදගත් වෙනවා. විශේෂයෙන්ම යටිතල පහසුකම් දියුණු කිරීම ඉතා වැදගත් වෙනවා. ඒ නිසා තමයි මහාමාර්ග, ගුවන්තොටුපළ, වරාය ඇති කිරීමට කටයුතු කළේ. ඒ නිසා අපි මහින්ද රාජපක්‍ෂ මහතාගේ මූලිකත්වයෙන් යුතු ආණ්ඩුවක් බිහි කිරීමට එක් වෙමු.’

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress