ආණ්ඩුවේ පනතක් පරාජය කිරීමට ඒකාබද්ධ විපක්ෂයට තිබුණු අවස්ථාවක් ගිලිහී ගියහැටි..
Posted on October 15th, 2018

උපුටාගැණීම  මව්බිම

මේ දිනවල වැඩිපුරම දේශපාලන ක්‍ෂේත්‍රය තුළ කතාබහ වෙන්නේ ආණ්ඩු පෙරළීම්, සභාග ආණ්ඩු, විකල්ප ආණ්ඩු පිළිබඳ කතාබහයි. ආණ්ඩු විරෝධී පාර්ශ්ව එසේ කතාබස් කරන විට එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් කියා සිටින්නේ තමන් තනි ආණ්ඩුවක් නිර්මාණය කරන බවයි.

කවුරුන් මෙසේ මොන කතා කිව්වත් තවමත් ජාතික ආණ්ඩුව ගැටලුවක් නොමැතිව ඉදිරියට ගමන් කරන බවක් පෙනේ.

නමුත් ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කරන්නේ ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළන බවයි. විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාද අවධාරණය කරන්නේ තමන්ට ලැබෙන පළමු අවස්ථාවේදීම වර්තමාන ආණ්ඩුව පෙරළන බවයි.

ආණ්ඩුව පෙරළීම කෙසේ වෙතත් ආණ්ඩුවට අත්‍යවශ්‍ය වී තිබූ පනතක් පරාජය කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂයට තිබුණු අනගි අවස්ථාවක් පසුගිය සතියේ පාර්ලිමේන්තුවේදී ඔවුන්ගෙන් ගිලිහී ගියේය.

පසුගිය බදාදා හානිපූරණය සඳහා වන කාර්යාල පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වූ අතර පනතට පක්ෂව ඡන්ද 59ක් හිමි වූ අතර ඊට විරුද්ධව ඡන්ද 43ක් හිමිවිය.

මේ වන විට ඒකාබද්ධ විපක්ෂයට පාර්ලිමේන්තුවේ තිබෙන මන්ත්‍රිධුර සංඛ්‍යාව 69කි. තීරණාත්මක අවස්ථාවලදී දයාසිරි ජයසේකර මන්ත්‍රිවරයාද ඒකාබද්ධ විපක්ෂයට සහාය ලබාදෙන බව ප්‍රකාශ කරන නිසා එවැනි අවස්ථාවලදී ඒකාබද්ධ විපක්ෂය සතු මන්ත්‍රිධුර සංඛ්‍යාව 70කි.

හානිපූරණය සඳහා වන කාර්යාල පිහිටුවීමෙන් මියගිය කොටි සාමාජිකයන් වෙනුවෙන්ද වන්දි ලබාදෙන බවත් එම කොටි සාමාජිකයන්ට රණවිරුවන් හා සමාන පිළිගැනීමක් මෙමඟින් ලැබෙන බවත් ඒකාබද්ධ විපක්ෂය දැඩිව අවධාරණය කළේය.

එම කරුණු අනුව අවශ්‍ය නම් මීට සහාය ලබා නොදෙන ලෙසට ඒකාබද්ධ විපක්ෂයට ජාතික ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ගෙන් ඉල්ලා සිටීමටද හැකිව තිබිණි.
කෙසේ නමුත් එසේ සහාය ලබාගැනීමට නොහැකි වුවද බදාදා පාර්ලිමේන්තුවේ පැවැති තත්ත්වය හමුවේ ඒකාබද්ධ විපක්ෂයේ සියලුම දෙනා පාර්ලිමේන්තුවේ සිටියේ නම් හානිපූරණය සඳහා වන කාර්යාලය පනත් කෙටුම්පත වැඩි ඡන්ද 10කින් හෝ 11කින් පරාජය කිරීමට හැකියාව තිබිණි.

වත්මන් ජාතික ආණ්ඩුවට පාර්ලිමේන්තු මන්ත්‍රිධුර 130ක් තිබුණද මෙම ඡන්ද විමසීම සඳහා පැමිණ තිබුණේ 59 දෙනකු පමණි. ආණ්ඩු පක්ෂයේ 71 දෙනකුම ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පැමිණ නොසිටීම විශේෂත්වයකි.
එදින පාර්ලිමේන්තුවේ වැඩකටයුතු අවසන් වී පිටතට යෑම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය ප්‍රධාන සංවිධායක, රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් ද සොයිසා මන්ත්‍රි පිවිසුම් ප්‍රධාන ‍ෙදාරටුව වෙත පැමිණියේය.

ඒ සමඟම එම ස්ථානයට පාර්ලිමේන්තුවේ සභානායක, රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලද පැමිණියේය.

‘මොකද ඡන්දෙදි වුණේ. අපිව පරාද කරන්න තිබුණු චාන්ස් එකක් නැතිවුණා නේද?’ ලක්ෂ්මන් කිරිඇල්ල සිනහ සෙමින් විමසුවේය.

‘ඒක තමයි ඇමැතිතුමා ෆුල් ට්‍රයි එකක් දුන්නා. ඒත් හරිගියේ නැහැ. දිනේෂ් මන්ත්‍රිතුමා, මං, කංචන මන්ත්‍රිතුමා ඇතුළු හුඟ දෙනෙක් දවස් දෙකක්ම කෝල් කරලා. මැසේජ් යවලා කිව්වා. ඡන්දෙට අනිවාර්යයෙන්ම එන්න කියලා. සේරම ආව නම් අද ආණ්ඩුවේ යෝජනාව පරාජය කරනවා’ යනුවෙන් රංජිත් ද සොයිසා ප්‍රකාශ කෙළේය.

‘අපෙත් එහෙම තමයි. අපේ කට්ටියටත් දිගටම කෝල් කරලා කිව්වා. ගයන්ත ඇමැතිතුමාත් හුඟක් මහන්සි වුණා. ඒත් ආවේ 59 දෙනයි. ඒක හොඳටම මදි. එදා උදේ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී අගමැතිතුමා ඉතා පැහැදිලිවම කිව්වා ඡන්ද විමසන විට සියලුම දෙනා පාර්ලිමේන්තුවේ අනිවාර්යයෙන්ම ඉන්න කියලා. ඒත් 130ක් ඉන්න ඕන කට්ටියගෙන් හිටියේ 59 දෙනයි’ යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළේය.

‘අපේ කට්ටිය තියාගන්න නම් ක්‍රමයක් තියෙනවා. පාර්ලිමේන්තුවේ කාමරයට කොටුකරලා යතුර දාලා තියලා ඡන්දෙ වෙලාවට එළියට ගන්න ඕන’ යනුවෙන් රංජිත්ද සොයිසා කියපු කතාවට ලක්ෂ්මන් කිරිඇල්ල මහ හයියෙන් සිනහසුණේය.

‘අපේ කට්ටියත් ඡන්දවලට එන්නේ මෙහෙම නම් අය – වැය කාරක සභා අවස්ථාවල වැය ශීර්ෂයත් සම්මත කරගන්න බැරිවේවි. මං මේක අගමැතිතුමාටත් කිව්වා’ යනුවෙන් ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කෙළේය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පසුගිය සතියේදී පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මෙහිදී දේශපලන නියෝජිතයන් දෙදෙනකුගේ මත ගැටුම ප්‍රබලව මතු වී දීර්ඝ වේලාවක් පැවැතීම නිසා එහි දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීමට අදාළව විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාවේ වචනයක් මුල් කරගෙන මෙම උණුසුම්කාරී තත්ත්වය ඇති විය.

‘මේ විශේෂඥ කමිටුවේ අතුරු වාර්තාවේ ‘ඔරුමිත්තනාඩු’ කියන දෙමළ වචනයේ සහ සිංහල පරිවර්තනයේ ප්‍රබල වෙනසක් තියෙනවා. මේකෙන් කරන්නේ සිංහල ජනතාවත්, දෙමළ ජනතාවත් දෙගොල්ලන්ම රැවටීමක්, ඔරුමිත්තනාඩු කියන දෙමළ වචනයේ සිංහල තේරුම එක්සත් කියන එකයි. නමුත් මෙහි සිංහල පරිවර්තනයේ තියෙන්නේ ඒකීය කියලා.

දෙමළ ජනතාවට ඔරුමිත්තනාඩු වචනය යොදලා ඔවුන්ව රවට්ටනවා. මෙහි සිංහල පරිවර්තනයට ඒකීය කියන වචනය යොදලා සිංහල ජනතාව රවට්ටනවා. මේ විදියට රටේ වැදගත්ම ලියවිල්ල මඟින් රටේ සිංහල හා දෙමළ ජනතාව රවට්ටන්න එපා. යනුවෙන් දැඩිව ඩග්ලස් දේවානන්දා ප්‍රකාශ කෙළේය.

ඊට වහාම ප්‍රතිචාර දැක්වූ දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන් ප්‍රකාශ කළේ එසේ රැවටීමක් සිදුනොවන බවයි.
‘ඒ කතාව වැරැදියි. එහෙම වචන දාලා කිසිම රැවටීමක් සිදුකරලා නැහැ’ සුමන්තිරන් දැඩිව කියා සිටියේය.

ඉන් අනතුරුව දෙදෙනා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර විපක්ෂ නායක ආර්. සම්පන්දන් මැදිහත් වී ඩග්ලස් දේවානන්දාට එරෙහිව අදහස් ප්‍රකාශ කළේය.
ඩග්ලස් දේවානන්දා, සුමන්තිරන්, සම්පන්දන් යන තිදෙනාගේම මෙම ඝෝෂාව නතර කිරීමට මැදිහත් වූයේ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාය.

‘ඔරුමිත්තනාඩු වචනය සම්බන්ධයෙන් යම් ගැටලුක් පවතිනවා නම් දෙමළ භාෂාවේ ප්‍රවීණයන්ගෙන් ඒ සඳහා විසඳුමක් ලබාගන අපි මේ ගැටලු විස¼දා ගනිමු’ යනුවෙන් රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා කළ යෝජනාවට සියලුම දෙනා එකඟ වූහ.

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා පසුගිය සිකුරාදා සවස පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණියේය. මහත්මා ගාන්ධි ජන්ම දින සමරුම පිළිබඳව පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට සහභාගි වීම සඳහා ජනාධිපතිවරයා මෙසේ පාර්ලිමේන්තුවට පැමිණියේය. මේ අතර පාර්ලිමේන්තු සංකීර්ණයේ 2 වැනි මහලේ පිහිටි ජනාධිපති කාර්යාලයට ජනාධිපතිවරයා පැමිණෙනවාත් සමඟම එම කාර්යාලයට දේශපාලන නියෝජිතයෝ දෙදෙනෙක් පැමිණියහ.

එසේ පැමිණියේ විපක්ෂ නායක, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්පන්දන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රි එම්.ඒ. සුමන්තිරන්ය.

විනාඩි 20ක පමණ කාලයක් මෙම සාකච්ඡාව සිදු වූ අතර වර්තමාන දේශපාලන තත්ත්වය, උතුරේ සංවර්ධන කටයුතු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ වර්තමාන තත්ත්වය ඇතුළු කරුණු කිහිපයක් මෙහිදී සාකච්ඡා කළ බව වාර්තා වේ.

මේ අතර එම ජනතා නියෝජිතයන් දෙදෙනා පිටත් වී යන විට තවත් ජනතා නියෝජිතයෝ දෙදෙනෙක් ජනාධිපතිවරයා හමුවීමට පැමිණියහ.

එසේ පැමිණියේ පසුගියදා ආණ්ඩුවේ තනතුරුවලින් ඉවත් වී ඒකාබද්ධ විපක්ෂයට එක් වූ එස්.බී. දිසානායක සහ තිලංග සුමතිපාලය.

සභාග ආණ්ඩු, විකල්ප ආණ්ඩු සම්බන්ධයෙන් මතු වී තිබෙන කතාබහ සහ වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳව පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ මෙහිදී සාකච්ඡා කෙරුණු බව වාර්තා වේ.

පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේදී ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වාසුදේව නානායක්කාර රෝහල්වල සැත්කම් සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය ‍ෙදාස්තර රාජිත සේනාරත්න විසින් දීර්ඝ පිළිතුරක් ලබාදෙන ලදී.

එම පිළිතුරෙන් සෑහීමකට පත් වූ වාසුදේව නානායක්කාර, රාජිත සේනාරත්න අමාත්‍යවරයාගේ සේවය ප්‍රශංසනීය බව ප්‍රකාශ කිරීමට අමතක නොකිරීමද විශේෂත්වයකි.

පරීක්ෂණ කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත පසුගිය සිකුරාදා පාර්ලිමේන්තුවේ විවාදයට පත් අවස්ථාවේදී උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් අතර උණුසුම් මෙන්ම රසවත් අදහස් හුවමාරුවක් ඇති වූහ.

‘ආණ්ඩුවට එරෙහිව යම් යම් ප්‍රකාශ සිදුකළ විජයදාස රාජපක්ෂ ඇමැතිතුමා දැන් තාවකාලිකව එය ඉවත් කරගෙන තියෙන බව පේනවා’ යනුවෙන් මහින්ද යාපා අබේවර්ධන ප්‍රකාශ කළේය. ඊට යමක් එක්කළ මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ ලැජ්ජා නහරය කපා දමා ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress