මිල සූත්‍රය ගැන නොදන්න බව කීමට ආණ්ඩුවක් අවශ්‍ය නෑ
Posted on October 15th, 2018

ඉෂාරා සිල්වා උපුටාගැණීම  මව්බිම

නව ඉන්ධන මිල පිළිබඳ තීරණය කිරීමට රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා අගමැතිවරයා සාකච්ඡා කළ බව පුවත්පත්වල සඳහන් වන බවත් එම මිල තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක් කියන්නේද, නව තීරණයෙන් රුපියල මස්තබාල්දු වන එක නතර වෙනවාද, බදු අඩු කිරීමට තීරණය කරනවාද යන්න රටට හෙළි කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවැසීය.

තෙල් මිල සූත්‍රය සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බව පැවැසීමට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවත් මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

ඊයේ (14දා) පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති ඒකාබද්ධ විපක්‍ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකයේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද කීය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් මුදල් ගෙවලා 2002 වර්ෂයේදී ඩේලි නිවුස් පුවත්පත හරහා දැන්වීමක් පළ කර තිබෙනවා, ඛනිජ තෙල් මිල සූත්‍රය සකස් කරන ආකාරය පිළිබඳව. ආණ්ඩුව ඛනිජ තෙල් මිල හංගන්නේ වෙන කිසිම කරුණක් නිසා නොවෙයි. ඛනිජ තෙල් මිල නැංවීමට ප්‍රධාන හේතුව බවට පත් වෙලා තිබෙන්නේ විශාල බද්දක් ඛනිජ තෙල්වලින් රජය අය කරන නිසයි. පත්වන හැම රජයක් යටතේම මේ බද්ද අය කරනවා. නමුත් බද්දක් අය කරනවා කියලා එ.ජා.පයට විළිලැජ්ජාවක් නැතුව කියන්න පුළුවන්කමක් නැහැ. මොකද ලෝක ඛනිජ තෙල් අර්බුද නැති අවස්ථාවේදීවත් රවි කරුණානායක මහතා බදු ඉවත් කළේ නැහැ.

මේ දවස්වල දකුණේ ගෙවල්වලට යනවා විදේශ රැකියාවල නියුතු අයගේ ඩොලර් ටික එකතු කරගන්න කළුකඩකාරයන්. මේ අර්බුදය නිසා තෙල් මිලේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න ආණ්ඩුවට බැහැ. ලෝක තෙල් මිල වැඩිවෙනවාට වැඩිය වැඩි වේගයකින් ඛනිජ තෙල් සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය වැඩි වෙනවා.

මේ මිල සූත්‍රය ගැන ආණ්ඩුව නොදන්නවා නොවෙයි. ආණ්ඩුවට දැන් මේ මිල සූත්‍රයෙන් ගැලවෙන්න බැහැ. මොකද මේ ආණ්ඩුව කරන්නේ ආණ්ඩුව නොවෙයි. ඊට අදාළ කොන්දේසිය පනවලා තිබෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. මේ ආණ්ඩුව රටට ඇත්ත කියන්න ඕන දැන්. නිලධාරීන්ට ‍ෙදාස් කියලා වැඩක් නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමේදී ආණ්ඩුව එම කොන්දේසියට යටත් වෙලා තිබනවා. තමුන් හිර වුණ මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා ජනතාවට පටවන පීඩනය දිගින් දිගටම ඇතිවෙනවා මිසක් ඉන් සහනයක් ඇති වෙන්නේ නැහැ. කමිටු රැස් කරනවා. නිලධාරීන් දන්නේ අපි මුකුත් දන්නේ නැහැ කියලා නම් ආණ්ඩු අවශ්‍ය නැහැ.

රුපියල කඩා වැටෙන විට කොහොමත් තෙල් මිල ඉහළ යනවා. ඒ සඳහා කරන්න තිබෙන එකම විකල්පය තෙල් සඳහා පනවා තිබෙන බද්ද අඩු කිරීම පමණයි. නමුත් එය අඩු කරන්න පුළුවන්ද යන්න ආණ්ඩුවේ තීරණයක්. පාඩු විඳගෙන බදු අඩු කළාම රජයේ ආදායම අඩුවෙනවා. බිලියන 1000කින් බදු බර වැඩි කරලා තිබෙනවා මේ ආණ්ඩුව. මේක තමයි ආර්ථිකේ කතන්දරේ.

ලබන 05 වැනිදා අයවැය ඉදිරිපත් කරන විට මුදල් ඇමැතිවරයා මේ තත්ත්වය පැහැදිලි කරලා සහන ලබා දෙන බව තමයි ආණ්ඩුවේ පාර්ශ්වය නම් කියන්නේ. නමුත් මම නම් හිතන්නේ එහෙම සහන දෙන්න කිසිම හැකියාවක් නැහැ කියලයි. මූල්‍ය සමාගම් 21ක් අර්බුදයට ලක් වී තිබෙන බවයි ආරංචි වී තිබෙන්නේ. ඉන්ධන මිල ගැන අලුත් තීරණයක් සම්බන්ධයෙන් රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සහ අගමැතිවරයා සාකච්ඡා කළ බව පුවත්පත්වල සඳහන් වෙනවා. මේ මිල තීරණය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කුමක්ද කියන්නේ. අලුත් තීරණයෙන් රුපියල මස්තබාල්දු වන එක නතර වෙනවාද? බදු අඩු කරන්න තීරණය කරනවාද. එය රටට හෙළි කළ යුතුයි.

පාර්ලිමේන්තු මන්ත්‍රි සිසිර ජයකොඩි
ආණ්ඩුව අලුත් පදයක් හැදුවා රෙදි දෙන්න හොඳ නැහැ, වවුචර් දෙන්න දෙන්න ඕන කියලා. එහෙම තමයි මේ වවුචර් ක්‍රමය ඉදිරිපත් වුණේ. කලින් ගෙන්වූ එම රෙදි තොග දැන් තිබෙන්නේ රවි කරුණානායක මහතාට අයත් ඒකල පිහිටි ග්ලෝබල් ට්‍රාන්ස්පොටේෂන් ලොජිස්ටික් ප්‍රයිවට් ලිමිටඩ් කියන ආයතනයේ.

මේ ආයතනයේ ගබඩා කර තිබෙන වසර තුනක් පැරණි රෙදි පිළි රජය ඒකාබද්ධ ප්‍රකාශයක් මඟින් අධ්‍යාපන අමාත්‍යාංශයත්, කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශයත් 2018.09.19 වැනි දින කැබිනට් පත්‍රිකාවක් මඟින් පාසල් ශිෂ්‍යයන්ට සැපයීම සඳහා අනුමැතිය ඉල්ලනවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress