දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගේ අභිලාෂයන් සපුරාලීමට කිසිදු හැකියාවක් නැහැ
Posted on October 16th, 2018

දිනසේන රතුගමගේ

උතුරු පළාතේ අහිංසක ජනතාව වෙණුවෙන් සැබෑ ලෙස කටයුතු කිරීමට විශාල ශක්තියක් ඇති විකල්ප දේශපාලන කණ්ඩයමක් වහාම ස්ථාපිත නොකළහොත් දෙමළ ජනතාවගේ අපේක්ෂා මෙන්ම අයිතිවාසිකම් සියල්ල මුලුමනින්ම විනාශ වී යන බව  දෙමළ ජාතික සන්ධානයේ වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවසක්ති ආනන්දන් මහතා පැවසීය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ වවුනියාවේ මනිපුරම් ප්‍රදේශයේ පැවති රැස්වීමකට සහභාගී වෙමිනි.

තවදුරටත් කතා කළ ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා කියා සිටියේ දෙමළ ජාතික සන්ධානයට දෙමළ ජනතාවගේ අභිලාෂයන් සපුරාලීමට කිසිදු හැකියාවක් නොමැති බව දැන් ඔප්පු වෙමින් පවතින බවයි.

සම්බන්ධන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයේ නායකයා වුවත් ඔහු කොතරම්  ප්‍රබල දේශපාලනඥයෙකු වුවත් ඒ පක්ෂය වටා සිටින සෙසු පිරිසට අවශ්‍යව ඇත්තේ දෙමළ ජනතාවගේ වුවමනා එපාකම් ඉටු කිරීම නොව රජයේ අවශ්‍යතා ඉටු කිරීම පමණක් බවද ශිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියේය.

පසුගිය පළාත් සභා මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයට පැහැදිලි ජයක් ලබා ගැනීමට අවස්ථාව උදාවුවත් මේ වන විට උතුරු පළාත් සභාවේ පිරිස දේශපාලනමය වශයෙන් බෙදී වෙන් වී එකිනෙකා විවේචනය කරගනිමින් සිටිනවා මිස ඔවුන් ජනතාවට සේවයක් නොකරණ බවටද මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කොට සිටියේය.

මේ හේතූන් මත දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කොට ඔවුන් වෙණුවන් අනාගතයක් සකස් කිරීමටනම් ඉතා ශක්තිමත් මෙන්ම බලසම්පන්න විකල්ප දේශපාලන කණ්ඩායමක් සැකසීම අනිවාර්යෙන්ම සිදුකළ යුතු කාරණයක් වන බවද  මන්ත්‍රීවරයා පැවසීය.

දෙමළ ජාතික සන්ධානය දෙමළ ජනතාවට පොරොන්දු වූයේ රජය ලවා ව්‍යවස්ථාව සංශෝධනය කොට ඒ ඔස්සේ උතුරු නැගෙනහිර පළාත් දෙක එකට එකතුකොට ඒකීය රාජ්‍යයක් ඔස්සේ දෙමළ ජනතාවට බලය ලැබෙන ක්‍රමයක් සකස් කොට දෙන  බවට යැයි සිහිපත් කළ සිවශක්ති ආනන්දන් මන්ත්‍රීවරයා මේ වන විට දෙමළ වැසියන්ගේ එම බලාපොරොත්තු පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ කයිවාරුවටද කෙළ වී ඇතැයි මන්ත්‍රීවරයා කියා සිටියේය.

එවැනි පසුබිමක් මත රජයේ අරමුණු සපුරාලීම සදහා පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය සමග දෙමළ ජනතාව තවදුරටත් රැදී සිටීමෙන් පලක් නොවන බව කී මන්ත්‍රීවරයා ඉතා ඉක්මනින්ම ශක්තිමත් විකල්ප දේශපාලන කණ්ඩායමක් උතුරු පළාත තුළ බිහි කිරීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයිද කියා සිටියේය.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress