ජනාධිපති හා එජාප විරසකයට වන්දි ගෙවන්නේ වෙන්නේ පොදු ජනතාවටයි
Posted on October 24th, 2018

උදයන්ති මුණසිංහ ඡායාරූප – සරත් කුමාර උපුටාගැණීම  මව්බිම

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට එක්සත් ජාතික පක්ෂය කෙරෙහි දැඩි විරසකයක් සහ විවේචනයක් පැවැතියද වත්මන් ආණ්ඩුව දිගටම ගමන් කරන බවත් ඒ හේතුවෙන් වන්දි ගෙවීමට සිදුවන්නේ මේ රටේ ජනතාවට බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් සඳහන් කළේය.

පසුගියදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති සේනානායක ගුණ සමරු උළෙලට එක්වෙමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය විසින් ඊයේ (23දා) පුංචි බොරැල්ල පිහිටි වජිරාශ්‍රමයේදී පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මෙසේද පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා කිව්වා ඩී.එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක යුගයේ දූෂණ වංචා තිබුණේ නැහැ කියලා. නමුත් දැන් තත්ත්වය වෙනස්ලු. ජනාධිපතිතුමාට තේරුම් ගිහින් තියෙන්නේ පස්සේ. ඔහු අවසානයට කිව්වා ඩී.එස්ලා, ඩඩ්ලිලා, ඉඳපු එක්සත් ජාතික පක්ෂයක් යළි බිහිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා කියලා. මේ වගේ ඉතාම විරසකයක්,දරුණු විවේචනයක් තියෙන්නේ එතුමාට. නමුත් මේ ආණ්ඩුව දිගින් දිගටම යනවා. ඒක වෙනස් වෙන්නේ නැහැ. කවුද ඒකට වන්දි ගෙවන්නේ මේ රටේ ජනතාව.

තෙල් මිල සූත්‍රය කිසිම නැවුම් ගතියක් නැහැ. මේ රටට ආනයනය කරන ඕනෑම භාණ්ඩයක් සම්බන්ධයෙන් තියෙන විග්‍රහයම තමයි මේ මිල සූත්‍රයට ඇතුළත් වෙලා තියෙන්නේ.

රටේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට හේතුව විදේශීය ගැටලු නෙවෙයි. ඒ වගේම පසුගිය ආණ්ඩුව ගත්ත තීරණ නෙවෙයි. ඒ සියල්ලටම හේතුව මේ ආණ්ඩුවේ තිබෙන ව්‍යාකූලතා හා දුර්වලතා. අපි වගකියන විරුද්ධ පක්ෂයක් විදියට අපි විකල්ප යෝජනා ඉදිරිපත් කළ යුතුයි. රට පත්වෙලා තියෙන තත්ත්වයෙන් ගොඩ එන්න කෙටි කාලීන හා දීර්ඝ කාලීනව ගත යුතු පියවර සහ ප්‍රායෝගික ප්‍රතිකර්ම මොනවාද? කියලා අපි ගැඹුරු විග්‍රහයක් කරනවා. එළඹෙන නොවැම්බර් 05 වැනිදා ඉදිරි අයවැය ඉදිරිපත් කරනවා පාර්ලිමේන්තුවට. ඊට සමාන්තරව අපේ අදහස්, උදහස් යෝජනා ප්‍රතිපත්ති මාලාව අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

අද උතුරේ පළාත් සභාවත් අහෝසියි. දැන් පළාත් සභා නමයෙන් හයක් අහෝසියි. මෙය ආර්ථිකයට බලපානවා. උතුරේ ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මැතිතුමා ළඟදි විදේශ සංචාරයකදී ප්‍රකාශයක් කළා සම්පූර්ණ අවුරුද්දක කාලයකට උතුරේ ආර්ථිකය භාරව ඉන්නේ එතුමා කියලා. එතුමාට තමයි සියලු වගකීම් තියෙන්නේ උතුරේ ආර්ථිකය මෙහෙයවීමට කියලා. මෙය සම්පූර්ණ නීති විරෝධී වැඩක්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරන ක්‍රියාපටිපාටියක්. ආණ්ඩුකාරවරුන් සියලු බලතල අත්තනෝමතිකව පාවිච්චි කරන්නයි හදන්නේ.

පාර්ලිමේන්තු මන්ත්‍රි බන්දුල ගුණවර්ධන
දැවැන්ත විදියට සිදුවෙන රුපියල මස්තබාල්දු වීම වළක්වා ගැනීම සඳහා ආණ්ඩුව ආරම්භයේ ඉඳලාම ක්‍රියාමාර්ග රාශියක් ගත්තා. නමුත් ඒවායින් කිසිම ප්‍රතිඵලයක් ඇතිවුණේ නැහැ. 2015 වසරේදිත් සියයට නමයයි දශම තුනකින් රුපියල බාල්දු වුණා.
දැන් මේ අර්බුදය ඇතිවුණු අවස්ථාවේදීත් චීන සංවර්ධන බැංකුවෙන් ඩොලර් කෝටි සීයක ණය මුදලක් අරගෙන තියෙනවා. දැන් ජපානයෙනුත් මිලියන 100ක් ණය ගන්න යනවා. මේ නරක තත්ත්වය තුළ ඉතාම විශාල වශයෙන් විදේශ විනිමය කළු කඩේ සක්‍රිය වෙලා තියෙනවා. දැන් මේ යන විදියට 2019 වර්ෂය වනවිට මේ ලෝක වෙළෙඳපළේ ඇතිවන මිල ගණන්වල වෙනස් වීම් සහ ණය සේවාකරණයේ වෙනස්වීම් සැලකිල්ලට ගෙන මේ තත්ත්වයට පිළියම් යෙදුවේ නැත්තම් සියලු දෙනාම දන්නවා 2019 වසරේදී ඩොලරය දෙසීයට ගිහින් තමයි නතර වෙන්නේ.
විදේශ විනිමය ගනුදෙනු ප්‍රමාණයක් ශ්‍රී ලංකාව තුළ කරන්නේ ලංකා බැංකුව සහ මහජන බැංකුව. ඒ බැංකු දෙකේම පසුගිය කාල පරිච්ඡේදවල ඇතිවුණු වංචා, දූෂණ, ආකාර්යක්ෂම කළමනාකරණය නිසා ජනාධිපතිතුමාට නියෝගයක් කරන්න සිද්ධ වුණා දැන් අධ්‍යක්ෂ මණ්ඩල වෙනස් කරලා අලුත් අයව පත් කරන්න. අද වෙනකොට හොරකම, වංචාව වැඩිවෙලා ලංකාවේ ප්‍රධාන රාජ්‍ය බැංකු දෙක හෙල්ලිලා තියෙනවා. මහින්ද රාජපක්ෂ යුගයේදී මේ විදියට බැංකු හෙලවුණේ නැහැ.
තව එක වෙසක් පෝයකින් මේ ආණ්ඩුව භාර ගන්නා ඉන්න පිරිස විදියට අපි මේ ගැන බරපතළ තිගැස්මකට ලක්වෙලයි ඉන්නේ. ඩොලරය දෙසීය දක්වා ගමන් කිරීම වැළැක්වීමේ දැඩි අවශ්‍යතාවක් අපිට තියෙනවා. අපිත් මේ රට කරන්න ඕනි. මේ විදියට ගියහම මේ රටේ කිසිම කෙනකුට ආණ්ඩු කරන්න බැරි තත්ත්වයක් උදාවෙනවා.
ඒ වගේම මේ බැංකු ආයතන පිරිසුදු කරන්න මැදිහත් වෙන්න කියලා පාර්ලිමේන්තුවේදී දිනේෂ් ගුණවර්ධන මැතිතුමා විසින් අගමැතිවරයා දැනුවත් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress