එජාපයට මුදල් විසිකර බලයේ සිටීමට ඉඩදිය යුතු නෑ
Posted on October 29th, 2018

හබරකඩ – එස්. ප්‍රියලාල් / බොරලැස්ගමුව නිඳුවර අබේසිංහ උපුටාගැණීම  මව්බිම

මහින්ද රාජපක්ෂ අගමැතිතුමා වටා අපි එකතු වෙන්න ඕනේ. අපි අපේ ජනබලය පෙන්විය යුතුයි. නීතියට මුවාවෙලා එක්සත් ජාතික පක්ෂය තවදුරටත් බලයේ ඉන්න සූදානම් වෙන්න පුළුවන්. විවිධ බලවේග විශාල වශයෙන් මුදල් විසිකරන්න පුළුවන්. ඒ සියල්ල පරාජයට
පත්කරන්න සූදානම් විය යුතු යැයි
ආරක්ෂක අමාත්‍යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (27දා) පන්නිපිටිය, ඇරැව්වලදී පැවැසීය.

ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේ අදහස් පළ කළේ පන්නිපිටිය, ඇරැව්වල විජයසිරිවර්ධනාරාම විහාරස්ථානයේ ක්‍රීඩා පිටියේ පැවැති “එළිය” සම්මන්ත්‍රණයට සහභාගි වූ අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාභය රාජපක්ෂ මහතා මෙසේද කීය,
මහින්ද රාජපක්ෂ මැතිතුමා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීම නීත්‍යනුකුල බවත් ව්‍යවස්ථාවට එකඟ බවත්
නීතිඥයන් විසින් පැහැදිලි කළා. නමුත් බලයට ආපු දවසේ ඉඳලා හොරකම් කරපු දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පළිගත්තු අසරණ මිනිස්සු හිරේ දාපු, රණවිරුවන් කිසිම හේතුවක් නැතුව හිරගෙවල්වල දාපු, මේ රටේ බුද්ධි අංශ නිලධාරීන් සිරගත කරපු ආණ්ඩුව ඔවුන්ගේ බලය අතහරින්න බියේ දිගින් දිගටම කෑ ගහනවා.

මහින්ද සුළඟ, මැයි දින පෙළපාළිය නුවර ඉඳලා කොළඹට ආ පා ගමන තුළින් ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියේ මේ ආණ්ඩුව පෙරළලා මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැති කරලා ආණ්ඩුවක් බිහිකරන්න කියලා. ඒ වගේම මේ රටේ බිහිවුණු ළාබලතම දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරිපත් වුණු පළමුවැනි ඡන්දෙන්ම ඓතිහාසික ජයග්‍රහණයක් ලබාගත්තා. ඒ විශාල ජයග්‍රහණයෙනුත් ජනතාව දුන් පණිවුඩය තමයි රට වැටිලා තියෙන ඛේදවාචකයෙන් බේරගන්න කියලා.

ජනතාව බලාපොරොත්තු වුණෙත් අපි බලාපොරොත්තු වුණෙත් මැතිවරණයක් හරහා අපිට මේ ආණ්ඩුව පෙරළන්න පුළුවන් වෙයි කියලා. නමුත් ප්‍රජාතන්ත්‍ර විරෝධී 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනත් අවුරුදු හතරහමාරක් බලයේ ඉන්න සූදානම් වුණේ. නමුත් මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමා අවුරුදු තුනහමාරක් බලාගෙන සිටියා මේ ආණ්ඩුව මේ රටේ සංවර්ධනය අඩාල කිරීම, ආර්ථික කඩාවැටීම, රටේ ස්වෛරී භාවය, රටේ ඒකීය භාවය නැතිකරන්නට ගෙන ආ ඒ නව ව්‍යවස්ථා ප්‍රයත්න, රණවිරු දඩයම වගේ රටට ඔබින්නේ නැති ක්‍රියාවලින් රට එන්න එන්නම අගාධයට යන දිහා බලාගෙන ඉඳලා එතුමා ඥානාන්විත තීරණයක් ගත්තා. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමාට ආණ්ඩුවක් පිහිටුවන්නට අවස්ථාව ලබාදීලා එතුමා මේ රටේ අගමැති වශයෙන් පත්කළා. අපිට තවමත් අමතක කරන්න බෑ. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පෙරළන්න මුල්වනු සියලුම බලවේග අද තවමත් ඒ ආකාරයෙන්ම තියෙනවා. ඒ බලවේගවල ක්‍රියාවන් නවත්වාවි කියලා අපිට හිතන්න බෑ. ඒ නිසා මේ බලවේග විසින් අපි ලබාගත්තු මේ ජයග්‍රහණය නැවත උදුරා ගැනීම වැළැක්වීම මේ රටේ ජනතාවගේ වගකීමක්.

මානව හිමිකම් ගැන ඉහළ මට්ටමින් කථාකරන නිදහස ගැන කතා කරන මිනිසුන්ගේ නිදහස ගැන කතාකරන ඒ පුද්ගලයෝ මොනතරම් නින්දිත අයුරින් ජනාධිපතිවරයාට ආමන්ත්‍රණය කළාද කියලා ජනතාව දැක්කා. ඔවුන්ගේ දේශපාලන වෛරී ගමන එයින්ම පැහැදිලි වෙනවා. මේ රටට නිදහස ගෙනාපු රටේ සෑම පුද්ගලයෙක්ම ආදරය කරන මහින්ද රාජපක්ෂ මැතිතුමාට මොතරම් වෛරයකින් කතා කළාද කියලා ජනතාව දන්නවා. නීතිය කියන්නේ ජනතාවගේ අවශ්‍යතාව, ව්‍යවස්ථාව කියන්නේ ජනතාවගේ බලය. ඒ ජනතා බලයට විරුද්ධව කාටවත් යන්න පුළුවන් කමක් නැහැ. මේ ජනතා බලයත් එක්ක ලබාපු මේ විජයග්‍රහණය අපි ආරක්ෂා කළ යුතුයි.

අපි සෑම දෙනාගේම වගකීම මේ රටේ ආර්ථික අතින් සංවර්ධනය අතින් ආරක්ෂාව අතින් සෑම අතින්ම වැටිලා තිබුණු තැනින් ගොඩගැනීම අපේ වගකීම සහ යුතුකම වෙනවා. විජාතික බලවේග මේ රටේ ජනතාවගෙන් කොටසක් මුළාකරලා එදා තිබුණු ආණ්ඩුව පරාජය කරලා ඒ පරාජය හේතුවෙන් මේ රට සෑම අතින්ම කඩා වැටුණා. ආණ්ඩුව එළවන්නේ කොයි වෙලාවේද කියලා බල බලා හිටියේ.

මහින්ද රාජපක්ෂ මැතිතුමා අගමැතිවෙලා අපිට ඉක්මනින් මැතිවරණයක් අවශ්‍යයි කියලා ඒ මැතිවරණයේදී අපට ජනතා බලවේගයක් එක්ක ජයග්‍රහණයක් ලැබිය යුතුයි. ඒ අනුව අපිට ජනතාවගේ නියම ආණ්ඩුවක් බිහිකරන්න පුළුවන්. මේ රටේ ජනතාවට පැවැති ආණ්ඩුව ගෙනාපු දුක් කරදර අවසන් කරලා එදා ගෙනාපු සංවර්ධනය එදා අපි ගෙනාපු ආර්ථිකය නැවත ලබාගැනීමට සියලු දෙනාම එකතුවෙන්න ඕනේ.

එහිදී අදහස් දැක්වූ මැදගොඩ අභයතිස්ස හිමියන්,
මහින්ද රාජපක්ෂයන් අගමැති පුටුවේ වාඩි කිරීම හරහා රට ගලවා ගැනීමේ අරමුණයි අපි ක්‍රියාත්මක කළේ. පුද්ගලයන් මාරුකිරීම පක්ෂ දිනවීම අපිට අදාළ කටයුත්තක් නෙමෙයි. අපිට අවශ්‍ය රට දිනවන්න. රටේ බෙදුම්වාදය වෙනුවෙන් පෙනී සිටින රටේ සංවර්ධනය වෙනුවෙන් පෙනී සිටින රටේ සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටින ඕනෑම නායකයෙක් සමඟ මහා සංඝරත්නය ඉන්නවා.

 

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress