මහින්දට අගමැති ධුරය ලබාදීම ජනාධිපති ගත් නිර්භීත තීරණයක්
Posted on October 29th, 2018

උපුටාගැණීම  මව්බිම

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් ඔහු කළ යුත්තේ ඔහුගේ අසාර්ථකත්වය පිළිගෙන අග්‍රාමාත්‍ය ධුරයෙන් පමණක් නොව එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන්ද වහාම ඉල්ලා අස්වීම බව යුතුකම සංවාද කවයේ සභාපති ගෙවිඳු කුමාරතුංග පැවැසුවේය.

මහින්ද රාජපක්ෂ මහතාට අගමැති ධුරය ලබා දීමට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගත් තීරණය ඉතාමත් නිවැරැදි සහ නිර්භීත තීරණයක් බවද ඔහු පැවැසුවේය.
ඊයේ (28දා) තුම්මුල්ල පිහිටි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කෙළේය.
එහිදී ගෙවිඳු කුමාරතුංග මහතා මෙසේද පැවැසීය.

මෛත්‍රිපාල සිරිසේන මහතා ගත්ත මේ තීරණය වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉවත් වීමට ගත්ත තීරණයත් ජනාධිපතිගේ ආරාධනය පරිදි මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරය භාර ගැනීමට ගත් තීරණයත් අපි දකින්නේ ඉතාමත් නිර්භීත නිවැරැදි තීන්දු විදියටයි.

මේ ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධී කියලා රනිල් වික්‍රමසිංහ ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ අය කියනවා. ඒ වගේම යුරෝපා සංගමය, ඇමෙරිකා එක්සත් ජනපදය ඇතුළු තානාපති කාර්යාල සහ මහ කොමසාරිස්වරුන් ඇතුළු සියලු පාර්ශ්වවලින් ඉල්ලනවාව්‍යවස්ථාවට අනුව කටයුතු කරන්න කියලා. ඒ වගේම රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයනුත් මේ ක්‍රියාවලිය ව්‍යවස්ථා විරෝධී කියලා කියනවා.

මේ පැවැතුණු යහපාලන ආණ්ඩුව ගැන රනිල් වික්‍රමසිංහ මහතාම විග්‍රහ කළේ ඔවුන්ට ලැබුණු ජනවරම ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක එකතුව පවත්වාගෙන යන සම්මුතිවාදී ආණ්ඩුවක් කියලා. මේ තර්කය තුළ තමයි ඔවුන් කැබිනට් ඇමැතිවරුන් වැඩි කරගනිමින් ජාතික ආණ්ඩුවක් කියලා අර්ථකථනය කරගනිමින් කටයුතු කළේ. එහෙම තියෙද්දී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලිඛිතවම දැනුම් දෙනවා නම් ජාතික ආණ්ඩුවෙන් ඉවත් වෙනවා කියලා. එතැනින් පස්සේ මේ යහපාලන ආණ්ඩුවට ජනවරමක් නැහැ. ඒ වගේම ජනාධිපතිවරයාම තීරණය කරනවා නම් රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කටයුතු කළ නොහැකියි කියලා තවදුරටත් සම්මුතිවාදී ආණ්ඩුවක් පැවැතීමේ අවස්ථාවක් නැහැ.

19 වැනි සංශෝධනයේ තියෙන අග්‍රාමාත්‍යවරයාගේ තනතුර අහෝසි වන එක් අවස්ථාවක් තමයි කැබිනට් මණ්ඩලය විසිරුවා හරින අවස්ථාව. ඒ නිසා ව්‍යවස්ථානුකූලව බැලුවත්, දේශපාලනික වශයෙන් බැලුවත්, සදාචාරය පැත්තෙන් බැලුවත්, ඒ මොහොතේම රනිල් වික්‍රමසිංහ මහතා තමන්ගේ අසාර්ථකත්වය පිළිඅරගෙන ඉල්ලා අස්විය යුතුයි.

ඔහුගේ විජාතික බලවේග වුවමනාව මත ක්‍රියාත්මකකරන්න හදපු දේශපාලන ප්‍රයත්නය මේ වෙනකොට පරාජයට පත්වෙලා ඉවරයි. ජනතාවත් එය ප්‍රතික්ෂේප කරලා ඉවරයි.

රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවා නම් ඔහු කළ යුතු වන්නේ වහාම අග්‍රාමාත්‍ය ධුරයෙන් පමණක් නෙවෙයි එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙනුත් ඉල්ලා අස්වීමයි.

මේ රටේ තානාපති කාර්යාල, වෙනත් එන්.ජී.ඕ. සංවිධාන, යහපාලනය ගැන කතා කරන ප්‍රතිපත්තිමය දේශපාලනය ගැන කතා කරන අය විසින් පිළිගත යුතුයි මේ ශ්‍රී ලංකාදීපය තුළ ඔවුන්ගේ ව්‍යාපෘතිය අද වෙනකොට සම්පූර්ණයෙන්ම පරාජයට පත් වෙලා ඉවරයි කියන කාරණය. ඔවුන් කුමන්ත්‍රණකාරී ලෙස උත්සාහ කළේ එජාපය සහ ශ්‍රී ලනිපය හදාගත්ත ආණ්ඩුව ගෙනියන්න. එය අද වෙනකොට අසාර්ථක වෙලා ඉවරයි. ජනමතයට ගරු කරනවා නම් පරාජය පිළි අරගෙන කටයුතු කරන්න කියලා අපි ඔවුන්ට කියනවා.

ඔවුන් මේ රටේ ජනතාව මත විශ්වාසය නොතබා විදේශීය බලවේග, විදේශ තානාපති කාර්යාල, විජාතිකත්වයේ වුවමනාවන් මත ඔවුන්ගෙන් පඩි ලබන කුලීකාරයන් බවට ගත කරපු දේශපාලනයෙන් ඉවත් වෙලා මවුබිමට සේවය කරන දේශපාලනයක් සිදුකරනවා නම් හොඳයි කියලා අපි කියනවා.

දැන් සමහර අය ජනමතය ගැනත් ප්‍රශ්න කරනවා.

පසුගියදා පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මුළුරටට දැනගත්තා මහින්ද රාජපක්ෂ මහතාට ලැබුණු ජනවරමත් එක්ක ඔහුට මේ රටේ අනාගතය භාරදිය කළ යුතුයි කියලා. ඒක රටක් විදියට පිළිගත්තා. එදා සියට පනහ ඉක්මවා ගිය අති දැවැන්ත කැමැත්තක් මහින්ද රාජපක්ෂ මහතාට සහ මෛත්‍රිපාල සිරිසේන මහතාට හිමිවුණා.
මෛත්‍රිපාල සිරිසේන මහතා මේ යමින් තිබුණු රටට වුණු විනාශකාරී ගමන නතර කරලා. රටට අලුත් ආරම්භයක් ලබා දීමට මෙලෙස කටයුතු කිරීම අපි ඉතා අගය කරනවා.

උදයන්ති මුණසිංහ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress