ප්‍රහාරයේ අරමුණ හෙළිවේ…. ලංකාවට බලගතු යුද කඳවුරක්‌… සේද මාවත ගැන නේටෝ ඇහැගහගෙන!
Posted on May 13th, 2019

උපුටා ගැන්ම දිවයින

පාස්කු ඉරිදා ශ‍්‍රී ලංකාවේ සිදු වූ මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ ප‍්‍රහාරවලින් මියගිය අති බහුතරය කතෝලික ජනතාව වීම නිසා මෙය කතෝලිකයින් එල්ල කර තවුහිද් ජමාත් නමැති මුස්ලිම් ත‍්‍රස්තවාදී සංවිධානය අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ සහායෙන් සිදු කළ ප‍්‍රහාරයක් ලෙස මේ වන විට මත පැතිරෙමින් පවතී.

පළමුව පැතිර ගියේ නවසීලන්තයේ ක‍්‍රයිස්ට් චර්ච් ප‍්‍රදේශයේ මුස්ලිම් දේවස්ථානයකට එල්ල වූ ප‍්‍රහාරයට ප‍්‍රතිප‍්‍රහාරයක් ලෙස මෙය එල්ල වූ බවය. ඉන් පසු අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදී නායකයා යැයි කියා ගන්නා අබුබකර් බැග්දාදි මීට දින කිහිපයකට පෙර තත්ත්පර 40 ක වීඩියෝවක් මගින් පැවසුවේ සිරියාවේ සහ ඉරාකයේ දී තම සංවිධානය පරාජය වීමට පළිගැනීමක් ලෙස ශ‍්‍රී ලංකාවේ ප‍්‍රහාරය එල්ල කළ බවය.

මෙම ප‍්‍රහාරයේ වගකීම බාර ගැනීමට සහ ඊට හේතු දැක්වීමට ඉදිරිපත් වන මොවුන්ගේ අරමුණ තම පරාජයන් සඟවා ගැනීමටය. එසේම අපි තවමත් බලවත් යැයි පවසා ලෝක අවධානය තමන් වෙත දිනා ගැනීමටය.

එහෙත් ශ‍්‍රී ලංකාවට අපේ‍්‍රල් 21 වැනිදා එල්ල වූ ප‍්‍රහාරය මේ කිසිවක් නොව නේටෝ සංවිධානයේ (The North Atlantic Treaty Organization) මධ්‍යස්ථානයක් ශ‍්‍රී ලංකාවේ පිහිටුවීම සඳහා වූ ඇමෙරිකානු උපක‍්‍රමයක් බව පීටර් කොයිනිග් නමැති දේශපාලන සහ ආර්ථිකය පිළිබඳ ජාත්‍යන්තර විචාරකයා සඳහන් කරයි.

උතුරු ඇමරිකානු සහ බි‍්‍රතාන්‍යය, ප‍්‍රංශය, ජර්මනිය සහ ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් 29 කින් සැදුම්ලත් නේටෝ සංවිධානයේ යටි අරමුණ වී ඇත්තේ ඇමරිකානු කඳවුරු තමුනට අවශ්‍ය රටවල ස්ථාපනය කිරීමය.

ඒ සඳහා ඔවුන් යොදාගන්නා උපක‍්‍රමය වන්නේ යම් රටක් අනාරක්‍ෂිත තත්ත්වයට පත්කර එම රටේ ආරක්‍ෂාවට සහාය වීම යැයි පවසමින් තම කඳවුරු බැඳගැනීම බව මෙම ලේඛකයා පවසයි.

ශ‍්‍රී ලංකාවේ නේටෝ කඳවුරක් පිහිටුවීමට අවශ්‍යය වී ඇත්තේ ලෝකයේ බලවතා බවට පත්වෙමින් සිටින චීනයේ සේද මාවත ගමන් කරන ආසියාවේ එක් කේන්ද්‍රස්ථානයක් ලෙස ශ‍්‍රී ලංකාව ඇති බැවිනි.

ඒ අනුව ඇමෙරිකාවට ශ‍්‍රී ලංකාවේ සිය බල කඳවුරක් ඇති කර ගත හැකි වුවහොත් නිරිතදිග ආසියාවේ සිදුවන කටයුතු පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය.

ඒ සඳහා නිදසුනක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ ඇමෙරිකාව සෞදි අරාබිය පාලනය කිරීම සඳහා අයිඑස්අයිඑස් ත‍්‍රස්තවාදීන් යොදාගෙන ප‍්‍රහාර එල්ල කර එම ප‍්‍රහාර මැඬපැවැත්වීම සඳහා සහාය වීමට නේටෝ සංවිධානයේ කාර්යාල සෞදි අරාබියේ පිහිටුවූ බවය.

ලෝක සාමය ගැන කතා කරන ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවල් ආසියාවේ නැඟීසිටීම හමුවේ සිටින්නේ දැඩි බියකි.

චීනයේ සේද මාවත ඔස්සේ ආසියානු රටවල් අතර මිත‍්‍රත්වය, ප‍්‍රවාහනය, වෙළෙඳාම, සංස්කෘතික සබඳතා. පර්යේෂණ ආදී කටයුතු වැඩිදියුණු වේ.

මෙය ඇමරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවලට බලවත් තර්ජනයකි.

මේ සඳහා කදිම උදාහරණයක් ලෙස මෙම ලේඛකයා සඳහන් කරන්නේ චීන ජනාධිපති සී ජින් පින් ජාතීන් 120 ක් සමග අත්සන් කළ සේද මාවත සඳහා වූ අවබෝධතා ගිවිසුම බවය.

මෙම ගිවිසුම මගින් ඇමරිකානු ඩොලර් බිලියන දහයකට අධික ආයෝජනයක් සිදු වේ.

මෙය ඇමරිකාව ප‍්‍රමුඛ නේටෝ සංවිධානයට අයත් යුරෝපා රටවලට හිතකර තත්ත්වයක් නොවේ.

එබැවින් ආසියාවේ සිය කඳවුරක් පිහිටුවීමට ඇමෙරිකාව ප‍්‍රමුඛ යුරෝපා රටවලට දැඩි අවශ්‍යතාවක් මතුව තිබේ. ඒ සඳහා හොඳම කේන්ද්‍රස්ථානය බවට පත්ව තිබෙන්නේ ශ‍්‍රී ලංකාවය.

ශ‍්‍රී ලංකාව තුළ නේටෝ සංවිධානයේ කඳවුරක් පිහිටුවීමට නම් රට තුළ ජාත්‍යන්තර ත‍්‍රස්තවාදී තර්ජන තිබිය යුතුය.

ඒ සඳහා ඇති හොඳම තුරුම්පුව අයි එස් ත‍්‍රස්තවාදීන් බව ඇමෙරිකාව හඳුනාගෙන ඇත.

සෞදි අරාබිය තුළ නේටෝ සංවිධානයේ කඳවුරු ස්ථාපිත කර ඇත්තේ අයිඑස් ත‍්‍රස්තවාදීන්ගේ පිහිටෙනි. ඒ අනුව ශ‍්‍රී ලංකාව තුළ ද අයිඑස් ත‍්‍රස්තවාදී තර්ජන ඇති බවට මත පතුරුවා ශ‍්‍රී ලංකාවේ නේටෝ සංවිධානයේ කාර්යාලයක් පිහිටුවීම තුළින් චීනය ප‍්‍රමුඛ ආසියාවේ නැගීසිටීම නිරීක්‍ෂණය කළ හැකි බව ද මෙම ලේඛකයා සඳහන් කරයි. ලෝක බැංකුව, ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන රැසක සේවය කර වසර 30 ක අත්දැකීම් සහිත පීටර් කොයිනිග් ආර්ථික විශ්ලේෂකයෙක් මෙන්ම ලෝක දේශපාලනය පිළිබඳ නිරීක්‍ෂකයෙකි.

ඔහු සිය අත්දැකීම් මත අනාවරණය කර ඇති මෙම තොරතුරු පිළිබඳව ශ‍්‍රී ලංකාවේ දේශපාලනඥයන්ගේ දැඩි අවදානයට යොමුවිය යුතුය.

මන්ද යත් ඇමෙරිකාව ප‍්‍රමුඛ බටහිර රටවල් ආසියාවේ සහ වාමාංශික දේශපාලනයේ නැගී සිටීමට දක්වන්නේ දැඩි භීතියකි.

– divaina

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress