ඇමති සුජීව සේනසිංහ යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය සමඟ වැඩිදුර සහයෝගීතාවන්ට එළැඹීම පිළිබඳ සාකච්ඡාවක..
Posted on May 29th, 2019

තක්ෂක හේමචන්ද්‍ර ගරු විද්‍යා, තාක්ෂණ  හා පර්යේෂණ අමාත්‍යතුමාගේ මාධ්‍ය ලේකම්

විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය, සුජීව සේනසිංහ මහතා විසින් 2019 මැයි මසදී ස්විස්ටර්ලන්තයේ ජිනීවාහි සිදුකළ සංචාරය අතරතුර දී, යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනයේ (CERN) නිරීක්ෂණ චාරිකාවකට එක් වූ අතර, අමාත්‍යවරයා එහි දී, ශ්‍රී ලංකාව CERN ආයතනය සමග දැනට ක්‍රියාත්මක කරනු ලබන සහයෝගීතා වැඩසටහන් පුළුල් කිරීම පිළිබඳ සාකච්ඡාවල නිරත විය. ඒ යටතේ 2019 ජූලි මසදී විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශයේ සංවිධානයෙන්  කොළඹ දී පැවැත්වීමට නියමිත ශිල්ප සේනා ප්‍රදර්ශනය සඳහා සහභාගී වන ලෙස යුරෝපා න්‍යෂ්ටික පර්යේෂණ ආයතනය (CERN) වෙත අමාත්‍යවරයා විසින් ඇරයුම් කරන ලදී. CERN සහ ශ්‍රී ලංකාව අතර දැනට ක්‍රියාත්මක සහයෝගීතාවන් සහ ඒ අතර ශ්‍රී ලංකාවේ විද්‍යාත්මක ක්ෂේත්‍රයේ ප්‍රගමනය උදෙසා ලබාදිය හැකි දායකත්වය ප්‍රදර්ශනය කිරීමේ මහඟු අවස්ථාවක් මෙම ප්‍රදර්ශනය හරහා උදා වනු ඇති බවත්,  ශ්‍රී ලංකාව සඳහා අධි ශක්ති භෞතික විද්‍යාවෙහි ඇති වැදගත්කම පිළිබඳ දැනුමක් සහ ඒ පිළිබඳ උනන්දුවක් ලාංකික ශිෂ්‍ය ප්‍රජාව තුළ ඇති කරලීමට මෙය මහෝපකාරී වනු ඇති බවත්  අමාත්‍ය සේනසිංහ මහතා මෙහි දී පැවසීය.

CERN හි ජාත්‍යන්තර සබඳතා පිළිබඳ අධ්‍යක්ෂවරිය වන චාලට් වරකාඋල්ලේ මහත්මිය විසින් අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබීය. ගෙවීගිය වසර කිහිපය තුළ ශ්‍රී ලංකාව සහ CERN අතර දිනෙන් දින පුළුල් වන සහයෝගීතාවය පිළිබඳව ඇය අවධාරණය කරන ලද අතර, මෙම වර්ෂයේ පෙබරවාරි මාසදී අනාවරණ තාක්ෂණ සහ යෙදවුම් පිළිබඳ දකුණු ආසියානු අධිශක්ති භෞතික විද්‍යා වැඩමුළුවෙහි 2 වන අදියර සඳහා සත්කාරත්වය දැක්වීම සම්බන්ධයෙන්, විද්‍ය, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යාංශය වෙත සිය ප්‍රශංසාව පුද කළාය.

CERN හි නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගැනීමෙන් අනතුරුව අමාත්‍යවරයා ඇතුළු ලංකා දූත පිරිස විසින්  CERN හි අධිශක්ති භෞතික විද්‍යා පර්යේෂණයන්හි දී භාවිත කෙරෙන අනාවරණ යන්ත්‍ර 4 න් එකක් වන Computer Muon Solenoid (CMS) අනාවරණ යන්ත්‍රය නිරීක්ෂණය කෙරිණි. CMS හි පර්යේෂණ සිදු කෙරෙන ප්‍රදේශයේ සිදුකළ චාරිකාවේදී, CMS පර්යේෂණයන්හි නියැළි සිටින ශ්‍රී ලාංකික ආචාර්ය උපාධි අපේක්ෂක ශිෂ්‍යයින් වන, දේශිත ධම්මගේ, බාලශාන්ගර් කයිලාසපති, කල්පනී මදාරා ලියනගේ සහ නිමන්ත පෙරේරා යන මහත්ම මහත්මීන් ඒ සඳහා අමාත්‍යවරයා හා එක්විය.

 2017 වසරේදී CERN හා එළඹි ජාත්‍යන්තර සහයෝගිතා ගිවිසුම සහ CMS හි සහයෝගිතාවය පිළිබඳ අවබෝධතා ගිවිසුම සමඟ, CERN හි පර්යේෂණ සඳහා ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වර්ධනය වී ඇත. 2016 වසරේ සිට CERN හි වාර්ෂික ගිම්හාන සිසු වැඩසටහන් සඳහා භෞතික විද්‍යා අංශයේ ශ්‍රී ලාංකික උපාධි අපේක්ෂක ශිෂ්‍යයින් සහභාගී වන අතර 2017 වර්ෂයේ මුල්භාගයේ සිට කොළඹ සහ රුහුණු විශ්වවිද්‍යාල වල ඒකාබද්ධ වැඩසටහනක් යටතේ ශ්‍රී ලාංකික විද්‍යාඥයින් 8 දෙනෙකුගේ සමන්විත කණ්ඩායමක් දැනටමත් CERN හි CMS පහසුකමෙහි අධිශක්ති භෞතික විද්‍යා පර්යේෂණයන්හි නිරතව සිටී.

මෙම අවස්ථාවට CERN හි ජ්‍යෙෂ්ඨ භෞතික විද්‍යාඥයින්, මහාචාර්ය ක්‍රිස්ටොෆ් ස්කාෆර්, ආචාර්ය අර්චනා ශර්මා සහ ආචාර්ය ඇන්ඩ්‍රසෙජ් චාර්කියෙවික්ස්,  ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත සමන්තා ජයසුරිය, අමාත්‍ය උපදේශිකා ශෂිකා සෝමරත්න සහ දෙවන ලේකම් රජ්මි මනතුංග යන මහත්ම මහත්මීන්  එක්ව සිටියහ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress