‘නයාම කාපිය’
Posted on September 6th, 2019

උපුටාගැනීම දිවයින

ශ‍්‍රී ලංකාවේ ධනය වංචා කරන දේශපාලනඥයන්ට සහ ඊට අනුබල දෙන නිලධාරීන්ට තවත් එවැනි වංචා කිරීමට බලාපොරොත්තු (Hope) ඇතිකරන කාරක සභාවක් පාර්ලිමේන්තුවේ තිබේ. මෙම සභාව අප හඳුන්වන්නේ පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව නොහොත් ‘කෝප්’ (The Committe on Public Enterprises) කමිටුව නමිනි. 1979 වසරේ ජුනි 21 වැනිදා ස්ථාපනය කරන ලද මෙම ‘කෝප්’ කමිටුවට පසුගිය වසර 40 තුළ රාජ්‍ය ධනය වංචා කළ කිසිදු දේශපාලනඥයකු පැමිණ නැත. පැමිණියේ නම් ඒ, එම වංචා, ¥ෂණ චක‍්‍රලේඛ අනුව සාධාරණීකරණය කරන රාජ්‍ය නිලධාරීන් පමණි. කමිටුව විසින් දේශපාලනඥයන්ට කැඳවීම් කළ ද එම දේශපාලනඥයන්ට දෂ්ට කරන අද්භූත නයි විශේෂයක් රටේ සිටින බැවින් කෝප් කමිටුව අසරණ වූ අවස්ථා බොහෝය. ඇතැම් දේශපාලනඥයන්ට සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ට පිටරට සිටින තමන්ගේ දරු මුණුබුරන් සිහිවන්නේ ‘කෝප්’ කමිටුවට පැමිණෙන ලෙස දැන්වීමෙන් පසුවය. එලෙස කැඳවූ, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ හදිසියේ විදෙස්ගත වී ඇත්තේ තම දරුවාගේ අධ්‍යාපන කටයුතු පිළිබඳව සොයා බැලීමටය. කෙතරම් කාර්යබහුල වුව ද ආචාර්ය බටගොඩ පියකුගේ වගකීම් පැහැර හැර නැත. මෙවැනි පියවරු හිමිවන්නේ දරුවන්ගේ වාසනාවටය.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ වර්තමාන සභාපතිවරයා වන ශම්මි ද සිල්වා මහතාට ද කෝප් කමිටුව හමුවේ පෙනී සිටීමට නොහැකි වූයේ හදිසියේ මැලේසියාවට යෑමට සිදුවීම නිසාය. ඇතැම් විට මෙම සංචාරයේ අරමුණ ශ‍්‍රී ලංකා පිල මේ දිනවල ලබන අන්ත පරාජයන් ගැන මැලේසියාවෙන් කරුණු විමසීමට විය හැක. ඔහු නොපැමිණිය ද ඉතා චතුර ලෙස ඉංග‍්‍රීසි භාෂාව කතා කළ හැකි, වයසක වුව ද කඩවසම් නිලධාරීන් රොත්තක් ‘කෝප්’ කමිටුවට සහභාගි වී සිටියහ. ඔවුන්ගේ කියුම්, කෙරුම් අනුව හෙළි වූ කරුණු කිහිපයක් රටේ ජනතාවගේ සංවේගය පිණිස මෙසේ පෙළගස්වන්නෙමු.
 
 ⋆ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් පුණ්‍ය කටයුතු සිදුකිරීම සඳහා 2016 වසරේ ‘ක‍්‍රිකට් ඒඞ්’ නමින් සමාගමක් ස්ථාපිත කර තිබේ.
 
 ⋆ එම සමාගමේ කළමනාකරු ලෙස කටයුතු කළ පුද්ගලයාගේ මාසික වැටුප රුපියල් ලක්‍ෂ 39 කි. අවුරුදු දෙකක් පුරා ඔහුට ක‍්‍රිකට් ආයතනය වැටුප් ගෙවා ඇති අතර එම වසර දෙක පුරා 
 
 ‘ක‍්‍රිකට් ඒඞ්’ පුණ්‍ය කටයුතු සඳහා වැයකර ඇත්තේ ලක්‍ෂ 24 ක් පමණි.
 
 ⋆ මෙම ‘ක‍්‍රිකට් ඒඞ්’ ආයතනය සමාගම් මැඳුරේ ලියාපදිංචි කිරීමේදී සකස් කළ ව්‍යවස්ථාවට අනුව ‘ක‍්‍රිකට් ඒඞ්’ ගැන විගණනය කිරීමට රජයේ විගණකාධිපතිවරයාට බලයක් නැත. මේ වැරැුද්ද නිවැරදි කරන ලෙස 2016 වසරේ පැවති කෝප් කමිටුවේදී ක‍්‍රිකට් ආයතනයට උපදෙස් දුන්න ද මේ වනතෙක් එය නිවැරදි කර නැත.
 
 ⋆ සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණය ඉදිකිරීමේදී රජයේ තක්සේරුව ලෙස මිලියන 900 ක් සඳහන් වන අතර ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කර තිබෙන වියදම් වාර්තාවේ සඳහන් වන්නේ රුපියල් බිලියන 2.2 ක් වශයෙනි. චයිනා හාබර් සමාගම සහ වරාය අධිකාරිය බිලියන 5කට ආසන්න මුදලක් ක‍්‍රීඩාංගණය ඉදිකිරීමට වැය කළ බව ක‍්‍රිකට් ආයතනය පවසයි. මෙපමණ වියදමකින් ඉදිකළ මෙම ක‍්‍රීඩාංගණයේ අද ක‍්‍රීඩා කරන්නේ වන අලින් පමණි.
 
 ⋆ මහනුවර, කටුගස්තොට ප‍්‍රදේශයේ මිලියන 1200 ක වියදමින් ක‍්‍රිකට් විශ්වවිද්‍යාලයක් ඉදිකිරීම ඇරඹීම. මේ සඳහා මේ වනවිට මිලියන 250 ක් අනුමත කර ඇති අතර එම මුදලින් මිලදීගෙන ඇත්තේ ඉඩම පමණි.
 
 ⋆ එම ඉඩම මල්වතු විහාරයට අයත් බවත් ඉඩම ලබාගැනීම සඳහා මල්වතු විහාරයට රුපියල් මිලියන 25 ක් ලබාදුන් බවත් ක‍්‍රිකට් ආයතනය පවසයි. ඊට අමතරව ඉඩම සඳහා බදු මුදල් වශයෙන් වසරකට රුපියල් දෙලක්‍ෂ පනස්දහස බැගින් වසර තුනක් මල්වතු විහාරයට මුදල් ලබා ගෙවා තිබෙන බවද ක‍්‍රිකට් ආයතනයේ සාමාන්‍යාධිකාරීවරයා පවසයි.
 
 මේ කෝප් කමිටුවේදී හෙළි වූ කරුණුවලින් ඉතා ස්වල්පයක් පමණි. ඉතිරි කෙළි සියල්ල කෝප් කමිටු වාර්තාව සහ විගණකාධිපතිවරයාගේ අවසන් වාර්තාව නිකුත් කිරීමෙන් පසු දැනගත හැකිය.
 
 ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ඇත්තේ රටේ ක‍්‍රිකට් නඟා සිටුවීම සඳහා ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් ලබාදෙන මුදල්ය. මේ මුදල් උපයනු ලබන්නේ රටේ ජනතාවගේ අහිංසක දරුවන්ය. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය කළ යුත්තේ මේ මුදල් නිවැරදි ලෙස කළමනාකරණය කර රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව දිනෙන් දින ඉදිරියට ගෙන යෑමය. නමුත් සිදුවන්නේ එයද? ¥ෂිත දේශපාලනඥයන්ගේ අනුග‍්‍රහය ලබන නිලධාරීන් පිරිසක් විසින් ක‍්‍රිකට් ධනය කොල්ලකෑමය. මේ චෞරයන් නිසා රටේ ක‍්‍රිකට් ක‍්‍රීඩාව වේගයෙන් පරිහානියට ගමන් කර තිබේ. මේ ¥ෂිතයන් ‘කෝප්’ කමිටුවේදී නිරුවත් වූවාට ඔවුන්ට දඬුවම් ලබාදීමේ යාන්ත‍්‍රණයක් කමිටුවට නැත. එම යාන්ත‍්‍රණය බලගන්වා වංචනිකයන්ට දඬුවම් දීමට ආණ්ඩුවට ද අදහසක් නැත. එබැවින් මෙම ‘හෝප්’ නැති ‘කෝප්’ කමිටුව දෙස බලා ජනතාවට කළ හැක්කේ එක් ප‍්‍රාර්ථනාවක් පමණි. ඒ මේ සියලූ ¥ෂිතයන් ”නයාම කාපිය” කියා පමණි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress