කිසිදු හේතුවක් නොමැතිව දුම්රිය සේවය අත්‍යවශ්‍ය සේවාවක් කිරීමේ ජනාධිපති ගැසට් නිවේදනය ප‍්‍රායෝගික නෑ
Posted on September 16th, 2019

මාධ්‍ය නිවේදනයයි දුම්රිය වෘත්තීය සමිති සන්ධානය

1979 අංක 61 දරන අත්‍යවශ්‍ය මහජන සේවා පනතේ 02 වගන්තිය ප‍්‍රකාරව, ශ‍්‍රී ලංකා ප‍්‍රජාතන්ත‍්‍රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අංක: 2138/10 . 2019 අගෝස්තු මස 27 දින ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් බවට ප‍්‍රකාශයට පත්කර ඇත.  මෙම ගැසට් නිවේදනයෙන් අවධාරණය කර ඇත්තේ ” මගින් හෝ භාණ්ඩ සඳහා වන සියළු පොදු ප‍්‍රවාහන සේවාවන් කාර්යක්‍ෂමව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය වන්නා වූ දුම්රිය ධාවනය, දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව හා නිසි ආරක්‍ෂාව සපැයීමට අදාල සංඥා පද්ධතිය හා මෙහෙයුම්, ප‍්‍රවේශපත‍්‍ර නිකුත් කිරීම අතුළු දුම්රිය දෙපාර්තමේන්තුවෙන්  කළ යුතු කවරාකාරයෙන් වූ සේවාවන් පවත්වාගෙන් යාම සඳහා අවශ්‍ය වන්නා වූ සියළු වැඩ හා  ඕනෑම ආකාරයක ශ‍්‍රමය සැපයීම අත්‍යාවශ්‍ය සේවාවන් වන බවයි ”

මෙම ගැසට් නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ  ” සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇති වීමට හැකියාවක් පැවතීම හේතුවෙන් ” දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවයක් කරන බවයි. එවැනි අවහිරතාවක් හෝ බාධාවක් ඇති වේනම් ජනාධිපති වරයා කළ යුත්තේ එම අවහිරය හෝ බාධාව ඉවත් කිරීමයි. එහෙත් දුම්රිය සේවාව පවත්වාගෙන යාමට කිසිදු අවහිරයක් හෝ බාධාවක් ඇති බවක් අපට නම් නොපෙනෙන අතර, වසර 05 කට අධික කාලයක් තිස්සේ දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරන අනියම් ආදේශක තාවකාලික හා කොන්ත‍්‍රාත් පදනමින් බඳවා ගෙන ඇති සේවකයින් ස්ථීර නොකර, ප‍්‍රවාහන අමාත්‍ය වරයා සකස්කර ගත් ලේඛනයකට අනුව දුම්රිය කාර්ය සහායකයින් ලෙස ස්ථීර පත්වීම් ලබාදීම නම්, දුම්රිය සේවය පවත්වාගෙන යාමට අවහිරයක් හා බාධාවක් වී ඇත. එම බාධාව හා අවහිරතාව කැබිනට් අනුමැතියක් ගැනීම මගින් ඉතා පහසුවෙන් ඉවත් කිරීමට, ජනාධිපති වරයාටත් ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය වරයාටත් හැකියාව තිබියදී, තනතුරට පැවරී ඇති බලය පාවිච්චි කර, දුම්රිය වෘත්තීය සමිති වලටත් දුම්රිය සේවකයාටත් මර්ධනය කැඳවන ගැසට් නිවේදන නිකුක් කිරීම ප‍්‍රයෝගික නොවන බව අවධාරණය කරන්නෙමු.

” අබ කෑ මිනිහාගේ මොළේ දනවා ” යැයි කියන්නාක් මෙන්, ස්ථීර කළ යුතු සේවකයින් සිටියදී ඔහුන් ස්ථීර නොකර, ස්ථිර සේවයට තමන්ගේ දේශපාලන හිතවතුන් පිරිසක් ගැනීම වැරදි සහගත බවත්, දුම්රිය වෘත්තීය සමිති ඊට විරුද්ධව ක‍්‍රියාමාර්ග ගැනීමට හැකියාව තිබෙන බවත් දන්නා ප‍්‍රවාහන අමාත්‍යවරයා එසේ වෘත්තීය සමිති ක‍්‍රියාමාර්ග ගතහොත් එය මර්ධනය කිරීමට අවශ්‍ය නීතිමය පරිසරය මෙම ගැසට් නිවේදනය මගින් සකස් කරගෙන ඇත.

මෙපරිදි ගැසට් නිවේදන නිකුත් කිරීම, දුම්රිය සේවකයින්ගේ ප‍්‍රශ්න වලට විසඳුමක් නොවන බව දුම්රිය වෘත්තීය සමිති ලෙස අප පෙන්වා දෙන අතර, ඉන් ජනාධිපති වරයාත් නීතියත් දෙකම එකවිට අවතක්සේරු වන බවද, නීතිය අවභාවිතා කර පනවන නියෝග වෘත්තීය සමිති ලෙස අප කිසි විටකවත් පිලිනොගන්නා බවද අවධාරණය කරමු.

ස්තූතියි.

මෙයට,
එස්. පී. විතානගේ
සමකැඳවුම්කරු  

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress