දිල්රුක්ෂි ඩයස්ගේ වැඩ බැලීමට, අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙක්
Posted on September 23rd, 2019

උපුටා ගැන්ම  හිරු පුවත්

අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්‍ෂ ජනරාල්, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සහ ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති අතර සිදුවූ දුරකථන සංවාදය පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙස නීතිපතිවරයා අද රාජ්‍ය සේවා කොමිසන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.

එමෙන්ම, අදාළ දුරකථන සංවාදය පිළිබඳව පරීක්ෂණ ද ආරම්භ කළ බවයි නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිශාරා ජයරත්න ප්‍රකාශ කළේ.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණ පැවැත්වීම සඳහා විමර්ශකයෙකු පත් කිරීමට නියමිතයි.

මේ අතර, සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ දැරූ නීතිපති දෙපාර්තමේන්තුවේ සිවිල් අංශයේ ප්‍රධානී තනතරේ වැඩ ආවරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් සංජය රාජරත්න පත් කර තිබෙනවා.

මෙම දුරකථන සංවාදය ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පසුගිය දා සමාජ මාධ්‍යයට මුදා හැරියේ සිංගප්පූරු රෝහලක ප්‍රතිකාර ලබන අතරතුරයි.

කෙසේ වෙතත්, අදාළ දුරකථන සංවාදය සම්බන්ධයෙන් සොලිසිටර් ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ තම ෆේස්බුක් ගිණුමේ සටහනක් ද යොදමින් සඳහන් කළේ එය විකෘති කරන ලද්දක් බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress