වෛද්‍ය සාෆි ගැන විමර්ශන අලුත් කණ්ඩායමකට – නැවත සාක්ෂි ලබා ගැනීමටත් අවස්ථාවක්
Posted on December 12th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඞ් සාෆි ෂිහාබ්දීන්ට එරෙහි චෝදනා විමර්ශණය සදහා සහකාර පොලිස් අධිකාරිවරයෙක් යටතේ නව කණ්ඩායමක් පත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කුරුණෑගල මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නා.

ඒ සිසේරියන් සැත්කම් අතරතුර මව්වරුන් වඳභාවයට පත් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකර ඇති නඩුව අද කැඳවූ අවස්ථාවේදියි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නව අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න පෞද්ගලිකවම අධිකරණය හමුවේ පෙනී සිටිමින් මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කල බවයි හිරු අධිකරණ වාර්තාකරු කියා සිටියේ.

එහිදී ඔහු වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අධිකරණයට දැනුම්දී ඇත්තේ සිද්ධියට අදාළ පූර්වගාමී විමර්ශන සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව සෑහීමකට පත් නොවූ බව දැනගන්නට ලැබුණු බවයි.

ඒ අනුව විමර්ශනය සඳහා සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ ප්‍රධානත්වයෙන් වෙනත් කණ්ඩායමක් පත් කර ඇති බව ඔහු ප්‍රකාශ කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ දක්ෂ පලපුරුද්දක් සහිත විශේෂඥ දැනුම ඇති නිලධාරින් අවශ්‍ය තරම් සිටින බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා යම් නිලධාරියෙක් හෝ නිලධාරීන් කිහිපදෙනෙකු ස්ථාන මාරුවී යාම හේතුවෙන් කිසිදු විමර්ශණයක් අතරමග නතර නොවන බවද කියා සිටියා.

ඔහු පැවසුවේ කිසිවෙකුගේ සැකයට භාජනය නොවන ලෙස විමර්ශන සිදුකල යුතුව ඇති බවයි.

ඒ අනුව ඉදිරි විමර්ශණ කටයුතු නිසි විනිවිද භාවයකින් යුතුව විශේෂඥ උපදෙස් සැළකිල්ලට ගනිමින් කරගෙන යන බව ඔහු අධිකරණය හමුවේ කියා සිටියා.

සැකකරුගේ මුල්‍ය හා අනෙකුත් වත්කම් සම්බන්ධයෙන් එල්ල වන චෝදනා පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශණ අංශය වෙනම විමර්ශණයක් සිදුකරන බවත් මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ ඒ සම්බන්ධයෙන් ඉදිරියේදි කරුණු වාර්තා කරන බවත් අධ්‍යක්ෂවරයා, අධිකරණයට දැනුම් දුන්නා.

මවකගේ ඇද ඉහපත් වාර්තාව වෙනස් කොට අලුත උපන් බිළිදෙකු වෙනත් පාර්ශවයකට ලබාදීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනාව පිළිබදවද වෙනම විමර්ශනයක් සිදුවන බවයි ඔහු සඳහන් කළේ.

විත්තිකාර වෛද්‍ය සාෆි ෂීහාබ්දීන් ඇප නියෝග කඩකර අවස්ථා දෙකකදි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිට නොමැති බව ද මෙහිදී හෙළි වුණා.

විත්තිකරු වෙනුවෙන් පෙනිසිටි ජනාධිපති නිතිඥ නවරත්න බණ්ඩාර අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළව මෙතෙක් විනිවිදභාවයෙන් පරීක්ෂණ සිදුනොවූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයාගේ ප්‍රකාශයෙන් හැගී යන බවයි.

එහෙත්, විමර්ශන සිදුකලේ සහකාර පොලිස් අධිකාරී බී.එස්.තිසේරා බවත්, එය අධීක්ෂණය කලේ පොලිස් අධිකාරි ශානි අබේසේකර බවත් නීතිඥවරයා විවෘත අධිකරණයේදී සඳහන් කළේ එම නිලධාරීන් අපක්ෂපාතී බව ද පවසමින්. <

කෙසේ වෙතත්, එහිදී ඔවුන් පොලිස් නිලධාරින් පමණක් බැවින් අපක්ෂපාතී නිලධාරින් යැයි සඳහන් කළ නොහැකි බවයි විනිසුරු සම්පත් හේවාවසම් කියා සිටියේ. ඒ අනුව නඩුවට අදාළ කරුණු පමණක් වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා, විත්තියේ නීතිඥවරයාට දැනුම් දී තිබුණා.

ජිවිත තර්ජන හේතුවෙන් මේ වන විට කල්මුණේ ප්‍රදේශයේ ජිවත් වන විත්තිකරු ජනාධිපතිවරණ දිනට පසුදින කොළඹට පැමිණීමට බස් රථයක් නොමැති වූ නිසා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බවයි මෙහිදී නීතිඥවරයා අධිකරණය හමුවේ සඳහන් කළේ.

එසේම, ඊට අදාළව පොලිස් අධිකාරි තිසේරා සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා දැනුවත් කළ බව ද ඔහු කියා සිටියා.

මෙහිදී අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනිසිටි නිතිඥ කල්‍යානන්ද තීරණාගම පෙන්වා දුන්නේ ඉදිරිපත් වි ඇති ප්‍රකාශ අනුව විත්තිකාර වෛද්‍යවරයා වසර දෙකහමාරක් තුල සිසේරියන් සැත්කම් 1784ක් සිදුකර ඇති බවයි.

එසේම ඔහු සිංහල මව්වරුන් සොයා ගොස් සිසේරියන් සැත්කම් සිදුකර ඇති බවද ඉදිරිපත් වි ඇති ප්‍රකාශ වලින් පැහැදිලි වන බව ඔහු අධිකරණයට පෙන්වා දුන්නා.

මෙහිදි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතිඥ නවරත්න බණ්ඩාර ඔහුට දිගින් දිගටම බාධා කල අතර අවස්ථා කිහිපයකදීම ඔහුට අවවාද කිරිමට මහේස්ත්‍රාත්වරයාට සිදුවුණා.

එක් අවස්ථාවක මහේස්ත්‍රාත්වරයා සදහන් කලේ විවෘත අධිකරණයේදී නිතීිඥවරුන් හැසිරෙන ආකාරය අනුව ඔවුන් ඉගෙන ගත් පාසල ද අගෞරවයට පත් වන බව සිහි තබාගන්නා ලෙසයි.

එසේම, මෙහිදී ඇප කොන්දේසි ලිහිල් කරන ලෙසට විත්තියේ පාර්ශවයෙන් කළ ඉල්ලීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැඩි විරෝධය පළ කර තිබෙනවා. ඒ අනුව, ඇප කොන්දේසි ලිහිල් කිරිම පිළිබඳව මීළඟ නඩු දිනයේදී තීන්දුවක් ලබාදෙන බවයි විනිසුරුවරයා ප්‍රකාශ කර ඇත්තේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර වෙනුවෙන් පෙනී සිටි නිතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ තම සේවාදායකයාට එරෙහිව සෞඛ්‍ය අමාත්‍යාංශය සිදුකරන විමර්ශනයකදී විත්තිකාර වෛද්‍ය සාෆි ෂීහාබ්දීන් විවිධ බලපෑම් සිදුකර ඇති බවයි.

එම බලපෑම් මත රෝහල් අධ්‍යක්ෂකවරයාගේ වැඩ තහනමක් සිදුවුවහොත් එමගින් විමර්ශනවලට අගතියක් සිදුවිය හැකි බව ද නිතිඥවරයා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා.

අගතියට පත් පාර්ශවයේ තවත් නිතිඥවරයෙකු අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකර සාෆි ෂීහාබ්දීන්ගේ බැංකු ගිණුම්වල අවසාන ශිර්ෂයන් පිළිබඳ පමණක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය විමර්ශණ අංශ නිලධාරින් විසින් අධිකරණයට දැනුම්දී ඇති බවයි.

එම ගිණුම් වල ක්‍රියාකාරිත්වය පිළිබද අධිකරණය දැනුවත් කර නොමැති බව සඳහන් කළ නිතිඥවරයා විත්තිකරුගේ ඇතැම් ගිණුම් වලට විශාල වශයෙන් මුදල් ලැබී ඇති බවට වන තොරතුරු අධිකරණයට ඉදිරිපත් කළා.

එසේම, විමර්ශන නිලධාරින්ට ස්ථාන මාරුවක් ලැබුණු විට ඉන් කම්පනයට පත්විය යුත්තේ අගතියට පත් පාර්ශවය බව පෙන්වා දුන් පැමිණිලි පාර්ශවයේ නීතිඥවරුන් විත්තිය කළබලයට පත්වීම පිලිබඳව ද, මෙහිදී අදහස් පළ කළා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පිඨයේ පිඨාධිපතිවරයාගෙන් විශේෂඥ වාර්තාවක් මීට පෙර කැඳවූ අතර, එය ලැබි ඇති බව මහේස්ත්‍රාත්වරයා විවෘත අධිකරණයේදි ප්‍රකාශ කලා.

එම වාර්තාව ලබා දි තිබුනේ මහාචාර්්‍යවරුන් පස්දෙනෙකු සහ වෛද්‍යවරුන් 09 දෙනෙකුගෙන් යුත් විශේෂඥ මණ්ඩලයක් විසින්.

එම වාර්තාවට අනුව වින්දිත කාන්තාවන් එච්.එස්.ජි පරික්ෂණයකට යොමු කිරිම සාර්ථක පියවරක් නොවන බවත්, වෙනත් පරීක්ෂණ දෙකක් නිර්දේශ කර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

එසේම, සාක්ෂිවල පරස්පරතා පවතී නම්, එම ප්‍රකාශ යළි සටහන් කර ගන්නා ලෙසයි කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ.

වැඩිදුර නඩු විභාගය ලබන මස 16 වනදා දක්වා කල් තැබුණේ ඉන් අනතුරුවයි.

මේ අතර, නඩු විභාගයෙන් අනතුරුව විත්තිකාර වෛද්‍ය සාෆි ෂීහාබ්දීන් අධිකරණ පරිශ්‍රය තුළට මෝටර් රථයක් ගෙන්වා ගෙන ඉන් පිටව යන ආකාරය ද, දක්නට ලැබුණු බවයි හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress