අල්ලස හා දුෂණය තුරන් කිරීමේ අභියෝගය නව රජය සතුයි
Posted on December 13th, 2019

කැෆේ සංවිධානයේ  අධ්‍යක්ෂිකා සුරංගි ආරියංවශ

අල්ලස හා දුෂණය සම්බන්ධයෙන් වන සෝදිසි මෙහෙයුම් විධිමත් කර සුපිළිපන් රාජ්‍ය සේවාවක් බිහිකර ගැනීමේ වගකීම නව ජනාධිපතිවරයා සහ රජය හමුවේ ඇති බව කැෆේ සංවිධානය කියයි. එහි අධ්‍යක්ෂිකා සුරංගි ආරියවංශ මහත්මිය ජාත්‍යන්තර අල්ලස් හා දූෂණ විරෝධී දිනය නිමිත්තෙන් රාජගිරි‍යේ පැවැති වැඩසටහනකට එක් වෙමින් මේ බව කියා සිටියාය. එහිදී ඇය පෙන්වා දුන්නේ නව ජනාධිපතිවරයා ලෙස පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අල්ලස හා දුෂණය තුරන් කරන බව දක්වා ඇති බවයි. ඒ අනුව යමින් අල්ලස හා දුෂණය තුරන් කිරීමේ පුළුල් වැඩපිලිවෙළක් සකස් කිරීම නව රජය සතු වගකීමක් වන බව ඇය පෙන්වා දුන්නාය.

 ශ්‍රී ලංකාව සංවර්ධිත රාජ්‍යයක් බවට පත්කිරීම තවදුරටත් අසීරු වීමට ප්‍රබලතම හේතුවක් ලෙස මෙම  අල්ලස හා දුෂණය දැක්විය හැකි බව ඇය පෙන්වා දුන්නාය. එදා මෙදා තුර අල්ලස හා දුෂණය නිසා ඇති වන අතුරු ප්‍රතිඵල නිසා සමාජයීය මහ ආර්ථික වශයෙන් ශ්‍රී ලංකාව ලබා ඇති පසුබෑම අතිශය ප්‍රබල බව ඇය  සඳහන් කළාය. රාජ්‍ය යාන්ත්‍රණය තුළ අල්ලස හා දුෂණය ප්‍රබල ලෙස ක්‍රියාත්මක වන බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය කියා සිටියේ ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය බවයි.

සාම්ප්‍රදායික ලෙස එක් ආණ්ඩුවක් පරාජය වී තවත් ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු රාජ්‍ය ආයතන වල ප්‍රධානීන් පත් කෙරෙන බව පෙන්වා දෙන ආරියවංශ මහත්මිය කියා සිටියේ එලෙස ඉහළ තනතුරු ලබාදීමේදී අල්ලසින් හා දුෂණයෙන් තොර නිලධාරීන් පත්කරගැනීමේ වගකීම රජය සතු වන බව කියා සිටියාය.  එමෙන්ම රාජ්‍ය යාන්ත්‍රණය තුළ අල්ලස හා දුෂණය ක්‍රියාත්මක වීමට ඇති ඉඩකඩ අහුරාලිය හැකි බවද ඇය කියා සිටියාය.  ඒ සඳහා හදිසි සෝදිසි මෙහෙයුම් ආදී විධිමත් වැඩපිළිවෙළක් සකසා අල්ලස හා දුෂණ චෝදනා වලට ලක්වන නිලධාරීන් වහාම සේවයෙන් ඉවත් කළ යුතුව ඇති බවද ඇය සඳහන් කළාය. එමෙන්ම මහජනයා වෙත සැපයෙන රාජ්‍ය සේවාව නිසි කලට හා වේලාවට ක්‍රියාශිලිව කිසිදු බේදයකින් තොරව  ඉටුවන වටපිටාවක් නිර්මාණය කිරීම ආදිය මඟින් අල්ලස් ලබාදීමේ අවශ්‍යතාව අවම කරගත හැකි බව ඇය පෙන්වා දෙයි.

නව රජය අල්ලස හා දුෂණය තුරන් කිරීමට කටයුතු කරන ආකාරය පිළිබදව සිවිල් සංවිධාන, සහ කණ්ඩායම් දැඩි අවධානයකින්  කටයුතු කළ යුතු බව පෙන්වා දෙන ඇය කියා සිටියේ ඒ  සඳහාද පොදු වැඩපිළිටවළක් සැකසිය යුතු  බවයි.

මාධ්‍ය ඒකකය

කැෆේ සංවිධානය

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress