මිත්‍රත්වය පිළිගෙන ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බව ජනපති කියයි
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ලෝක බලවතුන්ගේ ගැටුම්වලට මැදිහත්වීමට ශ්‍රී ලංකාවට අවශ්‍යතාවක් නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

ඒ ජපානයේ විදේශ කටයුතු අමාත්‍ය මොතේගි තොෂිමිත්සු සමග ජනාධිපති කාර්යාලයේදී අද පැවති සාකච්ඡාවේදී විදේශ සබඳතා පිළිබඳ සිය ස්ථාවරත්වය පැහැදිලි කරමින්. අනෙක් රටවල මිත්‍රත්වය බලාපොරොත්තු වන අතරම ශ්‍රී ලංකාව ආධිපත්‍ය ප්‍රතික්ෂේප කරන බවයි එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේ.

ශ්‍රී ලංකාව සහ ජපානය අතර, සංවර්ධන සහයෝගිතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමුවුණා.

ශ්‍රී ලංකාව, ජපානයේ විශේෂ මිතුරෙකු බව සඳහන් කළ එරට විදේශ අමාත්‍යවරයා ජපානයේ චාරිකාවක නිරත වන ලෙසටද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ආරාධනා කළා.

මේ අතර, විදුලිබල ක්ෂේත්‍රයේ පවතින ගැටළු අධ්‍යයනය කර එම ගැටළු සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති කඩිනම් විසදුම් ක්‍රියාත්මක කිරීම පිළිබදව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අවධානය යොමුව තිබෙනවා.

ඒ, ජනාධිපතිවරයා සහ විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ නිළධාරීන් සමඟ ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදියි.

ඒ සඳහා අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ, ලංකා විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීන් එක්ව සිටි බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.

මෙහිදී අදාළ අමාත්‍යාංශය මුහුණ පා ඇති ගැටළු පිළිබදව මෙන්ම ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත නව ව්‍යාපෘති පිළිබදව ද සාකච්ඡාවට බඳුන් වී තිබෙනවා.

අදාළ ව්‍යාපෘති ආරම්භ කිරීමට පෙර නිසි ශක්‍යතා අධ්‍යයනයන් සිදුකිරීමේ වැදගත්කම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පෙන්වා දුන් බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ.

එමෙන්ම, විදුලිබල ක්ෂේත්‍රයට අදාළව විදේශ රටවල් සමග අවබෝධතා ගිවිසුම් අත්සන් තබා තිබුණ ද ඉන් රැසක් රාජ්‍යයන් අතර, නොව පෞද්ගලික සමාගම් සමග ඇති කර ගත් එකඟතාවන් මත අත්සන් කළ ගිවිසුම් බවට ද, මෙහිදී අනාවරණ වී තිබෙනවා.

එබැවින් ඒවා ක්‍රියාත්මක කිරීමේදී නිසි අධ්‍යයනයක් සිදුකර රටට හිතකර අන්දමින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress