ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ පිරිසක් CIDයට
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් පිරිසක් විශේෂ සාකච්ඡාවක් සඳහා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව වාර්තා වනවා.

කෙසේ වෙතත්, පැහැර ගැනීමට ලක්වූවායැයි පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාල නිලධාරිනිය අද විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කරන බව ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්න ද, එය අද සිදු නොකෙරුණු බවයි වාර්තා වන්නේ.

තානාපති කාර්යාලයකට අයත්, ජිප් රථයක් අද දහවල් 12.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියා.

ඒ සම්බන්ධයෙන් අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරින් කිහිපදෙනෙකු සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් කණ්ඩායමක් අතර, විශේෂ සාකච්ඡාවක් පැවති බවයි.

කිසියම් පිරිසක් විසින් පැහැර ගැණුනු බව පැවසූ ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ දේශීයව බඳවා ගත් කාර්ය මණ්ඩල සාමාජිකාවක් වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් අධිකරණ නියෝගයකට අනුව මීට පෙර අවස්ථා 3 කදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනි සිට ප්‍රකාශ ලබාදී තිබූ අතර, එහිදී ඇය වෛද්‍ය පරීක්ෂණ සඳහා ද යොමුකෙරුණා.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ නඩුව කැඳවූ අවස්ථාවේදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නේ ගානියා බැනිස්ටර්ව විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් ලබාගෙන එය ඉදිරි දිනකදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

ගානියා බැනිස්ටර් අද දින විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමු කිරීමට සූදානම් කර ඇති බවත්, එම වෛද්‍ය වාර්තා සමග ඇය සම්බන්ධයෙන් මීට පෙර සිදුකළ කායික වෛද්‍ය වාර්තාව ද ඉදිරිපත් කළ හැකි බවත් අධිකරණ වෛද්‍ය නිලධාරිනිය දැනුම්දී ඇති බවයි රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ.

මේ සම්බන්ධයෙන් අද දහවල් අප ගානියා බැනිස්ටර් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් කුමරප්පෙරුම ගෙන් විමසීමක් කළ අතර, ඔහු සඳහන් කළේ අදාළ නිලධාරිනිය විශේෂඥ මනෝ වෛද්‍ය මණ්ඩලයක් වෙත ඉදිරිපත් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නිෂ්චිත වේලාවක් ලබාදී නොමැති බවයි.

ඒ අනුව, අප මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියෙකුගෙන් සිදුකළ විමසීමකදී ඔහු කියා සිටියේ අදාළ පරීක්ෂණ ලබන සඳුදා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇති බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress