හිටපු ඇමති පාඨලීට සහ ඔහුගේ රියදුරුට විදෙස් ගමන් තහනමක්
Posted on December 13th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

2016 වසරේදී රාජගිරියේදී තරුණයෙකු අනතුරට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සහ එවකට ඔහුගේ රියදුරු ලෙස ක්‍රියා කළ තුසිත කුමාර යන අයට විදේශ ගත වීම තහනම් කරමින් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කළා.

ඒ කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්.

2016 වසරේ පෙබරවාරි මස 28 වනදා එවක කැබිනට් අමාත්‍යවරයකු වූ පාඨලී චම්පික රණවක මහතාට අයත් ජීප් රථයකට යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සංදීප් සම්පත් නැමති තරුණයෙක් ගැටී බරපතල තුවාල ලැබුවා.

එහිදී ඔහු සමඟ සිටි තරුණයෙකු අනතුර සිදුකළ ජීප් රථය ලුහුබැඳගොස් නතර කරගෙන තිබුනා.

අදාළ තරුණයා පැවසුවේ අනතුර සිදුවන අවස්ථාවේදී ජීප් රථය පැදවූයේ පාඨලී චම්පික රණවක මහතා බවයි.

කෙසේවෙතත් අනතුර සිදුකළ ජීප් රථයේ රියදුරු ලෙස බොරැල්ල පොලිසියට වෙනත් පුද්ගලයෙකු භාර වූ අතර, අනතුරින් බරපතල තුවාල ලැබූ සංදීප් සම්පත් ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණා.

අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කළ පොලිසිය එවක අධිකරණයට දන්වා සිටියේ අදාළ අනතුර සිදු වූ ස්ථාන වල තිබූ සීගසීගටීගවී දර්ශණ මැකී ගොස් ඇති බවයි.

පාඨලී චම්පික අමාත්‍යවරයාගේ සහ රජයේ බලපෑම් මත පරීක්ෂණ නිසි ආකාරව සිදු නොවන බවට සන්දීප්ගේ මිතුරන් එවක චෝදනා කළා.

කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය නැවත විමර්ශණයක් සිදුකර අද දින අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබෙනවා.

එමගින් ඔවුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාට සහ අනතුර සම්බන්ධයෙන් පොලිසියට භාර වූ තුසිත කුමාර යන අයගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසයි.

ඒ අනුව අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය අදාළ විදේශ ගමන් තහනම් නියෝගය නිකුත් කළා.

මේ වනවිට අදාළ තහනම් නියෝගය අගමන විගමන පාලක වරයාටද දැනුම් දී තිබෙනවා.

මේ අතර පසුගිය ජනාධිපතිවරණ සමයේදී සජිත් ප්‍රේමදාස මහතාගේ මාලඹේ ප්‍රදේශයේ පැවති ප්‍රචාරණ රැලියක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අමතමින් සිටියදී සංදීප් සම්පත්ගේ මිතුරෙකු බව පැවසෙන තරුණයෙකු සිය මිතුරාට සිදුවූ අනතුර සම්බන්ධයෙන් අමාත්‍යවරයාගෙන් විමසීමට යාමේදී එම ස්ථානයේ සිටි පිරිසක් ඔහුට පහරදීමක් සිදුකළා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress