වැල්ලම්පිටිය තඹ කම්හල ගැන CIDය නිසි විමර්ශණයක් සිදු නොකළ බව ජනපති කොමිසමේදී හෙළිවෙයි
Posted on December 14th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි විමර්ශනයක් නොකළ බව ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ අද අනාවරණ වුණා.

එහිදී තවදුරටත් අනාවරණ වුණේ තඹ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් කර්මාන්ත ශාලාවේ හිමිකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ද යොදවා සිටි බවයි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කෙරුණු ජනාධිපති කොමිෂන් සභාව හමුවට කැඳවූ කොටහේන පොලිසියේ එවක  ස්ථානාධිපතිවරයාව සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක මහින්ද කරුණාරත්න මහතාගෙන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සංජීව ගුණවර්ධන මහතා තවදුරටත් ඊයේ ප්‍රශ්න කළා.

ඔහු විමසුවේ පාස්කු ප්‍රහාරයට පෙර ඒ පිළිබඳ දැනුවත් කරමින් පොලිස් ස්ථාන වෙත එවීමට තිබූ ලිපියක් ප්‍රහාරයෙන් පසුව ලැබුණු පසු එය පෙර දිනයක් යටතේ ගොනුගත කරන ලෙස තමන් පහළ නිලධාරීන්ට උපදෙස් දුන්නේද යන්නයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර සහ ඔහුගේ පෞද්ගලික සහකාර උපේන්ද්‍ර මහතාගේ බලපෑම මත තමන් එසේ කරන ලෙස පහළ නිලධාරීන්ට උපදෙස් දුන් බව මහින්ද කරුණාරත්න මහතා එහිදී පිළිගත්තා.

අනතුරුව එවක ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත ඒකනායක මහතාගෙන් කොමිසම සාක්ෂි සටහන් කර ගත්තා.

ඔහු සාක්ෂි දෙමින් සඳහන් කළේල පාස්කු ප්‍රහාරය පිළිබඳ පූර්ව දැනුම්දීමේ ලිපිය පෙර දිනයක් යටතේ ගොනු කරන ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර තමන්ට ද උපදෙස් දුන් අතර තමන්ද එසේ සිදුකළ බවයි.

එමෙන්ම ප්‍රියන්ත ඒකනායක මහතා පැවසුවේ ප්‍රහාරයෙන් දින කිහිපයකට පසු පොලිස් විශේෂ විමර්ශන ඒකකය සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව තිබූ අතර එහිදී අසත්‍ය සාක්ෂි ලබා දෙන ලෙස ද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සංජීව බණ්ඩාර තමන්ට උපදෙස් දුන් බවයි.

ඊයේ දිනට සාක්ෂි විමසීම අවසන් කළ ජනාධිපති කොමිසම යලිත් අද පෙරවරු 10 ට රැස් වූ අතර පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ සාක්ෂි විමසීම ආරම්භ කළා.

ඒ අනුව ප්‍රහාරය සිදුවන අවස්ථාවේ දෙමටගොඩ පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ, මේ වන විට තලංගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.ඩී. අනිල් ජයන්ත මහතා කොමිසම හමුවේ සාක්ෂි ලබාදුන්නා.

ප්‍රහාරයට පෙර පූර්ව දැනුම්දීමේ ලිපියක් ලැබුණේදැයි කොමිසම ඔහුගෙන් ප්‍රශ්න කළා.

ඔහු සඳහන් කළේ, කිසිසේත් එවැනි ලිපියක් තමන්ට නොලැබුණු බවයි.

දෙමටගොඩ මහවිල උද්‍යානයේ මාස 9ක කාලයක සිට ත්‍රස්තක්‍රියා සිදුව ඇතත් තමන් ඒ සම්බන්ධයෙන් නොදැන සිටීම ගැටළුවක් නොවේදැයි අනතුරුව කොමිසම ඔහුගෙන් විමසුවා.

ඔහු සඳහන් කළේල ඒ වන විට මත්ද්‍රව්‍ය පාලනය කිරීම සහ පාතාලය මර්දනය කිරීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකළ නිසා ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු නොවූ බවයි.

පාස්කු ප්‍රහාරයට පෙර දෙමටගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටුයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා පසුගිය ජූනි මාසයේදී වැල්ලම්පිටිය පොලිස් ස්ථානය වෙත මාරු කර යවා තිබෙනවා.

ඒ අනුව මතභේදයට තුඩුදුන් වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාව සම්බන්ධයෙන්ද ඔහුගෙන් කොමිසම ප්‍රශ්න කළා.

ඔහු සඳහන් කළේ, කඹ කර්මාන්ත ශාලාව සම්බන්ධ සියලු විමර්ශන භාරව සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බවයි.

කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කිසිඳු උනන්දුවකින් ඒ සම්බන්ධ විමර්ශන සිදුකරන බවක් හෝ ඔවුන් තඹ කර්මාන්තශාලා පරිශ්‍රයට හෝ පැමිණ විමර්ශන සිදු කළ බවක් තමාට නිරීක්ෂණය නොවූ බවද ප්‍රධාන පොලිස් පරීක්ෂක අනිල් ජයන්ත මහතා කොමිසම හමුවේ අනාවරණ කළා.

ඔහු වැඩිදුරටත් සඳහන් කළේල තඹ කර්මාන්ත ශාලාවේ ආරක්ෂාව සඳහා යෙදවීමට තමන්ට නිලධාරීන්ගේ හිඟයක් පවතින බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන් අවස්ථාවේ එම දෙපාර්තමේන්තුව පොලිස් නිලධාරීන් ද සමඟ තඹ කර්මාන්තශාලාවේ හිමිකරුගේ නියෝජිතයින් දෙදෙනෙකු ද එහි ආරක්ෂාවට යෙදවූ බවයි.

බරපතල ත්‍රස්ත ක්‍රියාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවී තිබෙන ස්ථානයක ආරක්ෂාවට එහි හිමිකරුගේ නියෝජිතයින් ද යෙදවීම නිවැරදිදැයි එහිදී කොමිසම විමසා සිටියා.

ඔහුගේ පිළිතුර වුයේ අදාළ තීරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තීරණයක් බවයි.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress