පාඨලීගේ රියදුරුගෙන් ප්‍රකාශ ලබාගැනීමටත් රහස් පොලීසියට අවසර
Posted on December 24th, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා අද නියම කළා.

ඔහුට සෑම මසකම අවසන් ඉරු දින කොළඹ අපරාධ කොට්ඨාශය හමුවේ පෙනී සිටින ලෙසටයි මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ

2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පළා යෑම සහ ඒ පිළිබඳව සාක්ෂි වසන් කිරීම යන චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක කොළඹ අපරාධ කොට්ඨාශය පසුගිය 18 වැනිදා අත්අඩංගුවට ගනු ලැබුවා.

එදිනම රාත්‍රියේ මන්ත්‍රීවරයා කොළඹ මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අතර, එහිදී අධිකරණය නියෝග කළේ පසුදින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි.

එම නඩුව පසුගිය 19 වැනිදා යළි කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් ඇප අයැදුමක් ඉදිරිපත් කළද එය සලකා බැලීම අද දිනය දක්වා කල් තැබූ අතිරේක මහේස්ත්‍රාත්වරිය, මන්ත්‍රීවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද නියෝග කළා.

ඇප අයැදුම සලකා බැලූණු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අවට වෙනත් දිනවලට සාපේක්ෂව පොලිස් නිලධාරීන් වැඩි පිරිසක් යොදවා තිබෙනු දක්නට ලැබුණු බවයි ෂා  අධිකරණ වාර්තාකරු සඳහන් කළේ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක බන්ධනාගාර නිලධාරීන් විසින් පෙරවරු 9.30 ට පමණ අධිකරණ පරිශ්‍රය වෙත රැගෙන එනු ලැබුවා.

නඩුව කැඳවූ අවස්ථාවේදී අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා විවෘත අධිකරණය හමුවේ සඳහන් කළේ මීට පෙර නඩු වාරයේදී මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ඉදිරිපත් කළ ඇප අයැදුමද ඊට පැමිණිල්ල දැක්වූ විරෝධයද සලකා බලා ඇප ලබාදීම පිළිබඳ නියෝගය නිකුත් කරන බවයි.

පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයාට විරුද්ධව පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති දණ්ඩ නීති සංග්‍රහය සහ මෝටර් රථ වාහන ආඥා පනත යටතට ගැනෙන චෝදනා ඇප ලබාදිය හැකි චෝදනා බව අතිරේක මහේස්ත්‍රාත්වරිය පෙන්වා දුන්නා.

කෙසේ වෙතත්, අදාළ අනතුර සිදුකර ඇති කේ.පී. 7545 දරන ජීප් රථය රජයේ දේපළක් වන බැවින් එම රථයට සිදුවී ඇති අලාභය රුපියල් නවලක්ෂ 17,244 ක් ලෙස පොලීසිය විසින් පොදු දේපළ පනත යටතේ කරුණු වාර්තා කර ඇති බවද අතිරේක මහේස්ත්‍රාත්වරිය විවෘත අධිකරණයේදී දැනුම් දුන්නා.

පොලිසිය පොදු දේපළ පනත යටතේ කරුණු ගොනුකර ඇත්තේ නීතිපතිවරයාගේ උපදෙස් ලබාගැනීමකින් තොරව බැවින් ඇප ඉල්ලීම පිළිබඳව සලකා බැලීමේදී එම කරුණු ඉදිරිපත් කිරීම සලකා නොබලන බවද අතිරේක මහේස්ත්‍රාත්වරිය සිය නියෝගයේදී සඳහන් කළා.

ඇප ප්‍රතික්ෂේප කිරීමට තරම් ප්‍රමාණවත් චෝදනා සැකකරුට විරුද්ධව ඉදිරිපත් වී නොමැති බැවින් සැකකාර පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා රුපියල් 25,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙහිදී නියම කළේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක වෙත අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනම ඉවත් කිරීමක් අද දින සිදු නොවූ අතර, එය තවදුරටත් බලපැවැත්වෙනු ඇති

කෙසේ වෙතත්, මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ රියදුරු ලෙස පෙනී සිටි දිලූම් තුසිත කුමාර නැමැත්තාද නීතිඥවරුන් මාර්ගයෙන් අද අධිකරණය හමුවේ පෙනී සිටියා.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණයෙන් ඉල්ලා තිබුණේ සැකකරු මෙපමණ කාලයක් අධිකරණය මඟහැර සිට ඇති බැවින් විමර්ශනවලට සහය දැක්වීමක් ලෙස ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටයි.

ඒ අනුව සැකකාර දිලූම් තුසිත කුමාර නැමැත්තා ලබන ජනවාරි 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළ අතිරේක මහේස්ත්‍රාත්වරිය දෙසැම්බර් 26 වැනිදා බන්ධනාගාරයේදී ඔහුගෙන් ප්‍රකාශයක් ලබාගන්නා ලෙසටද නියෝග කළා.

කෙසේ වෙතත්, අධිකරණයෙන් විශේෂ කරුණු දැක්වීමක් සඳහා අවසර ඉල්ලා සිටිමින් රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සඳහන් කළේ අද දින මෙම නඩුව විභාග වන අවස්ථාවේදී අධිකරණ සංකීර්ණය ඉදිරිපිටට අනවශ්‍ය ලෙස පොලිස් නිලධාරීන් ආරක්ෂාවට යොදවා සිටි බවයි.

එමඟින් අධිකරණයට පැමිණෙන නීතිඥවරුන් මෙන්ම අධිකරණ කටයුතු ආවරණය කරන මාධ්‍යවේදීන් අපහසුතාවට පත්වන බැවින් ඒ පිළිබඳව අවධානය යොමුකරන ලෙස නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉල්ලා සිටියා.

එම කරුණු දැක්වීම සනාථ කරමින් විත්තියේ නීතිඥයින් වන ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න සහ නීතිඥ ගුණරත්න වන්නිනායකද සඳහන් කළේ මහා සංඝරත්නය අධිකරණයට ඇතුල්වීම වැළැක්වීම සඳහා කාන්තා පොලිස් නිලධාරිනියන් පවා යොදවා තිබූ බවයි.

එම කරුණු ප්‍රධාන මහේස්ත්‍රාත්වරියගේ අවධානයට යොමු කරන බව දන්වා සිටි අතිරේක මහේස්ත්‍රාත්වරිය මෙම නඩුව ලබන ජනවාරි මස 06 වැනිදා යළි කැඳවීමට නියෝග කළා.<

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress