මේ සිදුවෙමින් පවතින්නේ කුමක්ද?
Posted on December 30th, 2019

චන්දුසේන පණ්ඩිතගේ විසිනි

දේශපාලනය ඉතා ගැඹුරු විෂයකි. මෙහි බැරෑරුම්ම කටයුත්ත වනුයේ, රටේ ජනමනස නිසි ලෙස අවබෝධකරගෙන, එය කළමනාකරණය කිරීමයි. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති බවට පත්වී මේ වන විට දින 40ක කාලයක් ගතවී ඇත. එතුමාව බලයට පත් කිරීමට චන්දය දුන් ලක්ෂ 69ක්වූ ජනතාව තුල ඇත්තේ, අපේක්ෂාවන් 69 ලක්ෂයකි. මේ අපේක්ෂාවන් 69 ලක්ෂය අතර ඒ ඒ පුද්ගලයාට ප්‍රධාන වූ හා අප්‍රධානාවූ අපේක්ෂාවන් ඒ ඒ මනස තුල පෙළ ගැසී ඇත. මේ 69 ලක්ෂයක්වූ ජනතාවගෙන් වෙන වෙනම ප්‍රශ්න කළහොත් ඒ ඒ අයට ඇති ප්‍රධානම ප්‍රශ්නය කුමක්දැයි කියා, 69 ලක්ෂයක් වූ කරුණු ඉදිරිපත් කරනු ඇත. මේ කරුණු 69 ලක්ෂය තුල ඇත්තේ සැබෑ ලෙසම ජනතාව බලාපොරොත්තුවන අපේක්ෂාවන්ය.

1. රැකියාවක්.
2. තම දරුවන්ට හොඳ පාසලක්.
3. තමන්ටම වූ නිවාසයක්,
4. වගා කිරීමට බිම් කැබැල්ලක්.
5. සහන මිලට පොහොර මල්ලක්,
6. කුඩු වලට ඇබ්බැහිවූ දරුවාව බේරා ගැනීමක්.
7. රෝගිවුවන්ට රෝහලක් හා හොඳ වෛද්‍ය ප්‍රතිකාර කරගන්නා විදියක්.
8. බිමට ඇබ්බැහිවූ ගැහැණු හා පිරිමින්ව ගලවා ගැනීමේ ක්‍රමවේදයක්.
9. බඩගිනි නිවා ගැනීමට ආහාර ටිකක්.
10.කුඩා දරුවන්ට කිරි ලබා ගැනීමේ ක්‍රමයක්.
11.බිමට වතුර පොදක්.
12. ගම් වදින අලියන්ගෙන් මුදවා ගැනීමක්.
13. පිටරට යාමට දඟලන සිය මවව යන්නට ඉඩ නොදී මේ රට තුල රඳවා ගැනීමක්.
14.ගංවතුරින් කැඩීගිය තම නිවාස යලි ගොඩනංවා ගැනීමක්.
15. බොරු නඩු වලට පටලවා සිරගත කර සිටින තම ස්වාමියාව, ආදරණිය පියාව නිදහස් කර ගැනීමක්.
16.උසස් පෙළ සමත් සිය දරුවාට විශ්ව විද්‍යාලයක්.

ආදිවූ සිය දහසක් කරුණු ඇතුලත් ජනතා අවශ්‍යතාවයන් ලක්ෂ 69ක වාර්තාවක් සමාජගත වෙනු ඇත. ඒ එකද මිනිසෙක් හෝ කාන්තාවක්, තමන්ට

1. වෙනම රටක්
2. උතුර හා නැගෙනහිර ඒකාබද්ධ කිරීමක්.
3.පාර්ලිමේන්තුවට උගතුන් යැවීමක්.
4. රාජිතට දඬුවම් දිමක්.
5. බැදුම්කර හොරුන්ට දඬුවම්දීමක්.
 යන කරුණු තමන්ගේ ප්‍රධාන අපේක්ෂාවන් ලෙස සටහන් කරන්නේ නැත. ඒවා අප්‍රධාන අපේක්ෂිත කරුණුය.

වර්තමාන ජනාධිපතිවරයා දැන් නිරතව සිටින්නේ මේ මිනිසුන්ගේ, ප්‍රධාන අපේක්ෂාවන් විසදීමේ කාර්යයටයි. අඩු ආදායම්ලාභී පවුල් වලට රැකියා, අධික ජිවන බර අඩුකිරීම, ජනතාවට කාර්යක්ෂම සේවාවන් ලබාදීම, මෙවර විශ්ව විද්‍යාල වරම් ලැබූ 1,81,127 ක් වූ දරුවන්ට උසස් අධ්‍යාපන වරම් ලබාදීමේ ක්‍රම වේදයක් සකස් කිරීම, තවත් ජාතික පාසල් ඇතිකර දරුවන්ට හොඳ  අධ්‍යාපනයක් ලබාදීමට කටයුතු කිරීම් යන කරුණු කෙරෙහි අවධානය යොමුකරමින් සිටින බව අපි හොඳාකාරව දනිමු.

මේ වනවිට ජනපති පදවියට පත්වූ ගෞරවනීය පුද්ගලයෙක් චන්දය දුන් හා නුදුන්, ආසන්න වශයෙන් මිලියන් 13ක්වූ චන්ද දායකයින්ගේ ප්‍රධාන අවශ්‍යතාවයන් හා අරමුණු සපුරාලීම සඳහා මේ කරන අරගලයේදී, එතුමාට චම්පිකව හිරකරනවාද, නැත්නම් රාජිතව හිරකරනවාද යන ආකාරයේ නොදියුණු නොපැසුන උන්මත්තකයින් සිදුකරන කාර්යයන්ට අතගසා, ඉතා වැදගත් කරුණු අතපසු කිරීමට අවැසි නැති බව අපි දකිමු.

තවද එතුමා, රාජිතව, චම්පිකව, හෝ අර ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලිය කාන්තාව නිදහස් කලාද නැද්ද යන්න, ඔවුන්ම පිහිටුවා ගත්තායි කියන නිදහස් අධිකරණයට බලා ගන්නට ඉඩදී බලා සිටි.

මේ සියලුම කාර්යන් කිරීමට එතුමාට ඇති එකම ශක්තිය වන්නේ එතුමාව බලයට පත්කළ ලක්ෂ 69ක්වූ ජනතාවයි. සතුරු බල මුළු මේ නිතියට මුවාවී දෙදරවා හැරීමට වෙර දරන්නේ, එතුමාව බලයට පත්කළ 69 ලක්ෂයක් වූ ජනතා මානසිකත්වයේ එකමුතුභාවයයි. මේ උපක්‍රමය ලොව පුරාම සතුරා විසින් භාවිතා කොට මේ වනවිට අප විසින් හඳුනාගෙන සිටින දිරා ගිය උපක්‍රමයකි.

ජනතාවනි, කිසිවෙක් නොසැලෙන්න. එතුමාගේ මනස හා බද්ධ වන්න. ජනතා ප්‍රශ්න විසදීමට උපකාරිවන්න. ජනතා ප්‍රශ්න විසදුවිට මැරී වැටෙන්නේ, සතුරු බලමුලුයි. එදාට රාජිතලා චම්පිකලා බෙදුම්වාදීන් සියල්ලක්ම වල් වදිනු ඇත.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress