බුද්ධි අංශ සහ රහස් පොලීසිය රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයයි
Posted on December 31st, 2019

උපුටා ගැන්ම හිරු නිව්ස්

අකාර්යක්ෂම රාජ්‍ය සේවයට තම ධුර කාලයේදී තිත තබන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළා.

ඒ අද පෙරවරුවේ මගී ප්‍රවාහන අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය සහතික කිරීමට නම්, අනවශ්‍ය අනපණත් සහ රෙගුලාසි කඩිනමින් සංශෝධනය විය යුතු බවයි ජනාධිපතිවරයා එහිදී පෙන්වා දී ඇත්තේ.

රාජ්‍ය සේවයේ ඉහළ තනතුරු සදහා හැකියාවක් සහ වෘත්තීය නිපුණතාවක් ඇති පිරිස් බදවා ගැනීමට විද්වත් කමිටුවක් පත් කළේ ද රාජ්‍ය සේවය රටේ කොදු නාරටිය නිසාවෙන් බවයි ජනාධිපතිවරයා එහිදී සදහන් කර ඇත්තේ.

දෛනික ජන ජීවිතයට වැදගත් වන රාජ්‍ය ආයතනවල අක්‍රමිකතා සොයා බැලීමට සහ නීතියේ රැහැනට හසු කර ගැනීමට තමා බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇති බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සදහන් කළේ.

රාජ්‍ය සේවකයෙකු දූෂණ හා වංචාවන්ට සම්බන්ධ වුවහොත් තරාතිරම නොබලා දඩුවම් ලබාදෙන බව ද, ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර ඔහුට යළි කිසි දිනක රාජ්‍ය සේවයේ අවස්ථාවක් ලබා නොදෙන බව ද අවධාරණය කර තිබෙනවා.

රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී කළ යුතු වෛද්‍ය පරීක්ෂණ සම්බන්ධයෙන් ද , ජනාධිපතිවරයාගේ අවධානය මෙහිදී යොමුවූ අතර, ඒ අනුව, සැහැල්ලූ වාහන සදහා වෛද්‍ය සහතික ලබා ගැනීමේදී ඇස් පරීක්ෂාව පමණක් ප්‍රමාණවත් බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ.

පූර්ණ වෛද්‍ය පරීක්ෂණය බර වාහන රියදුරු බලපත්‍ර සදහා සීමා කරන ලෙස එම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා දැනුම් දී තිබුණා.

Leave a Reply

You must be logged in to post a comment.

 

 


Copyright © 2024 LankaWeb.com. All Rights Reserved. Powered by Wordpress